ශ්‍රි ලාංකේය සිනමා වංශ කථාවට නව පරිච්ඡේදයක් එක්කරමින්, අසෝක හඳගම තෙවන වරටත් ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබයි.
චන්න කින්නරී, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, විදූ, ඉනි අවන් සහ ඇගේ ඇස අග යන සිනමා නිර්මාණයන් හරහා දේශීය සිනමාවේ විශිෂ්ට සිනමාවේදියකු බවට නම් ලද අසෝක හඳගමගේ නවතම නිර්මාණය වූ ‘අසන්ධිමිත්තා’ සිනමාපටය, පසුගිය නොවැම්බර් 16 වෙනි දින සිට එස්තෝනියාවේ ටැලින් නුවරදී ආරම්භ වූ 22 වෙනි ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙලේ (Tallinn Black Nights Film Festival) ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනයට කිරීමට සුදුසුකම් ලැබීය.
ලොව පුරා විසිර ඇති 4500 කට ආසන්න අන්තර්ජාතික සිනමා උළෙලයන් අතුරින්, සිනමාපට නිෂ්පාදකයන්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික සම්මේලනයේ (FIAPF -Fédération Internationale des Associations de Producteurs de Films) පිළිගැනීම හිමි, ලොව 'ඒ' ශ්‍රේණියේ තරඟකාරී සිනමා උළෙලයන් 15 න් (කාන්, වෙනීස්, බර්ලින්, ලොකර්නෝ, කාලෝවී වේරි, සෙන් සෙබස්තියන්, මොස්කව්, ටෝකියෝ, මොන්ට්‍රියල්, මාර් ඩෙල් ප්ලාටා, ෂැංහයි, වෝර්සෝ, ටැලින් බ්ලැක් නයිට්ස්, කයිරෝ, ඉන්දියානු) එකක් ලෙසට සැලකෙන ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කිරීමට පෙරකී ලෙසින් අසෝක හඳගම සුදුසුකම් ලැබීමත් සමග, 71 වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ, අවස්ථා ත්‍රිත්වයකදී ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කිරීමට වරම්ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිනමා අධ්‍යක්ෂකවරයා ලෙසින් අසෝක හඳගමයන් ජගත් සිනමා ඉතිහාසයට එක්විය.
2005 වර්ෂයේදී ‘අක්ෂරය’ සිනමාපටය ජපානයේ ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය යටතේ තිරගත කිරීමත් සමග, පළමු වරට ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව 'ඒ' ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත් අසෝක , දෙවන වරට එකී අවස්ථාව දස වසරකට පසු, එනම් 2015 වර්ෂයේදී ‘ඇගේ ඇස අග’ සිනමාපටය ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය යටතේ තිරගත කිරිමෙන් අත්පත් කරගන්නා ලදී.
90 දශකයේ අග භාගයේදී ශ්‍රි ලාංකේය සිනමාවට අවතීර්ණ වූ අසෝක හඳගමයන් පෙරකී සුවිශේෂී වාර්තාවට අමතරව , එදා මෙදා තුර වැඩිම අන්තර්ජාතික සිනමා සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලද ශ්‍රී ලාංකේය සිනමාපට දෙකෙන් එක් සිනමාපටයක නිර්මාණ හිමිකරු ලෙසින්ද (‘තනි තටුවෙන් පියාඹන්න’ - අන්තර්ජාතික සිනමා සම්මාන 10 යි/ මෙකී වාර්තාව ඉනෝකා සත්‍යාංගනීගේ ‘සුළං කිරිල්ලි’ හා සමතැන් ගනී), එක් සිනමාපටයක් හරහා වැඩිම අන්තර්ජාතික සිනමා උළෙල සංඛ්‍යාවක් නියෝජනය කිරීමට සුදුසුකම් ලද ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරයා ලෙසින්ද ('තනි තටුවෙන් පියාඹන්න’- අන්තර්ජාතික සිනමා උළෙල 46 ක්) වාර්තා පොත් අතරට එක්වීමට සමත්ව ඇත. එසේම ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුල එදා මෙදා තුර සිය සිනමා නිර්මාණයන් උදෙසා වැඩිම අන්තර්ජාතික සම්මාන සංඛ්‍යාවක් දිනාගනු ලැබූ ශ්‍රි ලාංකේය අධ්‍යක්ෂකවරුන් අතර තෙවැනි ස්ථානයේ (1.සෝමරත්න දිසානායක – සම්මාන 29/ 2. ප්‍රසන්න විතානගේ – සම්මාන 25/ 3. අසෝක හඳගම– සම්මාන 21) ස්ථානගත වීමටද ඔහු සමත්ව ඇත.
අසෝක හඳගමගේ ‘අසන්ධිමිත්තා’ සිනමාපටය ඇතුළුව සිනමාපට 19 ක් මෙවර උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කරන අතර, එහිදී ආසියනු කලාපීය රටවල් පහකට (ශ්‍රි ලංකාව, ඉන්දියාව, ඉරානය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය) අයත් සිනමාපට 05ක් එකී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. නිල්මිණී සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, රුක්මාල් නිරෝෂන් හා අනුලා බුලත්සිංහලගේ රංගන දායකත්වයෙන් හැඩවෙන ‘අසන්ධිමිත්තා’ සිනමාපටයේ කැමරාකරණය චන්න දේශප්‍රියගෙනි. මිට අමතරව රවින්ද්‍ර ගුරුගේගේ සංස්කරණ දායකත්වයද , කපිල පූගලආරච්චිගේ සංගීත නිර්මාණ දායකත්වයද , උපුල් චමිල බණ්ඩාරගේ කලා අධ්යක්ෂණ දායකත්වයද සිනමාපටයට හිමිව ඇත. සමන් වික්රමාරච්චිගේ ‘අසන්ධිමිත්තා’ නව කතාව මුල්කොට ගනිමින් අසෝක හඳගම තිර රචනය ලියූ ‘අසන්ධිමිත්තා’ සිනමාපටය, ‘සිනෙ සරසවි නිෂ්පාදන' වෙනුවෙන් සරසවි පොත් ප්‍රකාශන ආයතනයේ අධිපති H. D ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.
පසුගිය නොවැම්බර් මස 16 වෙනි දින ආරම්භ වූ ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උළෙල එළඹෙන දෙසැම්බර් 02 වෙනි දින දක්වා ක්‍රියාත්මක වන අතර , නොවැම්බර් මස 25, 26 සහ 30 යන දිනයන්හිදී ‘අසන්ධිමිත්තා’ සිනමාපටය මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ. ‘අසන්ධිමිත්තා’ සිනමාපටය නියෝජනය කරන දෙවන අන්තර්ජාතික සිනමා උළෙල මෙය වන අතර, මීට පෙර පසුගිය ඔක්තෝබර් මස දකුණු කොරියාවේදී නිමාව දුටු ආසියනු කලාපයේ සුවිසල්ම සිනමා උළෙල ලෙසින් සැලකෙන බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල (ෆිඇප්ෆ් අනුමත 'බී' ශ්‍රේණියේ තරඟකාරි උළෙලකි) නියෝජනය කරමින් ‘Kim Jiseok’ සම්මානය උදෙසා නිර්දේශයන් ලද අවසන් සිනමාපට 09 අතරට තේරීපත්වීමට ‘අසන්ධිමිත්තා’ සමත්විය.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi