මෙරට නර්තන කලාවේ දැවැන්තයෙක් ලෙස සැලකෙන චිත්රසේනයන්ගේ 98 වැනි ජන්ම දිනය මෙම මස 26 වැනි දිනට යෙදී තිබේ. මුද්‍රා නාට්‍ය කලාවේ පෙරැළියක් ඇතිකළ චිත්රසේනයන් වෙනුවෙන් එම දිනය රජය විසින් “මුද්‍රා නාට්‍ය දිනය” ලෙස නම්කර තිබේ.
මෙරට සාම්ප්‍රදායික නර්තන කලාව පෝෂණය කරමින්, එය මෙරටටත් පිටරටටත් පෙන්වමින් ලාංකීය නර්තන කලාවට සුවිශේෂී මෙහෙවරක් කළ චිත්‍රසේන නර්තනාචාර්යවරයා ආරම්භ කළ චිත්‍රසේන කලායතනය, අද එම කර්තව්‍යය වඩාත් ඉදිරියට ගෙනයන්නේ ඔහුගේ තෙවැනි පරම්පරාවයි.
එදා ගුරුගෙදරක ස්වරූපයෙන් චිත්රසේනයන් ඇරඹි ඒ මඟ, වත්මනෙහි යළි පණගැන්වීමට චිත්රසේනයන්ගේ මිනිපිරියෝ කටයුතු යොදා සිටිති. ඒ එළැඹෙන 26 වැනිදාටය.
තම සීයාට උපහාරයක් ලෙසින් එදින නාරාහේන්පිට පිහිටි චිත්‍රසේන කලායතනයේදී ‘ගුරුගෙදර’ ට මුල්ගල තැබෙන්නේ මේ වන විට 87 වැනි වියේ පසුවන ප්‍රවීණ නර්තනාචාරිනී වජිරා චිත්‍රසේන නමැති ඔවුන්ගේ මිත්තනියගේ ආශිර්වාදය ලබාගනිමිනි.
අද චිත්‍රසේන කලායතනයේ ප්‍රධාන නර්තන ශිල්පිනිය මේ තෙවැනි පරම්පරාවේ තජී නාංගනා ඩයස්ය. බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ චිත්‍රසේන - වජිරාගේ පුනරාගමනයක් ලෙසිනි.
තාරුණ්‍යයේ සිටින මේ සුරූපී නර්තන ශිල්පිනිය මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කතාබහට ලක් වී සිටින්නීය. සීයාගේ සිහිනය ඉටුකිරීම පිළිබඳවත්, වත්මන් නර්තන කලාව හා චිත්රසේනයන්ගේ ගුරුගෙදර සංකල්පය පිළිබඳවත් අපි නජී සමග කතාබහක නියැළුණෙමු. මේ එම සංවාදයේ සටහනයි.
මෙරට නර්තන කලාවේ දැවැන්තයකු වූ චිත්රසේනයන්ගේ ලාබාලතම මිනිපිරිය ඔබයි. එතුමාගේ 98 වැනි ජන්ම දිනය වෙනුවෙන් තෙවැනි පරම්පරාව ලෙස ඔබත්, අක්කලාත් එකතු වී අලුත් වැඩක් කරන බව ආරංචියි. මොකද්ද ඒ කතාව?
මම තමයි බාලම මිනිපිරිය. ලොකු අක්කා හේෂ්මා තමයි චිත්‍රසේන කලායතනයේ වැඩකටයුතු ඔක්කොම බලන්නේ. මගේ අක්කා උමී තමයි නර්තන කණ්ඩායමේ වැඩකටයුතු කළමනාකරණය කරන්නේ. අපි තුන්දෙනා තමයි තුන්වැනි පරම්පරාව හැටියට මේ කලායතනය ඉදිරියට ගෙනියන්නේ. සීයාගේ දැක්ම තමයි අපි ඉදිරියට ගෙනියන්නේ. නර්තන කණ්ඩායම, නර්තන පාසලේ කට්ටිය, නැන්දලා දෙන්නා හා ආච්චි (වජිරා චිත්‍රසේන) සියලු දෙනා මෙයට සම්බන්ධ වෙනවා.
