බාලාගේ තවත් විශිෂ්ට නිර්මාණයක් “තාරෛ තප්පට්ටෛ”
බාලා කියල කියන්නෙ අද දකුණු ඉන්දියානු සිනමාවේ critic එකේ උච්චතම අවස්තාව කියල කියන්න පුළුවන්. ඔහු මෙතෙක් නිම කර තිබෙන සියළුම සිනමා නිර්මාණයන් දැඩි ලෙස ජීවිතයේ පතුල ස්පර්ශ කරන ඒවා බව කියන්න පුළුවන්. සමාජයේ පවතින සැබෑ තතු විචාරශීලීව වගේම වාණිජමය ලෙස ඉදිරිපත් කරන කලාකරුවෙක් බාලා.
බාලාගේ ඇසින් නිර්මාණය වූ චිත්‍රපටයක් තමයි “තාරෛ තප්පට්ටෛ”. “තාරෛ තප්පට්ටෛ” කියන්නෙ ගැමි සංගීතය තුල දී සහ නර්තනය තුළ දී යොදා ගන්නා වාදන භාණ්ඩයක්. මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ මේ වාදන භාණ්ඩය ගැන. වර්තමානයේ වියැකී යන පාරම්පරික සංගීතය සහ කලාව ගැනත් ඒවා සමඟ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතය ගැනත් මේ චිත්‍රපටයෙන් කතා කරනවා. හරියටම කිව්වොත් අද තිබෙන සංගීත භාණ්ඩ වාදනය කරන්න දන්නෙ නැති පාරම්පරික කලාකරුවන් කතාව. තවත් විදිහකට කිව්වොත් පාරම්පරික කලාව අත්හරින්නේ නැහැ කියල දුක්විඳින හෝ එයම පමණක් කරන බවට ඔවුන් හිත් තුළ වන දැඩි බව සහ ඔවුන්ගේ ආර්ථික ජීවිතය කියල කියන්න පුළුවන්.
මේ කතාවේ ඉන්නවා මෙන්න මේ වගේ දැඩි ලෙස පාරම්පරික කලාව අත්හරින්නේ නැහැ කියල හිතන් ඉන්න මහළු කලාකරුවෙක්. ඔහු අද තියන වර්තමාන සංගීතයට අකමැතියි. ඔහුට අනුව දැන් තියන සංගීතය යනු ඔප්පාරි හඩක් (ඔප්පාරි යනු මළගෙවල් වල ගායනය කරන්නක්). මොහුට ඉන්නවා පුතෙක්. ඔහුත් පාරම්පරික සංගීතය සමඟ ජීවත් වන කෙනෙක්. එහෙත් පියා තරම් දැඩි නැහැ. ඔහුට ලැබෙන අවස්ථාවන් වලට අනුව ඔහුගේ සංගීතය හරවා ගන්න කෙනෙක්. මේ පුද්ගලයාට දැඩි ලෙස ප්‍රේම කරන කාන්තාවක් ඉන්නවා. ඇය තමයි මේ පුද්ගලයාගේ නර්තන කණ්ඩායමේ ප්‍රධාන නැට්ටුවා. මේ කාන්තා චරිතය වටා තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ. මේ චරිතය රඟපාන්නෙ වරලක්ෂ්මි සරත්කුමාර්. ඇයගේ නර්තනය සහ භාවමය රංගනය අති විශිෂ්ටයි කියල කියන්න පුළුවන්. ඉතාම local රංගනයක් සහ නර්තනයක්. ඇයගේ මේ රංගනය බලා දකුණු ඉන්දියානු සිනමාවම පුදුම වුණා යැයි කියන්න පුළුවන්. ඒ තරම් තාත්විකයි. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටයේ හීරෝ වුණේ ඇය.
මේ නර්තන ශිල්පිනියගේ නර්තනය දැක මැයව විවාහ කරගන්න පුද්ගලයෙක් පැමිණෙනවා. ඇය අකමැති වුණත් මේ විවාහය සිද්ධ වෙනවා. ඒ සිය මවගේ කැමැත්ත නිසා. ඇය සැපපහසු ජීවිතයක් ගත කරාවී’ යි සිතා. ඉතින් මේ තරුණ සංගීතවේදියාට නැතිනම් මේ කතාවේ හැටියට ආදරවන්තයාට ම සිදු වෙනවා ඇයව ඔහුට විවාහ කර දෙන්න. ඔහු එලෙස සිදු කරන්නෙ ඇයට විවාහයෙන් පසු සැපපහසු ජීවිතයක් ඔහු ලබා දේවි යි සිතා. ඇය ට විවාහ වෙන්න බල කරමින් සිටින මේ අතරතුර කාලයේ මේ සංගීතවේදියාට සහ ඇයට තිබෙන ආදරයත් හරි අපූරුවට සිතුවම් කර තිබෙනවා බාලා. දිනක් මේ තරුණ සංගීතවේදියාට වෙනත් කණ්ඩයක් විසින් අවමන් කරනවා. මේ නිසා ඔහු තාවකාලිකව ගායනය අත්හැර දමනවා. එහෙත් ඔහුගේ ආදරවන්තිය වන මේ නර්තන ශිල්පිනිය නර්තනය අත්හරින්නේ නැහැ. ඇය කියන්නේ “ඔයා වෙනුවෙන් මම නිර්වස්ත්‍රව වුණත් නටන්න සුදානම් කියලා”. පිච්චෙන අව්වේ.... මේ ලෙස වීදි නර්තනයන් ඉදිරිපත් කරන කූත්තු නර්තනයේ සැබෑ ජීවිත තතු සහ එම මැනස් වල තිබෙන මිනිස් සංකීර්ණතාවය අපූරුවට ගලාගෙන යන්න දී එය ප්‍රේක්ෂකයාගේ හිතට බරක් ලෙස ස්ථාපිත කරන චිත්‍රපටයක් තමයි මේ “තාරෛ තප්පට්ටෛ” වෘතාන්තය.
