විනෝද කර්මාන්තය මෙරට ආරම්භයේ පටන් ම කැපී පෙනෙන ලෙස හසරංග කලාව එසේ නැත්නම් හාස්‍ය කලාව සමස්ත කලාංගයන්ගෙන් වෙසෙස් ව වර්ධනය වූයේ නැති තරම් ය. එසේ වූ දුලබ අවස්ථා කිහිපයක් ඇතත් ඒවා අනුප්රාත්ති නොමැති වීම හේතුවෙන් ඇල් මැරී ගිය බව පෙනෙන්නට තිබේ. ලේඛන කලාව වැනි අන්‍ය මාධ්‍ය පසෙකින් තබා බැලූ කල අපට වහා දකින්නට ලැබෙන්නේ රූපණ කලාව ආශ්රිත හාස්‍ය කලාවකි. එයිනිදු වඩා ජනකාන්ත බවට පත් වූයේ චිත්‍රපට, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයත් සමකාලීන සයිබර් අවකාශයත් ය. වේදිකාවෙන් ඊට අවශ්‍ය කෝෂය සාදා දුන් බව සිතිය හැකි ය.
සිනමා කලාවේ ද හාස්‍යය වෙන ම විෂයක් ලෙස වර්ධනය වූයේ නැති. ‘කොළඹ සන්නිය’ වැනි අතීත විශිෂ්ට උදාහරණයක් ද ‘සිකුරු හතේ’ වැනි මෑත කාලීන උදාහරණයක් ද ගත හැකි නමුත් ඒවා ශානරයක් ලෙස අනුක්රමිකව වර්ධනය වූවකින් පැන නැගුණා නොව කේවළ කෘතීන් පමණක් වූ බව කිව යුතු ය. එහෙත් දිගින් දිගට ම විවිධ ශානරීය සිනමාකෘතීන්හි රසකාරක ලෙසින් නම් හාස්‍ය රංගන එදා සිට අද දක්වා බහා තිබෙනු දක්නට ලැබේ. ජයමාන්න සිනමාවේ ජොසී-මනප්පුගේ සිට ෆ්‍රෙඞී සිල්වා, බන්දු-ටෙනී හරහා අද දක්වා ම එය නොනැසී තිබෙයි. එහෙත් බොහෝ විට එක ම විහිළු ය දකින්නට ඇත්තේ. එකෙකු ඇතුළත සිටින වැසිකිලියකට තවෙකෙකු රිංගා ගැනීම, එළවළු මල්ලක් පාර පුරා හළා එය ගෙනා කාන්තාවගේ රෙදිකඩද එසැවෙන පරිදි කූඩය ඔසවා තැබීම ආදි සුලබ විහිළු ඊට නිදසුන් සපයයි.
මෙකී හාස්‍ය කලාව වෙනස් මානයක් ලබා ගත්තේ ගුවන්විදුලි විනෝද සමයෙන් යැ යි කීම අතිශෝක්තියක් වන්නේ නැත. ‘‘ආයුබෝවන්... විනෝද සමය’’ කියා එන තේමා ගී වාදනයත් සමග ‘හාමු මහත්තයා, අමාරිස් අයියා, සූටිං’ (ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, මර්සි සහ තවත් අය* ආදීන් අද පවා ඇසුවන්ගේ මුවග සිනා නංවන්නට සමත් වෙයි. එය පසුකාලීනව පැමිණි රූප මාධ්‍ය හා පයුරුපාසානමට ගොස් හාස වීඩියෝ ගොන්නක්ද බිහි විය. අප පසුවට මේ ලිපියෙන් මතු කරන්නට වෑයම් දරණ කරුණ ද බැඳී පවතින්නේ මේ විනෝද සමය පිරිසගේ කලා භාවිතය ඇසුරෙහි ය. විනෝද සමයේ රූපවාහිනී ආගමනයේ සමකාලීනව ‘නිහාල් සිල්වා, ආනන්ද වික්‍රමගේ, පාලිත සිල්වා, රොඞ්නි වර්ණකුල සහ පතිරාජ එල්.එස්. දයානන්දගේ දායකත්වය ද සටහන් කර තබනු වටී. අප මතු සාකච්ඡ කරන්නට යෙදෙන සද්ලක්ෂණ ඔවුන්ගේ නිර්මාණයන්හි ද ගැබ් විය.
