‘ලංකාවෙ අපි තාමත් සංගීතය කියල රස විඳින්න පුරුදු වෙලා ඉන්නෙ සින්දු, ගීත, ගී පද පේළි... සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. වචන ක්‍රමයෙන් අත්හැරල සංගීතය රස විඳින්න හුරුවෙන්න. යානි, කිටාරෝ වගේ සංගීතඥයන්ගෙන් පටන් ගන්න. මෝසාට්, බිතෝවන් දක්වා යන්න.“
දිනෙක සංගීත රස වින්දන වැඩසටහනක් නිමකරමින් එලෙස ප්‍රකාශ කළේ ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ මහතා විසිනි. ඉඩක් ලද විට යානි, කිටාරෝ, බීතෝවන්, මෝසාර්ට් වැනි සංගීතඥයන්ගේ සංගීත සංකලන, සංගීත සංධ්වනි රස විඳින්නට මා පෙළඹුණේ ඒ මඟපෙන්වීමෙනි. හිත අවුල් යැයි දැනෙන, හැඟෙන අවස්ථාවලදී ද භාවනාමය සංගීත සංරචනයන්ට ඇහුම්කන්දීම සිතට නිවීමක් ගෙන එයි. සෙන් සංගීතය, සුෆි සංගීතය, කෙල්ටික් සංගීතය මට හමුවන්නේද එවැනි සොයායාම් අතර ය. රටක් ලෙස අප සංගීත සාගරයෙන් දිය දෝතක්වත් උකහා ගෙන නැතැයි මට සිතෙන්නේ සප්ත ස්වර සමාධියේ විශ්වීය අසිරිය සොයා සැරිසරන එවැනි අවස්ථාවලදී ය.
මාගේ මේ සංගීත උන්මාදය ගැන ලිවීමට සිත් වූයේ මෑතක මුහුණුපොත ඇසුරේ බෙදා ගැනුණු සංගීත සංකලනයක අසිරියයි. එය නිර්මාණය කර තිබුණේ බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ විසිනි. Evolving in The Wind ලෙසින් නම් කර ඇති එම සංගීත ඛණ්ඩය සොබාදහමේ නිස්කලංක අසිරිය සමඟ වාද්‍ය වෘන්දය ද මනාව ස්ථාපිත කරමින්, සියුම් සංගීත නාදයන් සමඟ ඉතා කදිමට ගැළපූ ශ්‍රව්‍ය දෘශ්‍ය නිමැවුමකි.
ධර්මය සහ සංගීතය අතර ඇති ආත්මීය බැඳීම ඕනෑම ධර්ම මාර්ගයක් ඔස්සේ හඳුනා ගත හැකිය. විශ්වයේ පළමු සංගීත නිර්මාපකයා සොබාදහම ය. සොබාදහමේ විස්මිත නාද රටා හැරුණු විට, ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම කලා ශිල්පයක් ලෙස සංගීතය උපදින්නේ ජන වන්දනා ආශ්‍රිතවය. ඉපැරණි සංගීත ධාරාවන්හි සමාරම්භය සැමවිටම ආගමික නැඹුරුවක් ගනී. අතීත ජන වන්දනා පිළිවෙත් හා බැඳුණු ස්තෝත්ර, යාතිකා, ප්රශස්ති වැනි ගායනා සංගීතයට මව් කුස වීය.
ථෙරවාද බුදු දහම සංගීතය අනුදැන වදාළ ධර්මයක් ලෙස නොසැලකේ. සංගීතය මනුෂ්‍ය හදවතේ තණ්හා, ආශාවන් පුබුදුවා ලෝකෝත්තර දිවිය වෙත ඇද බැඳ තබන නිසා එය ධර්මාවබෝධයටත්, නිර්වාණ මාර්ගයට පිවිසීමටත් බාධාවක් ලෙස සැලකිණි. නච්ච, ගීත, වාදිත - නැටුම් ගැයුම් වැයුම් භික්ෂු දිවියෙන් දුරස්ත විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ එය ධර්මධර, විනයධර ජීවිතයකට බාධා පමුණුවන හෙයින් විය යුතුය. නමුත් එපමණින්ම බුද්ධ ධර්මය සංගීතයෙන් මුළුමනින්ම වියුක්තයැයි සිතිය නොහැකිය. පිරිත් සජ්ජායනයන්හි පවතින ගීතවත් බව පිටුදැකිය හැකිද?
සක්කපඤ්හ සූත්‍රයේ බුදුන් වහන්සේ පන්සිළුගේ ගීතයක් අගය කරන අවස්ථාවක් පිළිබඳව සඳහන් වේ. තම පෙම්වතිය වූ සූරියවච්චසා වෙනුවෙන් නිමැවූ ශෘංගාරයෙන් අගතැන් එකී ගීතය පන්සිළු ගායනා කරන්නේ වීණාවද වයමිනි. ගීය ශ්‍රවණය කර ප්‍රසාදයට පත්වන බුදුන් වහන්සේ පන්සිළුගේ ගැයුම ද, වැයුම ද අගය කළහ. සුභාවිත ගීතය සම්බන්ධව ඇති ඉපැරණිම නිර්වචනය එය විය හැකියැයි මගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය නවකතාවේ ලියා තැබීමි.