සීයාගේ 98 වැනි දිනය යෙදී තිබෙන්නේ මේ මාසයේ 26 වැනිදාට. ඒක රජයෙන් “මුද්‍රා නාට්‍ය දිනය” ලෙස නම් කර තිබෙනවා. අපි ඒ උත්සවලට සම්බන්ධ වෙන්නේ නෑ. අපි කලායතනයේ පරණ ගුරුවරුන්, පරණ ගෝලයන් එක්කාසු කරගෙන සීයා වෙනුවෙන් හැම වසරේදීම 26 වැනිදාට මොනවා හරි දෙයක් කරනවා. මෙවර අපි ගුරුගෙදර හදන්න සැලසුම් කළා. සීයා දැන් අපි ඉන්න තැන දැක්කෙම නැහැනේ.
1998 දී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමයි සීයාට නාරාහේන්පිට දැන් කලායතනය තිබෙන ඉඩම ප්රදානය කළේය. ඒ කාලයේ අපිට ඇත්තටම මොකුත් කරන්න බැරි වුණා. සීයා ජීවතුන් අතර සිටිද්දී අපට ඒ කටයුතු කරන්න බැරි වුණා. පස්සේ 2007 දී සීයා නැතිවෙලා අවුරුදු 2කට පස්සේ ඒ කලායතනය කුඩාවට හදලා ඒකට යන්න පුළුවන් වුණා. ඉතිං දැන් අපට අවශ්‍ය ඊළඟ තැනට ගෙනියන්නයි. ආච්චිටත් දැන් වයස අවුරුදු 87 ක් වෙනවා. ආච්චිගේ ජීවිත කාලය ඇතුළත එතන ගිහින් ඉන්න අවස්ථාව සලසලා දෙන එක තමයි තුන්වැනි පරම්පරාව හැටියට අපට ඕන වෙලා තිබෙන්නේ.
හේෂ්මා අක්කාගේ ලොකු හීනයක් තිබෙන්නේ මේක කොහොමහරි කරන්න. ගුරු-ශිෂ්‍ය පරම්පරා ක්‍රමයට තමයි ඒ කාලයේත්, අදත් ගම්වල අපේ නැටුම උගන්වන්නේ. කොළඹ එහෙම තැනක් අද දකින්න නැහැනේ.
චිත්‍රසේන කලායතනය 1944දී කොල්ලුපිටියේ ආරම්භ කරලා, අවුරුදු 44ක් එතන ඉඳලා පස්සේ සීයලාට එතනින් යන්න සිද්ධ වුණා. ඒ කාලයේ ආනන්ද සමරකෝන් පණ්ඩිත් අමරදේව, සුනිල් ශාන්ත, සෝමබන්දු විද්‍යාපති වගේ ප්‍රවීණයන් එදා සීයත් එක්ක එකට කලායතනයේ හිඳිමින් වැඩ කළා. දැන් ඒ වගේ තැනක් අපට නෑ. ඉතිං අපට දැන් ආපහු ඒ තත්ත්වය ඇතිකරන්නයි අවශ්‍ය. දැනට අපට තිබෙන්නේ ඩාන්ස් හෝල් එකක් විතරයි. ළමයින්ට, ගුරුවරුන්ට ඉන්න තැනක් තවම නෑ.
අපට දැන් මේ ඉඩම හම්බවෙලා අවුරුදු 18 ක් වෙන්න ළඟයි. සල්ලි ටිකක් හොයාගෙන, පරණ සිසුන්ගේ හා හිතවතුන්ගේ උදව් අරගෙන ඊළඟ පියවර තමයි මේ යන්න හදන්නේ. “ගුරු ගෙදර” හදන එක තමයි මේ කටයුත්ත. 26 වැනිදාට අපි සීයා වෙනුවෙන් එම කටයුත්තට මුල්ගල තබනවා.
