ඔබ වටා සිටිනා පොතට හිතැත්තෝ , ලෝක සාහිත්‍යයේ කරණම් ගසන්නෝ , යම් පොතක් ගැන කියා එය කියවිය යුතු පොතක් යැයි නිර්දේශ කරති. අහවල් පොත අමිල සාහිත රසයෙන් පිරුණු, පාඨකයන්ගේ පැසසුමට සහ විචාරකයන්ගේ ඉහල වර්ණනාවට පත් කෘතියක් බවත් එය නොකියවන්නා සාහිත්‍ය නොහදුනන්නෙක් බවත් ඔවුහු කියති. ඉහළ නිර්මාණ ලෙස බොහෝ දෙනා හදුන්වන එවැනි පොත් කියවන්නට නම් මා තුළඇත්තේ බියකි . වැඩි දෙනාගේ සිත් ගත් පොතක් මගේ සිත් නොගන්නට පුළුවන. එවිට සිදු වන්නේ පොත වර්ණනා කළ උන් ගැනත් මට කෝපයක් ඇති වීමයි. උදාහරණ කීපයක් ගනිමු . බ්‍රසීල ජාතික Paulo Coelho ගේ The Alchemist පොත මුළු මහත් ලෝකයම කම්පනයට පත් කරද්දී ඒ පොත මට රිසි නොවිණ . හර්මන් මෙල්විල් ගේ Moby Dick ද එවැන්නකි. මේ වන විට බොහෝ දෙනා ඉහළින් වනනා අරුන්දතී රෝයි ගේ Ministry of utmost happiness ද එවැන්නකි.
මා වැරදි වන්නට පුළුවන. මක් නිසාද යත් හොඳ පොත් සොයා යාමේ චාරිකාව අපිට තනිවම කළ නොහැකිය. ඒ සඳහා බොහෝ දෙනෙකුගේ උදව්, මඟ පෙන්වීම් උවමනා වෙයි. තවත් අයෙක් හොඳයි කියනා පොත් කියවන්නට අපිට සිතෙයි. මේ නිසා අපේ සාහිත්‍ය රසය වැඩි කිරීමේ කාර්යයේ දී අප වටා සිටින්නවුන් විශාල මෙහෙයක් කරනා බව පිළිගත යුතුය.
මේ කියන්නට යන ප්‍රංශ පොත ද මිලියන ගණනක් දෙනාගේ පැසසුමට ලක් වූවකි. ලාංකික සාහිත්‍ය රසකාමින්ගේ දෙනෙතට හෝ සවනට හසු නොවුණද, මේ පොත ගැන නොදන්නා ප්‍රංශ ජාතිකයෙක් (සත්‍ය වශයෙන්ම පොත් හිතැත්තෙක් ) නැති තරම්ය. මේ පොත වනාහි රසවත් කතාවකින් යුත් සිත් බැඳ ගන්නා සාහිත්‍ය රටාවකින් ලියවුණු පොතක් නොවේ. එය කියවන්නට අපහසු , නීරස පොතකි . එසේ නම් එය ප්‍රංශ සාහිත්‍යයේ කැපී පෙනෙන පොතක් වී තිබෙන්නේ කෙසේද...?
මෙය සංකීර්ණ කතාවක් හෙයින් හෙමින් සීරුවේ විස්තර කරමි.