මේ කාන්තාව විවාහ කරගන්න පැමිණෙන පුද්ගලයා ඉතා යහපත් කෙනෙක් නෙමෙයි කියන එක හොදින් දැනෙනවා. ඒ දකුණු ඉන්දියානු චිත්‍රපට එකක් නෑර බලලා තිබෙන පුරුද්දට වෙන්න ඇති. එහෙත් බාලා මේ සිනමා කෘතියේ කතා කරන තරම් වන කූර මිනිසෙකු බව දැනෙන්නේ නැහැ වගේම අපි හිතන්නෙත් නැති මොහොතක ඒ කූර බවේත් උච්චතමයක් ලෙස ඔහුගේ චරිතය අප ඉදිරියට ගෙනහැර දක්වනවා. ඔහු ඇය ව විවාහ කරගෙන තිබෙන්නෙ අනෙකුත් පිරිමින්ට ඇගේ ශරීරය විකිණීමට. ඇය වගේම තවත් කාන්තාවන් කිහිපදෙනෙකුම එලෙස ඔහු යොදාගන්නවා. දැඩි ලෙස ශරීරය තුවාල කරන ඔහු ඇය අකමැති වන සෑම අවස්ථාවකදීම ඇයට දැඩි ලෙස පහර දෙනවා. එය මේ දේ කියවද්දී දැනෙන හැඟීමට එහා ගිය දෙයක්. අතිශය දරුණු බැලීමට ඇස් නොඇරෙන රූපරාමු. මේ නිසාම මේ චිත්‍රපටියට යොදා තිබෙන රූපරාමු සඳහා “මෙච්චර කූර විදිහටද මේවා පෙන්වන්න ඕන.. ඇයි මෙච්චර දරුණු රංගනයක්..” යැයි සමහර විචාරත් පැමිණියා. අපි බොහෝ දෙනෙකුට විශ්වාස කරන්න බැහැ. ඒත් විශේෂයෙන් දකුණු ඉන්දියාවේ රඟන ශිල්පීන් සත්‍ය ලෙස රංගනය ඉදිරිපත් කරන බව අධ්‍යක්ෂවරුන්ගේ කතා වලින් අපි අහල තියනවා. මේ චිත්‍රපටියෙත් එලෙසමයි. පඩිපෙළවල් වලින් පෙරලීගෙන එන සිදුවීම් සත්‍ය ලෙස ම රඟපෑ සිදුවීම් බව රංගන ශිල්පීන් සහ අධ්යක්ෂවරයා පවසා තිබෙනවා. කාන්තා හිංසනය, මෙතරම් දියුණු ලෝකයක, මෙතරම් මානව හිමිකම් ගැන කතා කරන ලෝකයක තවත් අපිට නොපෙනෙන මානයේ මෙවන් දේවල් සිදු වෙනවා. එවැන් තොරතුරු බොහෝ දුරට එළියට එන්නෙ නැහැ. කලාවෙන් කතා කරන්නේ ඒ එළියට නොආපු දේවල් ගැනත් කතා කරනවා.
මේ චිත්‍රපටයේ මේ තාත්වික බව තව තවත් දැනෙන්න අපිව බල කරන්නේ චිත්‍රපටය සඳහා යොදා ගෙන තිබෙන සංගීතය. මේ සංගීතයට ඉලෛයරාජා සංගීතවේදියාට ඉන්දියානු රාජ්‍ය සම්මානයත් ලැබිලා තියනවා. මේ ඉලෛයරාජා සංගීතවේදියාගේ 1000 වන චිත්‍රපටය.
සාමාන්‍ය ලෙස ම බාලාගේ විශිෂ්ට නිර්මාණයක් තමයි “තාරෛ තප්පට්ටෛ” වෘතාන්තය.
සටහන - අනුෂා සිවලිංගම්
රැස පුවත්පත