එදා චිත්‍රසේන - වජිරා ඇති කළ ඒ ගුරු ගෙදර සංකල්පය නේද ඔබ යළි පණගන්වන්න හදන්නේ?
ඇත්තෙන්ම ඔව්. එය තමයි මේ පණගන්වන්න හදන්නේ. සීයාගේ ගුරුවරු එදා ගෙදර හිඳිමින් තමයි ඉගැන්නුවේ. එක ගුරුන්නාන්සේ කෙනෙක් සීයාගේ ගෙදර ඉඳලා ඉගැන්නුවා. අපට ඒ අවස්ථාව හම්බවෙලා නෑ.
ඉතිං දැන් අපෙන් ඉගෙන ගන්න ඊළඟ පරපුරට, ඒ අත්දැකීම දෙන්න කැමතියි. දැන් තිබෙන තත්ත්වය ගුරුවරයා ඇවිත් අපට උගන්වනවා. අපි ඉගෙන ගන්නවා. අන්තිමට අපි ගෙදර යනවා. ගුරුවරයාට අපි සලකන විදිහ, වත්තෙ වැඩ කරන විදිහ, තිබෙන වැඩ කරන විදිහ ආදී සියල්ලම එයට බලපානවා. අපි ගුරුවරයාට සැලකුවොත්, ගුරුවරයාව බලාගත්තොත් තමයි අපට ඇත්තටම හොඳ දැනුමක් ලැබෙන්නේ. “ගුරුවරයාගෙයි ශිෂ්යයාගෙයි සම්බන්ධය ගොඩනගන්න පුළුවන්. ගුරුවරයායි ශිෂ්‍යයායි එකට ජීවත් වුණොත් විතරයි. ඒ සංකල්පය ගේන්න තමයි අපි ගුරු ගෙදර හැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ආච්චිව එතන තියලා, එතනට ජීවයක් ලබාගන්නයි අපි දැන් හදන්නේ.
අපේ නර්තන කණ්ඩායමට අවුරුදු 75 ක් සම්පූර්ණ වුණා. පසුගිය වසරේදී අපි ඒ වෙනුවෙන් ගුරුගෙදර” උත්සවයක් කලායතනයේදී පැවැත්වුවා.
එදා ඒ පැවැත්වූ ගුරුගෙදර උත්සවයට ලැබුණු ප්‍රතිචාර කොහොමද? එය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙනදීමට සමත් වූවාද?
ඇත්තටම ඒක හේෂ්මා අක්කාගේ සංකල්පයක්. ඒක හැම පළාතකින්ම ගුරුවරුන් ගෙන්වලා, දවස් 4ක් එක දිගට ඒ අය එතන හිඳිමින් වැඩ කළා. ඒක අපි මහජනතාවට බලන්න විවෘත කළා. සියලුම දේ සාම්ප්‍රදායික විදිහට අපි එතන දී සිදු කළේ. උඩරට, පහතරට ඇඳුම් හදන විදිහ, රූකඩ කරන විදිහ, ගොක් කැටයම් කලාව, බර හදන ක්‍රමය සියල්ල ඒ ගුරුවරු මෙතන ජීවත් වෙමින් අපට කියා දුන්නා. හැදුවා. ගුරුවරු කැටුව අපිත් නැටුවා. අපට අවශ්‍ය වුණේ ඒ සංකල්පයට ජීවයක් ලබා දෙන්නයි. ඉතිං මේ අවුරුද්දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගුරුගෙදර හදලා, එය දිගටම ගෙනියන්න.