විනෝද සමයෙන් පසුව රූපවාහිනි නාට්‍ය ඇසුරෙන් හාස රස උපදන්නට ගත් වෑයමෙහි ආරම්භය ‘බෝඩිම’ ය. එහි මෑත කාලීන නියෝජනය ‘එතුමා’ වැන්නක් හරහා ‘නාන කාමරයේ’ නැවතී තිබෙන බවක් පෙනේ. නූතන කාලයේ ටෙලි නාලිකා දැරූ එවැනි වෑයම්, ‘ළඟ ළඟ නමන්නට’ ගොස් විනාශ වී ගිය හැටි නිරීක්ෂණ කටයුතු ය. ටෙලි නාට්‍ය ආකෘතියෙන් වෙසෙස් ව හාස රස ජනනය කරන්නට ගාමින්ද සහ සුනෙත්ගේ ‘අපි නොදන්න ලයිව්’ ද නම තබන වැඩක් කළේ ය. එසේ ම මහින්ද පතිරගේ සහ ගුණදාස මදුරසිංහගේ ‘රාජ සභාව’ ද නමක් තබා තිබෙන්නකි.
ශ්‍රී ලංකාවේ නූතන ම හාස රසෝත්පාදනය සයිබර් අවකාශය වෙත විතැන් වී තිබේ. යූ ටියුබ් ප්‍රධාන මාධ්‍යයක් කරගෙන අතිවිශාල සංඛ්‍යාවක් මේ හාස කලාවෙහි යෙදෙන්නට වෑයම් කරන නමුදු ඉන් ඉහළින් ම ජනප්රසාදය දිනා සිටින කණ්ඩායම් සහ පුද්ගලයන් කිහිප දෙනෙකි. (මෙහිදී අප හාසේයාත්පාදන රංගනය ගැන පමණක් විමසන බව සිහිකළ යුතු ය.) ‘ජනයි-ප්‍රියයි’, ‘රැට්ටා’, ‘ලකයි-සිකයි’, ‘පොල් කරූ’ සහ ‘බොම්බයි මොටයි’ ලෙස ඒ අය ප්‍රධාන වශයෙන් නම් කළ හැකි ය.
මේ නව තරුණ පරම්පරාව අතිශය නිර්මාණශීලි බව කීමට මෙය අවස්ථාවකි. ‘රැට්ටා’ නමින් හසරංගයෙහි යෙදෙන රතිඳු සිය රංගයෙහි සියලු චරිත රඟදක්වමින් නිතර යූ ටියුබ්හි ජනකාන්ත වීඩියෝ කිහිපය අතරේ රැඳෙයි. අනෙක් පිරිස සම්බන්ධයෙන් ගත්ත ද හාසේයා්ත්පාදනයෙහි ඉතා දුර්ලභ ශක්‍යතා දකින්නට ලැබෙයි.
එහෙත් මේ පිරිස සමස්තයක් ලෙස ගෙන සලකා අදහස් පළ කරන විට පෙනී යන්නේ සිංහල හාසේයාත්පාදන කලාව මුළු කාලය පුරා ම මුහුණ දුන් අර්බුදයෙන් මිදීමට ඔවුන්ටද නොහැකි වී ඇති බව ය. ඔවුන් ද හාස්‍ය රංගය කේන්ද්‍ර කරගන්නේ වචන මූලික කරගෙන ය. ගුවන්විදුලි නාට්‍යවලින් රූප මාධ්‍යයට පිළිපන් පිරිස වචන මත බර තැබීම යම් පමණකට යුක්ති යුක්ත වුව ද සමකාලීනව ද එය එසේ වීම සාධාරණ වන්නේ නැත.
අප්‍රධානව දුබලතා කිහිපයක් නිරීක්ෂණය කළ හැකි වුව ද අතිශය වැදගත් ප්‍රධාන දුබලතාව නම් මේ සියලූ දෙනාගේ ම නිර්මාණ පෙළෙන සමාජය කියවීමේ සහ සමාජ විවේචනයේ දරිද්‍රතාවයි. එයින් අදහස් කෙරෙන්නේ ඔවුන් විශිෂ්ට දේශපාලන දෘෂ්ටියකින් සන්නද්ධව දෘෂ්ටිවාදී පදනමක් මත හිඳ නිර්මාණ කළ යුතු බව නොවේ. (එසේ වන්නේ නම් වඩා හොඳ මුත්) අවම සමාජ විවේචනයක් සහ විචාරයක් ඔවුන් දරා සිටිය යුතු ය. එසේ නැතිනම් එවෙලෙහි පමණක් නැගෙන තාවකාලික සිනහවකින් පමණක් සෑහෙන්නට ඔවුන්ට සිදුවනු ඇත.
