"මේක අපරාජිත සංසාරයක්
මට ඒක සංතර්පන විශ්වයක්
මරණ විලිරුදාවෙන් මොරදෙන
සංග්රාම සුරාන්තයක්
දහස් මිනිස් සුසුම් පිණිස
පිදෙන පාංශූකූලයක්"
චිත්‍රපට ගීත යනු චිත්‍රපටයක පූර්ව ප්රචාරක පටයක් වැනිය. පේ්රක්ෂක විඥානයේ බොහෝ කාලයක් යනතුරු චිත්‍රපටයක් මතක තබාගැනීමට චිත්‍රපට ගීත මෙන්ම එහි සංගීතයද පිටුවහලක් වේ. දේශීය සිනමාව ආරම්භයේ ඉන්දියානු සංගීත තනුවලින් බිහිවූ ගීත සහ සංගීතයද මෙරටේ වඩාත් ජනප්‍රිය විය. බොහෝවිට චිත්‍රපටය වඩා ජනප්රි වූයේ ගීතය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' සිනමා නිර්මාණය ආකෘතිමය වශයෙන් මෙන්ම සිනමා රීතිමය වශයෙන්ද ලාංකේය සිනමාවේ වෙනස් කම සනිටුහන් කළ, වෙනත් මගක් ඔස්සේ සිනමාව මෙහෙයවන්නට අනුබලයක් දුන් සිනමා නිර්මාණයක් විය.
70දශකයේ ජනප්‍රිය සිනමාවේ සංගීත කලාව මෙන්ම කලාත්මක සිනමාවේ සංගීත කලාව තුළ පෙරළියක් ඇති කරන්නට එම යුගයේ සිනමා අධ්යක්ෂවරුන්ගේද සිනමා සංගීත නිර්මාපකයන්ගේද දායකත්වය නොඅඩුව වර්ධනය වී තිබුනි. ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන් සහ සරත් දසනායක සෝමදාස ඇල්විටිගල වැනි නම් එහිදී සටහන් නොතබාම බැරිය. තවත් සංගීත අධ්යක්ෂවරුන් බොහෝවිය. 70 දශකයේ ජනප්‍රිය සංගීත කලාව මෙන්ම කලාත්මක සිනමා සංගීත කලාවේ ගීත සහ පසුබිම් සංගීත ඛන්ඩ සිනමා පේ්රක්ෂකයෝ ඉහළින්ම රස වින්දාහ.
පසුකාලයේ දේශය සිනමාවේ සංගීත කලාව යම් තරමක් හෝ දුරට සජීවීව තබාගැනීමට සංගීත නිර්මාපකයන් ට හැකිවුනාද යන්න විමසා බැලීම වටී. මන්ද දේශීය සිනමාවේ ඇතිවූ නිර්මාණාත්මක අර්බූදය තුළ සංගීත කලාවක් පමණක් බිහිනොවන බැවිනි.
වර්තමානයේ තිරගතවන "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය මෙරට සිනමාවේ යම් සන්ධිස්ථානයක් වන්නේ දේශපාලන සංවිධානයක නායකයෙකු වටා නිර්මාණය කරන ලද සිනමා පටයක් වන බැවිනි. එය වඩාත් කතාබහට ලක්වන්නේ 71 සිට 89 දක්වා වූ කාලය තුළ මෙරට දේශපාලන ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීර මෙරට ජනතාවගේ ජීවිත වලට කරන ලද වෙනස්ම ආකාරයේ දේශපාලන මැදිහත් බාවය නිසාය.
"ගින්නෙන් උපන් සීතල" රෝහණ විජේවීර වටා නිර්මාණය වූ සිනමා පටයක් වන අතර මෙවන් චිත්‍රපට සඳහා ගීත නිර්මාණය වීමම යම්කිසි අභියෝගයක් ද වන්නේය. මන්ද ලෝක සිනමාවේ දේශපාලන චරිත වටා නිර්මාණය කරන ලද සිනමා නිර්මාණ තුළ වුවද ගීත බොහෝවිට ඇතුළත් නොවේ. නමුත් ජනතාවට සිනමාව තුළ ගීත හුරුවූ රටක දේශපාලන භූමිකාවක් වටා නිර්මාණය කරන ලද විකල්ප ධාරාවේ නිර්මාණයක ගීතයක් යනු වෙනසකි.
"ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටයේ අවසානය සමග දිගහැරෙන මෙම ගීතය ගයන්නේ ජනප්‍රිය හෝ ගායකයෙකුලෙස නමක් දිනාගත් අයෙකු නොවීමම විශේෂය. නවරත්න ගමගේ යනු මෙරට සංගීත නිර්මාණ කරුවන් අතර සිටින සුවිශේෂී චරිතයකි. සංගීත නිර්මාණය කරන්නාවූ බොහෝ දෙනෙකු හොඳ ගායන හැකියාවක් ඇත්තවුන්ය.උදාහරණ කේමදාසයන්ට ගී ගැයිය හැකිය. රෝහණ වීරසිංහ ගී ගයයි. නවරත්න ගමගේ ගී ගයයි. නදීක ගුරුගේ ගී ගයයි. "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටයේ මෙම ගීය ගයන්නේ නවරත්න ගමගේ සහ උමාරියා සිංහ වංශයි. මෙහි පදරචනය නයනානන්ද පෙරේරාගෙනි. සංගීත නිර්මාණය නවරත්න ගමගේ විසින්මය.
අනේ ඝණදුර
සොයා නොමයනු මැනේ
මගේ සිහිනය මරා නොදමනු අනේ ....
අහෝ ඝණදුර සොයා නොමයනු සහෝ
අපේ සිහිනය මරා නොදමණු අහෝ
මේක ඝන්ධබ්භ හීනයක්
ඒත් ඒක මහා අහස් භූමියක්
ක්ශීර සාගර කතරක තනිකලත්
වාළාකුළු දෙනෝදාහක කැටිකළත්
මේක අපරාජිත සංසාරයක්
මට ඒක සංතර්පන විශ්වයක්
මරණ විලිරුදාවෙන් මොරදෙන
සංග්රාම සුරාන්තයක්
දහස් මිනිස් සුසුම් පිණිස
පිදෙන පාංශූකූලයක්
අවසන් සුසුමන් දහසක් අතරින්
අවසන් නොවෙනා මහා සුසුමක්
අවසන් ගමන් දහසක් වෙනුවෙන්
අවසන් නොවෙනා මහාගමනක්
අනේ ඝණදුර
සොයා නුඹ ගිය තැනේ
මගේ සිහිනය
මරා දැමුවා අනේ
මෑතකාලීන සිනමාවේ වෙනස් මානයක ගීත කලාවක් සහ සංගීත වින්දනයක් 'ගින්නෙන් උපන් සීතල' රසිකයාට රසවිඳින්නට සලස්වයි.
ගීතය, සංගීතය ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව වෙත කැඳවිය යුතු මොහොත සහ යුගය අප අභියස තිබේ. 'ගින්නෙන් උපන් සීතල' එහි ආරම්භක ප්‍රවේශය මෙසේ සනිටුහන් කර තිබේ.
වත්සලා සෙනෙවිරත්න -මිරර්ආර්ට්ස් වෙනුවෙන්