මුලින්ම කිව යුත්තේ හැමෝම ගේම කතා බහට ලක් වුණු මේ පොත කියවීමට මාසයක කාලයක් මට ගත වුණු බවයි. පිටු 302 ක පොතක් කියවීමට ගෙවුණු කාලය වැඩි බව සැබෑය . එයට හේතුව එහි පහසු ලෙස දිග හැරෙනා කතාවක් නොමැති වීමයි . තිබෙන්නේ හුදෙක්ම සාහිත්‍ය හරඹයක් පමණි. ප්‍රංශ බසේ නොයෙක් සංකීර්ණ , ගැඹුරු තැන් සොයා යමින් සිද්ධී ඉදිරිපත් කිරීමේ හා ඒවා පාඨකයා හට ඉදිරිපත් කිරීමේදී යොදා ගත හැකි ඉන්ද්‍රජාල භාවිතාවක් පමණි මෙහි තිබෙන්නේ. එහෙත් මේ පොත මනා අත්දැකීමකි. ඉතාම කලාතුරකින් දකින්නට , අසන්නට ලැබෙන "පිස්සු හැදෙනා " සාහිත්‍ය කාර්යක මේ පොතේ කතුවරයා යෙදී තිබේ.
පොතේ නම La Disparition (The Disappearance) වෙයි . ලේඛකයා George Perec (ජෝර්ජ් පෙරෙක් ) නම් වෙයි. විශේෂත්වය නම් පිටු 302 ක පුරාම ප්‍රංශ භාෂාවේ වැඩියෙන්ම භාවිතා වන අකුර වන E කිසිම තැනක ඔහු භාවිතා නොකිරීමයි. එනම් E අකුර ඇති වචන යොදා නොගැනීමට ඔහු වග බලා ගැනීමයි.
ප්‍රංශ භාෂාව ලිවීමේදී E අකුර වැඩි වශයෙන්ම භාවිතා වන අකුර බවට පත්ව ඇත්තේ ආකාර තුනකින් එය යොදා ගන්නා හෙයිනි. මුලින්ම E අකුර ප්රංස බසේදී හඬ නැගෙන්නේ ඉංග්‍රීසි බසේ හඬ නැගෙනවාට වඩා වෙනස් ආකාරයටයි. එය මූලික වශයෙන්ම e ලෙසත් දෙවනුව é ලෙසත් තෙවනුව è වශයෙනුත් (අකුරට උඩින් පුංචි ඉරි කෑල්ලක් ඉහළටත් පහළටත් යෙදීමෙන් ) ලියන්නට යොදා ගනියි. මේ අවස්ථාවන් තුනේදීම අකුර හඬ නැගෙන්නේ තුන් ආකාරයටයි.
ඇතැම් ලේඛකයන් සාහිත්‍යකරණයේ යෙදෙනා විට භාෂාව සම්බන්ධයෙන් තමන් විසින්ම විවිධ තහනම්, නීති , සිමා පනවා ගනිති. ඇතැම්හු වුවමනාවෙන්ම වැදගත් වචන අත හරිති. තවත් අය එකම වචනය දෙවරක් යොදා නොගන්නට වග බලා ගනිති. උදාහරණයක් ලෙසින් Doug Nufer තමන්ගේ Never Again නැමැති පොතේ එක වචනය දෙවරක් යොදා ගන්නේ නැත. ප්‍රංශ ලේඛක Michel Thaler ගේ Le Train de Nulle Part පොතේ එකදු ක්‍රියා පදයක් හෝ ඔහු භාවිතා නොකරයි. ද්‍රවිඩ ලේඛක Charu Nivedita ගේ Zero Degre පොතේ "oru " සහ "ondru " (a ,an , one ) යන වදන් දකින්නට නැත. ලේඛකයෝ මෙසේ තමන්ටම සිමා ඇති කර ගනිමින් කරනා ලියවිලි Constrained Writing යනුවෙන් හඳුන්වනු ලබයි. එක්තරා අයුරකින් බලනා විට කාව්‍ය නිර්මාණයද මේ ගණයට අයත් වන බව පැහැදිලිය.
