තාක්ෂණික පරිහානියක් හේතුවෙන් විනාශ වුණු ලෝකයක විශාල ඉලෙක්ට්‍රොනික කසළ ගොඩක තිබී දොස්තර අයිඩෝ විසින් යමක් සොයා ගනු ලබයි. ඒ රොබෝවකගේ විනාශ වී ගිය සිරුරක මොළය (Core) කි. පෙර ජීවිතය පිළිබඳ කිසිදු මතකයක් නොමැති මේ මොළයට කරුණාවන්ත දොස්තර අයිඩෝ විසින් අලුත් සිරුරක් තනා දෙන අතර ඇය ඔහුගේ දියණිය බවට පත්කර ගනී. අලීටා ලෙස නම් වන ඇය සුවිශේෂ හැකියාවන්ගෙන් යුතු රණ ශූරියක බව ටිකෙන් ටික කරුණු හෙළි වේ.
යුකිතෝ කිශිරෝ නම් ජපන් චිත්‍රකතා නිර්මාණ ශිල්පියා විසින් 1990 වසරේ නිර්මාණය කරන ලද Battle Angel හි Alita නම් චරිතය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරුවන් දෙපොළක් වන ජේම්ස් කැමරන් සහ ජෝන් ලැන්ඩෝ (චිත්‍රපට නිෂ්පාදක) විසින් කරන්නට යෙදුණු නවතම විද්‍යා ප්‍රබන්ධ පරිගණක සජීවිකරණ චිත්‍රපටයේ කතාව මෙසේ දිග හැරේ.
චිත්‍රපටය ගැන විස්තර කිරීමට ප්‍රථම කැමරන් - ලැන්ඩෝ නිර්මාණකරුවන් දෙදෙනා ගැනත් යමක් කිව යුතුමය. එනම් ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර නිර්මාණය කෙරුණු වැඩිම ආදායම් ලද චිත්‍රපට ද්විත්වය වන Avatar (අමෙරිකානු ඩොලර් බිලියන 2.79) සහ Titanic (අමෙරිකානු ඩොලර් බිලියන 2.19) මෙම විශිෂ්ට සිනමාකරුවන් දෙදෙනා දායාද කළ නිර්මාණයන් බවය. Alita චිත්‍රපටයේ අධ්‍යක්ෂණය රොබට් රොඩ්රිග්යුස් නම් අධ්යක්ෂවරයා විසින් සිදු කර ඇති අතර ඔහු මෙක්සිකානු චිත්‍රපට නිර්මාණයට නැඹුරුවක් දක්වන අධ්යක්ෂවරයෙකි.විචාරකයන් ඔහු හඳුන්වන්නේ නව පරපුරේ වෙනසක් කළ අධ්‍යක්ෂවරයෙකු ලෙසිනි. 1992 වසරේ දී ඔහු අමෙරිකානු ඩොලර් 7000ක පමණ පිරිවැයකින් නිර්මාණය කරන ලද El Mariachi නම් චිත්‍රපටයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක ඉහළ ආදායමක් ලබා නමක් දිනා ගත්තේය. Sin City චිත්‍රපට ද්විත්වයද රොබට්ගේ අධ්යක්ෂණයන් ය.
මෙහි එන අලීටා හට පණ පොවන්නේ රෝසා සලසාර් නම් අමෙරිකානු නිළිය යි. මීට පෙර Divergen සහ Maze Runner චිත්‍රපටවලද සලසාර්ගේ රංගනයන් දැකගක හැකි විය. අලීටාගේ අංග චලනය සඳහා සලසාර් මෝෂන් කැප්චර් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීම විශේෂත්වයකි. සෙසු චරිත අතර ක්‍රිස්ටොෆ් වෝල්ට්ස් විසින් අලීටාගේ පියා වන දොස්තර අයිඩෝගේ චරිතයටත් ජෙනිෆර් කොනෙලි චිරෙන්ගේ චරිතයටත් පණ පොවති. සෙසු චරිත මවන්නේ, මාෂෙලා අලී, මයිකල් රොඩ්රිග්යුස්, ඊසා ගොන්සාලේස්, ලානා කොන්ඩෝර් ඇතුළු පිරිසක් විසිනි. ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටයට අමෙරිකානු ඩොලර් මිලියන 150 - 200ත් අතර පිරිවැයක් දරා ඇත. Alita රණ ශූරියගේ කතාව ලබන පෙබරවාරි 14 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතය.
යතේජා ඥානරත්න
සරසවිය