ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයන් අතින්...
රෝහණ විජේවීර කොටසකට වීරයෙක්; කොටසකට ද්‍රෝහියෙක්
-අනුරුද්ධ ජයසිංහ -
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයට ඔබ පාදක කරගෙන තිබෙන්නේ, 1977-89 කාල වකවානුවේ රටේ සිදු වූ සංසිද්ධියක්. මෙවැනි කර්තව්‍යයකට මුලපිරුවේ ඇයි ?
විශාල වියදමක් කරලා ප්‍රේම කතා වාගේ දේවල් නිර්මාණය කරනවා. අපි දැකපු නැති අපි අහපු රජවරුන් ගැන නිර්මාණය කරනවා, මේ රටේ. නමුත්, අපේ සීයා, අපේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් මුහුණ දුන් මේ සමාජ සංසිද්ධිය ගැන ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකින් ඇයි අපි කතා කරන්නේ නැත්තේ කියන ප්රශ්නය මට තදින් ම බලපෑවා. ඒ නිසයි, මම මේ කර්තව්‍යයට අතගැසුවේ.
මේ කතාව ගලා යන්නේ එක රේඛාවක් දිගේ. ඇත්තට ම චිත්‍රපටයට අඩිතාලම වැටෙන්නේ කොහොම ද?
දිලීප අබේසේකර දවසක් මට කිව්වා, රෝහණ විජේවීර කැලෙන් එළියට ඇවිල්ලා, පූඬලුඔය දොස්තර කෙනකුගේ ගෙදර නතර වෙලා ඉඳලා තියෙනවා. ඒක මාර ලස්සන කතාන්දරයක්. මොක ද? අන්තිමට විජේවීර ලියපු ලියුමක් දැකලා තමයි, දොස්තර බිරිඳ දැනගන්නේ ‘ඒ විජේවීර’ කියලා. එතැන මාර ස්ටෝරියක් තියෙනවා කියලා ඔහු මට කිව්වා. මේ කතාව ගැන තමයි, මුලින් ම මම කරුණු එකතු කරන්නේ. එතකොට මට තේරුණා, ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය, සන්නද්ධ ක්‍රියාකාරීත්වය මේ සියල්ල මැද්දේ තමයි, මේ කතාව තියෙන්නේ කියන එක. ඒ කියන්නේ, පූඬලුඔය සිද්ධිය හුදෙකලා කරලා ගන්න බැහැ කියන එක මට තේරුණා. මේක ඇවිල්ලා, බූවල්ලෙක් වගේ දිවෙන කතා ධාරාවක එක අණ්ඩක් පමණයි. ඊට පස්සේ නැවත සැරයක් මම මේ රිසර්ච් එක කරන්න පටන් ගන්නවා. අන්තිමට මේක 1977දී විජේවීර සහෝදරයා හිරෙන් නිදහස් වෙලා එන සන්ධිස්ථානයේ සිට ඔහුගේ මරණය දක්වා කතාව නිර්මාණය කිරීම සඳහා මම සූදානම් වුණා.
පැති කිහිපයකින් හැත්තෑහත, අසූනවය දෙස බලන පිරිස් රටේ ඉන්නවා. ඔබ කොයි පැත්තේ ඉඳන් ද බලන්නේ ?
මෙහෙමයි, රෝහණ විජේවීර කියන්නේ, කොටසකට වීරයෙක්; දේශප්‍රේමියෙක්; මානවවාදියෙක්. අනෙක් පැත්තට ද්‍රෝහියෙක් සහ මිනීමරුවෙක්. මේ කොටස් දෙක මැද්දේ තමයි, මේ ලයින් එක තියෙන්නේ. නමුත්, මගේ කතාව මම දිගහරින්නේ, ඉතිහාසය බිහි වන්නේ ජයග්‍රාහකයන්ගේ පෑන්වලින්; ජයග්‍රාහකයන්ගේ පොත්පත්වල කියන පදනම මත. එතකොට නිරන්තරයෙන් ම පැරදුණු මිනිස්සු ද්‍රෝහීන් බවට පත්වෙනවා. නමුත්, මම ඒ ව්‍යාපාරයේ කොනක පුංචි අංශුවක් විතරයි. හැබැයි, ඒ අංශුව මම නියෝජනය කරන්නේ කැරැලිකරුවන්ගේ පැත්තේ ඉඳගෙන. එතකොට මට ඕනෑ වුණා මේ කතන්දරය මානව වංශයේ වෙන විදියකට ලියන්න. ඒ නිසා මම කැරැලිකරුවන්ගේ පැත්තේ ඉඳගෙන තමයි, මේ කතාව දිගහරින්නේ. මම කැරැලිකරුවන්ට විරුද්ධ පාර්ශ්වයේ අදහස් මේ කතාව ඇතුළට ගේන්නේ නැහැ.