මෙය වනාහි භාෂාව සමග සෙල්ලම් කිරීමකි. භාෂාව ක්‍රීඩාවක් (Word Game ) බවට පත් කර ගැනීමකි. මේ කාර්යයේ යෙදෙන්නට මහා භාෂා දැනුමක් , භාෂාව හැසිරවීමේ හසළ දැනුමක් , පළපුරුද්දක් පමණක් නොව ඉවසීමක්, සංයමයක් ද තිබිය යුතුය. යම් භාෂාවක එක අකුරක් හෝ අකුරු කීපයක් ඉවත් කර ලේඛකණකරණයේ යෙදීම හැදින්වීම සඳහා යොදා ගන්නා වචනය නම් Lipogram නම් වෙයි.වර්ෂ 1853 දී Voyage Autour de monde ලියන Jacques Argo ඒ පොතේ කිසිම තැනක "a " අකුර කිවේ නැත. එමෙන්ම 1939 දී Gadsby ලියන අර්නස්ට් වින්සන් රයිට් ද " e " අකුර ලිවීමෙන් වැලකි සිටියේය. ලියවිල්ලක දි නිතර භාවිතා නොවන Z, J ,Q , X වැනි අකුරු වළකා ලන්නට හැකි වුවද E හෝ A අමතක කර දමා ලියන්නට හැකියාව ලැබෙන්නේ භාෂා පිස්සෙකුට පමණි. ජෝර්ජ් පෙරෙක් එවැනි පිස්සෙකි. ඔහුගේ පිස්සු වැඩ ගැන කියන්නට කළින් මේ අපුරු මිනිසා කවුරුන්දැයි සොයා බලමු .
පැරිසිය ආසන්නයේ 1936 වසරේ දී මෙලොවට එන ජෝර්ජ් පෙරෙක් ගේ ළමා විය කටුක වනුයේ හුදෙක්ම ඔහුගේ දෙමාපියන් දෙවන් ලෝක යුද්ධයේ අමානුෂික ගොදුරු බවට පත් වීම හේතුවෙනි. මේ අහිමි වීම ඔහුගේ පසු කාලින නිර්මාණ වලට බලපෑ බව නම් පෙනෙන්ට තිබේ. අධාපන කටයුතු වලදී ඉහළ දස්කම් පෑ දීප්තිමත් සිසුවෙකු වුවද , අනාගත වෘත්තියක් ගැන සිතුවිල්ලක් ඔහුට නොවිණ . වරින් වර ලියනා ලද නවකතා දෙකකම ඇති පිටපත් අහිමි වීම නිසාත් , තවත් පිටපත් කීපයක්ම ප්‍රකාශකයන් විසින් ප්‍රතික්ෂේප කළ නිසාත් සාහිත්‍ය කෙරෙහි පෙරෙක් ගේ උනන්දුව හින් වී ගියේය; එහෙත් 1965 වසරේ ප්‍රකාශයට පත් වුනු ඔහුගේ මුල්ම නවකතාවට ප්‍රංශයේ මුල් පෙළේ සාහිත්‍ය සම්මානයක් හිමි වීම නිසා සියල්ල යථා තත්වයට පත් විය.
ජෝර්ජ් පෙරෙක් ගේ භාෂා හරඹයේ ආරම්භය සිදුවන්නේ 1967 වසරේ L 'Oulipo නැමැති එකමුතුව බිහි වීමත් සමගයි. පැරිස් නගරයේ ඒ වකවානුවේ වාසය කළ ප්‍රකට ලේඛකයන් හා ගණිතඥයන් කීපදෙනෙකුගේ මුල් වීමෙන් බිහිවුණු මේ එකමුතුවේ මූලික අභිප්‍රාය වූයේ කළින් සදහන් කළ සිමා සහිත භාෂා රාමුවේ හිර වෙමින් (Constrained Writing ) නිර්මාණකරණයේ යෙදීමයි . මේ එකමුතුවේ තවත් එක අරමුණක් වූයේ වමේ සිට දකුණටත්, දකුණේ සිට වමටත් කියවූ විට එකම අරුත දෙන වාක්‍ය වලින් නිර්මාණ බිහි කිරීමයි. ඉංග්‍රීසි බසින් Palindrome නමින් හදුන්වාදෙන මේ ක්‍රමය යටතේ ජෝර්ජ් පෙරෙක් තමන්ගේ La Disparition පොතේ පිටු තුනක් ලීවේය. වැඩි භාවිතයක් නැති මේ සාහිත්‍ය ප්රවනතාවයට උදාහරණ ලෙසින් වැකි දෙකක් උපුටා මෙසේ දක්වමි.