ලාංකේය සමාජය බුදු දහම වැළඳ ගත්තේ වුව ද ජන ජීවිතය හා බැඳී පැවතුණු ජන සංගීතය හෝ ගායනා විධි මුළුමනින් අහෝසිව ගියේ ද නැත. පත පොතෙහි කෙලෙස ලියැවී තිබුණද ජන සංගීතය කෙරෙහි බලපවත්නා බරපතල විරෝධයක් බුදු දහමින් මතු වී යැයි සිතිය නොහැකිය. ජන සංගීතය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බව සිතිය හැකිය. නමුත් ජන සමාජය තුළ පැවති සංගීතය කලාත්මක විශිෂ්ටත්වයක් කරා ඔසවා තබන්නට එකී සංස්කෘතිය තුළින්ම යම් සීමා පැනවෙන්නට ඇත. රාජ්‍ය සහ ආගමික අනුග්‍රහය ලංකාවේ කලාශිල්පවල වර්ධනය වෙනුවෙන් ඍජුවම බල පෑ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.
බිබිලාදෙනියේ මහානාම හිමියන් මා දන්නා හඳුනන කෙනෙකු නොවේ. මේ සටහන ලියැවෙනුයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රෙය් උන්වහන්සේගේ දායකත්වය අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය යන හැඟීමෙනි. මෑත කාලයේ සමාජ දේශපාලන අවකාශයන් තුළ භික්ෂු වේෂධාරී උන්නාන්සේලාගේ හැසිරීම දෙස බලන විට බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අණබෙර ලෑමකින් තොරවම සප්ත ස්වර මියැසි ඇසුර ඔස්සේ සිදුකරමින් සිටිනා අපූර්ව නිර්මාණ කාර්යය අනගි පරිශ්‍රමයක් යැයි සිතමි.
කිතුනු පරිසරයක උපත ලද, කිතුනු පසුබිමක දිවි ගෙවන මට සංගීතඥයන් වූ පියතුමන්ලා අරුමයක් නොවේ. ගී ගයන, වයන, සංගීතවේදීන් ලෙස කටයුතු කරන පියතුමන්ලා, කන්‍යා සොයුරියන් ඇත. නමුත් ඔවුන් ලාංකේය සංගීතයේ ප්‍රධාන ධාරාව හා මුසුවන අවස්ථා අතිශය දුර්ලභය. එලෙසින්ම විශිෂ්ට ගී පද රචකයන් වූ මහා යතිවරයාණන් වහන්සේලා ගැන මා දන්නා මුත්, සංගීතඥයන් වූ ස්වාමින් වහන්සේලා ගැන මා තුළ අවබෝධයක් නැත. බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අපූර්ව චරිතයක් ලෙස මට හැඟෙන්නේ එබැවිනි.
බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේගේ ගී තනු නිර්මාණ රස විඳ ඇතත්, සංගීත නිමැවුම් පිළිබඳ මගේ අවධානය යොමුවන්නේ Evolving in The Wind හරහාය.Loneliness, Serenity in the Mist - සුඛිණෝ, The Unfelt, Religion and Violence, The Pace of Nature, Pilgrims Path, Flying in the Rain ආදී වශයෙන් එහිමියන් කළ නිර්මාණ රැසක් යූටියුබයෙන් මෙන්ම උන්වහන්සේ නමින් ඇති වෙබ් අඩවියෙන් ද රස විඳින්නට අවකාශ ඇත.
එකී සංගීත සංකලනයන්හි මා පෙර සඳහන් කළ සෙන්, සුෆි, කෙල්ටික් වැනි අධ්‍යාත්මික සංගීත රටාවන්හි අනුභාවය විඳිය හැකිය. මහානාම හිමියන් ප්‍රගුණ කරමින් ඉන්නේ ලාංකේය බුදු දහමට නව මඟක් එක්කරන අධ්‍යාත්මික සංගීතමය ප්‍රවේශයක් යැයි සිතමි. සංස්ථාගත ප්‍රධාන ආගමික ධාරාව තුළ ඒ සඳහා ලැබෙන ඉඩ හෝ පිළිගැනීම කෙබඳු වේදැයි සිතීම අසීරුය. මෙය සංගීතයෙහි නව ප්‍රවේශයක් වෙනුවෙන් පමණක් නොව, ලාංකේය සංගීතයේ අධ්‍යාත්මික ප්‍රවේශයක් වෙනුවෙන්ද දුෂ්කර පාරමිතා පිරීමක් වනු ඇත. බිබිලාදෙනිය මහානාම ස්වාමින් වහන්සේ උඩුගම් බලා පිහිනමින් සිටින්නේ යැයි මම සිතමි. ඒ දුෂ්කර මියැසි පාරමිතාවන්හි අපූර්ව ඵල රස විඳීම සමාධි සුවය අත්කර දෙනු ඇත නිසැකවම.
Tharurasi.blogspot
තරුරසී