මෙවැනි චිත්‍රපටයක් තුළ දේශපාලනය සහ සිනමා කලාත්මක බව යන කාරණා දෙක ම සැලැකිල්ලට ගත යුතුයි. ඔබ කොහොම ද ඒ අභියෝගයට මුහුණ දුන්නේ ?
විජේවීර සහෝදරයාගේ නොදන්න කතාව තුළ තිබෙන කුකුස, තියෙන නාට්‍යෝචිත බව සහ එහි තිබෙන රසය තියාගෙන මේ දේශපාලන කාරණාවලට විතරක් ලඝු නොවී නිර්මාණය කරන එක තමයි, මගේ වෑයම වුණේ. එතකොට මෙතැන දී ප්‍රශ්නයක් එනවා. රෝහණ විජේවීරගේ සහ එම පක්ෂයේ දේශපාලන මතවාදය සම්බන්ධව. ඒ කියන්නේ, ස්වයං තීරණ අයිතිය පිළිබඳව ජාතිවාදය පිළිබඳව ඔහු දක්වපු මතවාදය වැනි කාරණා ගත්තොත්, ඒවා බරපතළ සහ බරසාර දේශපාලන කරුණු. මේ කරුණු චිත්‍රපටයෙන් කතා කළා නම්, මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයෝ පන්දාහකට, දහදාහකට ලඝු වෙන චිත්‍රපටයක් වෙනවා. නමුත්, මේ දේශපාලන කරුණු සමඟ ඔවුන් ගත කළ සැඟවුණු යටිබිම්ගත දේශපාලන ගමන මොකක් ද? ඒ අතරේ කොහොම ද විජේවීර සහෝදරයා පවුල් ජීවිතයත් එක්ක මේ පීඩනය දරගෙන අවුරුදු ගණනක් ජීවත් වුණේ කියන නාට්‍යෝචිත ලයින් එකේ තමයි, මම වැඩ කළේ. එතැන දී ඔහුගේ පවුල් ජීවිතය සහ දේශපාලනය කියන දෙක ම එනවා. දේශපාලන මතවාදය ගැඹුරු විදියට චිත්‍රපටය ඇතුළට ගෙනාවා නම්, මට මේක කරන්න වෙන්නේ වාර්තා චිත්‍රපටයක හැඩයකට. එහෙනම්, මේ චිත්‍රපටය නීරස වෙනවා. ඒ නිසා මම තෝරා ගත්තේ, රෝහණ විජේවීර කියන පුද්ගලයා මේ ව්‍යාපාරය වෙනුවෙන් කළ කැප කිරීම සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය කොහොම ද තිබුණේ කියන කතාන්දරය.
මේ කලාකෘතියට මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගත් බව ඔබ සඳහන් කළා. ඒ මූලාශ්රවල නිරවද්‍යතාවය තහවුරු කර ගත්තේ කොහොම ද?
මූලාශ්‍රවලින් තොරතුරු අරගෙන නිර්මාණයක් කිරීම අතිශය භයානකයි. මොක ද? ඒ මූලාශ්රවල හිටපු පුද්ගලයන් ජීවත් වෙලා ඉන්න නිසා. සියලු දෙනා ම ජීවතුන් අතර නැත් නම්, මූලාශ්‍ර සම්බන්ධයෙන් ලොකු රිස්ක් එකක් නැහැ. සෙල් ලිපියක තිබුණා හරි මොකක් හෝ කියලා අපට ඒක ෂේප් කර ගන්න පුළුවන්. නමුත්, මේ රිසර්ච් එකේ දී එහෙ ම කරන්න බැහැ. එතකොට මේ කරුණුවල දී සියයට හැටක නිරවද්‍යතාවක් ලබා ගන්න පමණයි අපට පුළුවන් වුණේ. මොක ද? මේක චිත්‍රපටයක්. ඒ වාගේ ම ප්‍රබන්ධයක්. මූලාශ්‍ර සහ කරුණු ආශ්‍රය කරගෙන මා විසින් කරපු චිත්‍රපටයක්. ඒ නිසා මට මේකෙ දී අනිවාර්යයෙන් සමාවක් අවශ්‍යයි. මොක ද? මම කරුණු හොයාගෙන යනවා. මට විවිධ මතගැටුම් තිබුණු කරුණු හම්බ වෙනවා. අවසානයේ මට සිද්ධ වෙනවා එක තැනක නතර වෙන්න. ඔබේ සත්‍යය, මගේ සත්‍යය එකිනෙක ගැටීමෙන් ඇති වන තෙවැනි සත්‍යය කියලා මට මේක වර්ග කරන්න සිද්ධ වෙනවා. යම් කරුණක් අවස්ථාවට හානියක් නොවේ නම්, එය නිර්මාණකරුවාගේ අයිතිය. ඒ තුළින් ව්‍යාපාරයකට, පුද්ගලයකුට යම් හානියක් සිදු වෙනවා නම්, වැරදියි.