Go hang a Salami, I am a lasagna hog
Eva, can I stab bats in a cave
කෙසේ වෙතත් ජෝර්ජ් පෙරෙක් මේ පොත ලියුවේ කෙසේද, එයට පදනම් වුනු කරුණු කාරණා මොනවාද, ඒ කාලයේ ඔහුගේ දෛනික දිවිය කෙසේ වුයේද යන්න තරමක් සොයා බැලීම වටි .
ප්‍රකාශයට පත් වුණු මුල්ම සාහිත්‍ය කෘතියට Renaudot සම්මානය හිමි වුණු විට පෙරෙක් ගේ ආර්ථික ස්ථාවරය යහපත් අතට හැරුණේය . පැරිස් නගරයේ 20 වන ප්‍රදේශයේ වැඩි ඉඩකඩක් නැති තට්ටු නිවාසයක (එදා ඔහු ජිවත් වුනු මාර්ගය ජෝර්ජ් පෙරෙක් මාවත යනුවෙන් හදුන්වයි.) දස අතින්ම වටවූ පොත් දහස් ගණනක් මැද ජිවත් වූ මේ මිනිසා දුම්පානයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටියේලු. ඔහුගේ වටහා ගත නොහැකි හැසිරීම් හා ගතිගුණ හේතුවෙන් බිරිඳ වෙන්ව ගියාට පසුව පෙරෙක් තම මිතුරන් හමුවේ කියා ඇත්තේ මුළු ජිවිතයම භාෂාව වෙනුවෙන් කැප කරනා බවයි. තමාගේ අභිප්‍රාය "e " අකුර භාවිතා නොකර පොතක් ලිවිම බව මිතුරන් සමග කි විට වැඩි දෙනෙකුගේ අදහස වූයේ මිනිසා සම්පුර්ණයෙන්ම පිස්සෙකු වී සිටිනා බවයි. ඉංග්‍රීසියෙන් නම් " a " අකුර භාවිතා නොකර ලියවිල්ලක් කිරීමේ හැකියාව ඇති මුත් ප්‍රංශ බසේදී e අකුර යනු තෙවැදෑරුම් ශබ්ද ලබා දෙන අකුරකි. මේ සුවිශේෂ අකුර නොමැතිව පිටු 300 ක් පොතක් ලියන්නේ කෙසේද....?
පැරිසියේ නම ගත් පුස්තකාලවල , විශේෂයෙන් ප්‍රංශ ඇකඩමියේ භාෂා පුස්තකාලයේ දින සති ,මාස, ගත කළ පෙරෙක් මෙතෙක් භාවිතා වී නොමැති හෝ කලාතුරකින් භාවිතා වන වචන සෙව්වේය. භාෂා විශේෂඥයන් හමු විය. බසේ නැවැරදි තැන් සුව කරනා භාෂා දොස්තරවරු ( බසේ පැවැත්ම වෙනුවෙන්ම පිහිටුවා ඇති ප්‍රංශ ඇකඩමියේ බස සුරක්ෂිත කිරීම සහ එයට වැළදෙන ලෙඩ රෝග සුව කිරීම සඳහා මහා දැනුමැති පිරිසක් සිටිති. ඔවුන් හදුන්වන්නේ භාෂා දොස්තරවරු නමිනි. ඔවුන්ගේ දෛනික කාර්යන් අපුරුය. ඒ ගැන වෙන වතාවක ලියමි ) හමු විය. ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තේය. එහෙත් කිසිදු මොහොතක තමා දී සිටිනා කාර්යය ගැන නොකියන්නට වග බලා ගත්තේය. වසර තුනක කාලයක් පුරා දවසට පැය 18 බැගින් කැප කළ පෙරෙක් එක් අවස්ථාවක නිදි නොලබා පැය 36 ක් එක දිගට ලිවීමේ යෙදී සිටි නිසා ශරීර ශක්තිය හීන වීමෙන් රෝහල් ගත වීමට පවා ඔහුට සිදු විය.