ඔයා තමයි තුන්වැනි පරම්පරාවේ චිත්‍රසේන කලායතනයේ ප්‍රධාන නර්තන ශිල්පිනිය. වජිරා, උපේඛාට පසු ඔබ තමයි මේ තැන ගන්නේ. ඇත්තටම ඇයි ඔයා මේ තරම් උනන්දුවක් නර්තන කලාවට දැක්වූයේ?
ඒක පරම්පරාවෙන්ම ආ දෙයක් වෙන්නැති. සීයලා, නැන්දලා, අම්මලා, අක්කලා ඔක්කොම නටනවා. මම ඉපදුනෙත් ඒ වගේ පරිසරයක. හැම වෙලාවකම ඔවුන් ෂෝවලට යන්න ලෑස්ති වෙනවා. නැත්නම් පුහුණුවීම්වල. ඉතිං මටත් ඉබේටම ඒ ගැන ආසාවක් ඇතිවුණා. මෙය කවදා ඉඳලා පටන් ගත්තා ද කියන්න බැහැ. දිගටම මම නර්තන කලාවේ තමයි නිරත වෙලා හිටියේ. මෙයින් ඈත්ව කවදාවත් ජීවිතේ හිටියේ නෑ. පාසලෙන් අයින් වුණාට පස්සේ මම දිගටම කලායතනයේ උදේ ඉඳන් හවස වන තුරු ඉන්නවා.
ඇත්තටම සීයාගේ දැක්ම තමයි මම මේ ඉදිරියට ගෙනියන්නේ කියලා සිතුවේවත් නෑ. මට හැම වෙලාවෙම සිතුණේ. මම ආස මේ දේ කරන්න හින්දා ඒ වෙනුවෙන් කැප වෙනවා කියලයි. සීයා නිසාවත්, මගේ අම්මා කියන නිසාවත් නොවෙයි. අපි කරන විදිහට කරන්න ඒකට හදවතින්ම ආදරයක් තිබිය යුතුයි. නැතිනම් හරි අමාරුයි. මට තිබෙන ආසාව, වුවමනාව හින්දා තමයි මේකට කැපවෙලා වැඩ කරන්නේ. අපි ආදර්ශයක් වුණේ නැත්නම්, මේ තියෙන ආකාරයෙන් ඊළඟ පරම්පරාවට දෙන්න කවුරුවත් නැහැනේ. අපි ඉගෙනගත් දේ ඒ ආකාරයෙන්ම ඊළඟ පරම්පරාවට දෙන්න බැරිනම් ඒකේ වැඩක් නෑ. සීයා, ආච්චි මෙය රැගෙන ආ ක්‍රමය ඉදිරියට ගෙනියන්න තමයි මගේ අරමුණ.
අපේ කලායතනය සාම්ප්‍රදායික ක්‍රමයට උගන්වන ක්‍රමයට නොවෙයි උගන්වන්නේ. ආච්චියි - සීයයි මුල ඉඳන් ව්‍යායාම් හඳුන්වලා දීලා, වෙනම ක්‍රමයකට ඉගැන්නුවේ. මාත් කැමැතියි ඒ ඉගෙන ගත් ක්‍රමය ඊළඟ පරම්පරාවට දෙන්න. මේක හරි පිළිවෙළකට සකස් වෙලා තිබෙන ක්‍රමයක්. වේදිකාවට යනවිට මේ ක්‍රමය අනුගමනය කිරීම හරිම වැදගත්. ඒ ක්‍රමයට මාත් කැමතියි. ඒ නිසාම අපි ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. මේ අපේ නැටුම ඉදිරියට ගෙනියන්න ඉගෙන ගන්න යම්කිසි මුදලක් ලබාදෙන්න කටයුතු යොදා තිබෙනවා. එය හැමදාම කරනවා. වෘත්තියක් හැටියට කරන අයට තමයි අපි මේ වැඩසටහන හදලා තිබෙන්නේ. අපි ඉගෙනගන්නවාට ගෙවනවා. දක්ෂතා ඇති ළමයින්ට ඒ හරහා චිත්‍රසේන නර්තනයේ හැඩතල අපි උගන්වනවා. ඊට පස්සේ ඔවුන්ට තීරණය කරන්න පුළුවන් අපිත් එක්ක දිගටම ඉන්නවාද කියා. ඔවුන්ට ඉවත් වෙන්නත් පුළුවන්. නමුත් අපේ ක්‍රමය ඔවුන් හරහා ප‍්‍රචලිතවීමයි අපට වැදගත් වෙන්නේ.