ඒ වාගේ ම මම මූලාශ්‍ර හොයන්න ගියේ තනිවම නොවෙයි. අවුරුදු එකහමාරක විතර රිසර්ච් එකක් කළා. මේ කරුණු නිවැරැදි කර ගන්න, තහවුරු කර ගන්න පුද්ගලයන් සොයා යාම, ඔවුන්ට පිටපත කියවන්න දීම, පිටපත වෙනස් කර නැවත පිටපත ලිවීම වාගේ දීර්ඝ ක්‍රියාවලියක් මේ රිසර්ච් එක ඇතුළේ සිද්ධ වුණා. කෙනකුට දැන් කියන්න පුළුවන් මේක වැරැදියි කියලා. නමුත්, පීනන්න වතුරට බැහැපු මිනිස්සු අපි නේ. අපිටයි මේකේ බාධා, කම්කටොලු ආවේ. කෙනකුට පිටත ඉඳලා ඔහුගේ කතාව කියන්න පුළුවන්. නමුත්, අපි ඊට පස්සේ සිදු වුණු කතන්දරේ හොයන්නත් ඕනෑ නේ. රිලේ එක අපි දිගට ම ගියා. සියයට හැටක්, හැත්තෑවක් මිසක් සියයට සියයක් අපිට මේක නිවැරැදි කර ගන්න බැහැ.
චිත්‍රපටයේ චරිත මෙහෙයවීමේ දී අධ්යක්ෂවරයා විදියට ඔබේ උපක්රමයන් දියත් වුණේ කොහොම ද?
මිනිස්සු දන්න කතාන්දරයක චරිත ඉදිරිපත් කිරීම සහ මිනිස්සු නොදන්න මනඃකල්පිත කතන්දරයක චරිත ඉදිරිපත් කරන විදිය කියන්නේ, දෙකක්. මට සම්පූර්ණ නිදහස තිබෙනවා, ප්‍රබන්ධ කතාවක හෝ මගේ කතාවක චරිත මට ඕනෑ විදියට හසුරුවන්න. නමුත්, මේ චිත්‍රපටයේ චරිත හැසුරුණු විදිය, ඇවිද්ද විදිය, කතා කළ විදිය සමාජය ඕනෑ තරම් දැකලා තියෙනවා. එතකොට මට හෝ නළුවන්ට ඕනෑ විදියට ඒ චරිත හසුරුවන්න බෑ.
මේ චිත්‍රපටයේ චරිත රඟපාන නළුවන් ගැන සහ ඔවුන්ගේ රංගනයන් සම්බන්ධව ඔබේ කියැවීම මොකක් ද?
නළුවන් සරලව ගන්න එපා කියන එක මට කියන්න ඕනෑ. නළුවෝ කියන්නේ අපට කරන්න බැරි මහා කාර්යයක් කරන මිනිස්සු. අපි සරලව ඔවුන්ගේ ජීවිත දිහා බලලා, ඔවුන් විවේචනය කරනවා. නමුත්, ඔවුන්ගේ පෞද්ගලිකත්වය අපට අදාළ නැහැ. නළුවා තමන්ගේ ප්‍රතිභාවෙන් යුත් රංගනයෙන් මුළු මහත් සමාජයක් ආලෝලනය කරනවා. නළුවා තමයි, මතවාදය ගෙන යන වාහකයා බවට පත් වෙන්නේ.
එතකොට මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් තමන්ට හිමි චරිතයේ කරුණු සොයා ගන්න අතරේ මට තිබුණේ එක කාර්යයයි. ඒ තමයි, ‘අපි’ කියන කන්සෙෆ්ට් එක ප්‍රමෝට් කරන එක. රෝහණ විජේවීර, ගමනායක, සෝමවංශ අමරසිංහ කියන අය තනි තනිව මතු කරන එක නොවෙයි, මගේ කාරණය වුණේ. තමන්ගේ චරිතයේ තියෙන ලක්ෂණ ටික තබාගෙන තමන් තනි තනි වීරයෝ වෙන්න එපා කියන එක තමයි, අධ්‍යක්ෂණයේ දී මම නළුවන්ට කියපු විශේෂ ම කාරණය. ඒක පාලනය කර ගන්න පුළුවන් නම්, මේ චිත්‍රපටය කරන්න පුළුවන්.
කතාබහ : භාතිය ගුණසේන
ලංකා ඉරිදා සංග්‍රහය