La Disparition (අතුරුදහන් වීම) පොත වෙළඳ පොළට නිකුත් වී සිව් මසක් ගතවී යද්දී වුවද මනා පාඨක ප්‍රතිචාරයක් එයට ලැබුණේ නැත. කතුවරයාගේ සැබෑ අරමුණ වූයේ "E " අකුර නොමැතිව පොතක් ලිවිම බව බොහෝ දෙනා නොදත්තා සේම පොත කියවූ සුළු පාඨක පිරිස පවා එය තේරුම් ගත් බවක් පෙනෙන්ට තිබුණේ නැත. තමන්ගේ මිතුරෙකුගේ අතුරුදහන් වීම පසු පස යන තවත් මිතුරන් කීප දෙනෙක් සම්බන්ධයෙන් කියවෙන පොතේ ගලා යාම වැඩි දෙනෙකුට නොරිසි වූයේ පෙරෙක්ගේ සංකීර්ණ භාෂා භාවිතය නිසාය. කෙසේ වෙතත් තමා කියන්නට උත්සාහ කරනා දේ මුල් අවධියේ බොහෝ දෙනෙකුට වටහා ගත නොහැකි වන බව ඔහු බොහෝ කළෙක සිට පසක් කර ගෙන සිටියේය. ඒ නිසා පොත තුළින් යම් ඉඟි කීපයක් ( e අකුර භාවිතා නොකිරීම ගැන ) පාඨකයාට ලබා දීම ඔහුගේ උත්සාහය විය. උදාහරණයක් ලෙස පෙරෙක් පොතේ පිට කවරයට යොදා ගත්තේ e අකුරකි. පොත 1,2,,3, වශයෙන් පරිච්ඡේද වලට වෙන් කළ ඔහු 4 වැන්නට පසුව 6 වන පරිච්ඡේදයට පැන්නේය. එනම් 5 වන පරිච්ඡේද නො යොදමිනි. ප්‍රංශ හෝඩියේ (ඉංග්‍රීසි හෝඩිය හා සමානය ) 5 වන අකුර e ඉවත් කර ඇති බව කියන්නට තවත් ඉඟියකි එය. අන්තිමේදී අති ප්‍රකට Le Monde පුවත් පතේ සාහිත්‍ය අතිරේකය පොතේ සුවිශේෂ බව වටහා ගත්තේය. විශාල පිටු දෙකක් පුරා ඔවුන් පළ කළ ලිපියට පසු පස්වන මාසයේදී පොතේ අලෙවිය 100000 දක්වා වැඩි වුණු බව වාර්තා වෙයි.
අද දවසේ ප්‍රංශ සාහිත්‍යය , භාෂාව හදාරන තරුණ පරපුරේ වීරයෙකි ජෝර්ජ් පෙරෙක්. එයට එකම හේතුව වන්නේ ඔහු තම ආර්ථික පැවැත්ම හෝ පෞද්ගලික ජිවිතයේ සුඛ විහරණය නොතකා භාෂාව වෙනුවෙන්ම කැප වුනු අපුරු මිනිසෙකු වූ හෙයිනි. මේ පොතට පසුව ඔහු තමන්ගේ පිස්සුව අත හැර දැමුවේ නැත. වසර දෙකකට පසුව Les Revenents නමින් පොතක් ලියනා මේ මිනිසා එහිදී කිසිදු තැනක A , I , O , U යන අකුරු භාවිතා නොකළේය .
මංජුල සේනාරත්න
28/03/2019