ඔබ ඔහොම කිව්වත් අද බොහෝ තරුණ තරුණියෝ ඉක්මන් ජනප්‍රියත්වයට නේද නර්තනය ඉගෙන ගන්න හදන්නේ? එය වාණිජකරණයට ලක්වෙලා නේද?
ගොඩක් අයට වත්කම නැති හින්දා, වාණිජකරණය පැත්තට තමයි යොමුවෙලා තිබෙන්නේ. මොකද එයින් ඉක්මනට ප්‍රතිඵල ලැබෙනවා. නමුත් අපේ ක්‍රමය ටිකක් අමාරුයි. මෙයින් ඉක්මනට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මාත් දැන් අවුරුදු 20ක් තිස්සේ උඩරට නැටුම් ඉගෙන ගන්නවා. දැන් තමයි මගේ ඇඟට ඇත්තටම නැටුම වැටිලා තිබෙන්නේ. දැන් තමයි ඇත්තටම ඒක හදවතට දැනෙන්නේ. අද ඉගෙනගෙන හෙට වැඩ පෙන්වන්න බැහැ. නමුත් ඒ වගේ කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒත් මේ කලාව එහෙම හැඩගැහිලා නෑ. ඉතිං ඒ හින්දා ගොඩක් වෙහෙසෙන්න, කැපකිරීම් කරන්න ඕනේ. නැටුමෙන් පිටත ජීවිතයක් නැති තරම්. අපි අවුරුද්දකට එක ප්‍රසංගයක් කළත් අවුරුද්ද පුරාම පුහුණුවීම් කරනවා. එයට දිනපතාම පුහුණුවෙලා ලෑස්ති වෙනවා.
ඔයාට අද අපේ රටේ පවතින නර්තන කලාව පිළිබඳව මොකද හිතෙන්නේ?
ඇත්තටම මෙයත් කිව යුතුයි. අද පරපුර සීයා ගැනවත් දන්නේ නැති තරම්. සමහරු මේ කලායතනයට ඇවිත් අහනවා මෙතන චිත්‍ර උගන්වනවා ද කියා. එහෙම තත්ත්වයක තමයි අද අපි ඉන්නේ. අද තිබෙන නර්තන කලාව පිළිබඳ කලකිරිලා වැඩක් නෑ. සීයගේ කාලයේත් දැනුත් ගොඩක් අය සීයාව විවේචනය කරනවා. සීයා නැටුම විවෘත කළා කියලා.
වේදිකාවට ගෙන ඒමෙන් නැටුමට වැරැද්දක් කළා කියලා සමහරු විවේචනය කරනවා. ඇඳුම වෙනස් වුණා. නැටුම වෙනස් වුණා. හැබැයි සීයා ඒ හැම දෙයක්ම කළේ සාම්ප්‍රදායික රාමුව ඇතුළේ හිඳගෙනයි. මම දන්නේ නෑ එතුමාගේ ගෝලයෝ මොනවද කරන්නේ කියලා. ඒවා ගැන අපි කතා කරන්නෙත් නෑ. මොකද හැමෝම කරන්නේ තමන් හරි කියන දේ නේද?
දැන් ගොඩක් කලාකාරයෝ ඉන්නේ චිත්‍රසේන කලායතනයෙන් ඉගෙන ගිය අයයි. අද ඒ අය ලොකු තැන්වල ඉන්නවා. ඒගොල්ලෝ චිත්‍රසේන කලායතනයේ දැක්මයි, සීයා ඒ කරපු දේ ඉදිරියට ගෙනියනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්. සීයාටයි, ආච්චිටයි තිබූ දැක්මටත් වඩා හොඳට එය කරගෙන යන්න තමයි අපේ බලාපොරොත්තුව. එහි කිසිම අඩුවක් නැතුව ඊළඟ පරම්පරාවට දෙන්න තමයි අපි හදන්නේ. සීයගේ කාලයේදීත් මෙම නැටුම වේදිකාවට ගේන විට ලොකු ගැටලු අවා. ගොක් පාරම්පරික ශිල්පීන් කැමැති වුණේ නෑ. සීයා විවේචනයට ලක්වුණා. අනෙක සීයා ආවේ ඉංග්‍රීසි කතා කරන පවුලකින්. ඒකත් ගොඩක් ප්‍රශ්නයක් වුණා. මෙය සිංහල නැටුමක් විදිහට ඉදිරියට ගෙනයෑමේදී. සීයා පසුබට නොවී කොහොමහරි ෆයිට් කරගෙන ගිහිල්ලා ලබාත්තා. ඊට පස්සේ තමයි සීයා මේ සාම්ප්‍රදායික ශිල්පය නොනැසී පවත්වා ගැනීමට වෙනම රාමුවක් හදාගෙන කටයුතු කළේ.
හැබැයි සීයා සාම්ප්‍රදායික ක්‍රමයට හානියක් නොවන විදිහට තමයි මෙය ඉදිරියට ගෙන ආවේ. සීයා පසුව පාරම්පරික ශිල්පීන් ගෙන්වලා වේදිකාවේ අවස්ථාවක් ඔවුන්ටත් ලබාදුන්නා. ඒ අවස්ථාව ලැබුණේ නැත්තම් මම හිතන්නේ නෑ නැටුම අද මේ ආකාරයට තිබෙයි කියා. ඊට පස්සේ එය විකෘති කළ ආකාරය සීයා දැක්කා කියලා මම හිතන්නේ නෑ.
සීයා අපට කිව්වේ, මේක හදන්න බැරි තත්ත්වයට විනාශ වී යනවා නම්, ඒක මැරෙන්න ඉඩහරින්න කියලයි. සීයාගෙන් පස්සේ අපි සියලු දෙනා ගැහැණු අය තමයි මේ උරුමය රැකගෙන යන්නේ. කලායතනයයි, නර්තන කණ්ඩායමයි අපි ඉදිරියට ගෙනියන්නේ. ගොඩාක් අය හිතනවා, සීයාගෙන් පස්සේ අපේ කලායතනයේ නැටුම් ඉවරයි කවුරුවත් ඒවා දැන් කරන්නේ නෑ කියලා. පිට අය එහෙම කිව්වත් සීයා කළා වගේම, සමහරවිට ඊටත් වඩා හොඳට නැන්දාගෙන් (උපේඛා) පස්සේ තෙවැනි පරම්පරාව විදිහට ජාත්‍යන්තරයට ගෙනයන්න තරමට සියලු කටයුතු යොදා තිබෙනවා. අපට ලංකාවේ සිටින නර්තන කණ්ඩායම් එක්ක ගැටෙන්න වුවමනාවක් නෑ. ගොඩක් වාණිජකරණයට ලක්වූ අය තමයි ඒ විදිහට ගැටෙන්නේ. අපි වගේ කරන අය ඉන්නේ ඉතාම අතළොස්සයි. අපි කා එක්කවත් අමනාපකම් නෑ සීයාගේ ගම හා එයා කරගෙන ගිය ක්‍රමය අපි ඉදිරියට ගෙනියනවා. ලෝකයේ නැටුම තිබෙන තැනට අපේ නර්තන කලාව ගෙනියන එක තමයි බලාපොරොත්තුව.
සමන්ත යහම්පත්
ලංකාදීප