උක්ත කරුණ සනාථ කරන්නට සෑහෙන හොඳම සංනිදර්ශනය ‘විනෝද සමයෙන්’ සපයා ගත හැකි ය. ‘විනෝද සමයේ’ හසරංගයන්හි සෑම විට ම පාහේ දකින්නට ලැබුණේ පුද්ගල දුබලතා විවේචනය ඉක්මවා ගිය සමාජ විවේචනයකි. සමහර රංගයන්හි පටු සිතීම් ගැබ්ව තිබුණා වුව ද සමස්තයක් ලෙස ‘විනෝද සමය’ යනු අන්දරේ අනුයන පන්නයේ සමාජ විවේචන හාස රංගයකි.
මේ කරුණ සනාථ කරන්නට ඇති තරම් උදාහරණ ‘විනෝද සමයේ’ හමුවේ. ‘ඉංග්‍රීසි පන්තිය’ නම් රංගයේ දී ගුරුවරුන් වෙත අද පවා දක්නට ලැබෙන දුබලතා සදය උපහාසයකට ලක් කරනු දකිත හැකි ය. ‘මිස්ට මැකරෝනිගේ චිත්‍රපට කතාව’, ‘චිත්‍රපට නළුවෙක්’ වැන්නකින් සිනමා කර්මාන්තයේ සමස්තය කෙරෙහි වන ඔවුන්ගේ සදය උපහාසය එල්ල වෙයි. ‘පිළිගැනීමේ නිලධාරී’ සහ ‘ගිණුම් පරීක්ෂණ වාර්තාව’ ආයතනයන්හි ක්‍රියාකාරිත්වය ගැන සියුම් පහරක් එල්ල කරයි. නොරට ගොස් පැමිණ හිතවතුන්ට සෝබන පාන්නන්ට කන්සෙට පහරක් එල්ල කරන්නේ ‘ගුටි කෑම’ නම් හස රංගයෙනි. බිරිඳ අඹු දරුවන් පවා අමතක කර දමා ක්‍රිකට් උන්මාදය වැළඳගත්තවුන් ගැන ඔවුන්ගේ සදය විවේචනය එල්ල කෙරෙන්නේ ‘ක්‍රිකට් මැච් එක’ නිර්මාණයෙනි. සමස්ත කතාංගයෙන් පමණක් නොව දෙබස්වලින් ද ඔවුන් සිය සමාජ විචාරය, විවේචනය ඉදිරිපත් කළ අයුරු සියුම්ව නිරීක්ෂණය කළ හැකි ය.
එක් උදාහරණයක් ‘විනෝද සමයේ’ ‘කුඩ මිට’ කතාංගයෙන් දක්වමු. එහි එන්නේ අමාරිස් අයියා ගුවනින් සිය බෑණා බලන්නට ගිය වගක් ගැන කතාවකි. ගුවනට නැගුණ පසු දකින්නට ලැබෙන දේවල් ගැන ඔහු සිය බරසාර හඬින් මෙසේ පවසයි.
‘‘සේරම ලංකාවෙ දේවල් පේන්නෙ උඩට ගියාම. ඔය කන්තෝරුවලින් නෝනලා මහත්තුරු පැනල යන හැටි වේලාසනින්. බස්හෝලිටින් ප්ලේස්වල කතා කර කර ඉන්න ජෝඩු. එතකොට රාත්තල තුන්කාලට කිරන ඈයො. සමුපාකාරවල පිටුපස්සා දොරෙන් ලක්ස්පේ‍්‍ර නෙස්පේ‍්‍ර පිට වෙන ඒවා... ’’
විවිධ අය විසින් යූටියුබ් වෙත මුදාහැර ඇති ‘විනෝද සමයේ’ දර්ශන වාර සංඛ්‍යාව දෙස අවධානය යොමු කිරීම වටී. අතිමහත් බහුතරයක් වීඩියෝ දර්ශන සුනම්‍යතාව හීන ඒවා වුව ද ඒවා නරඹා ඇති සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබීම සාමාන්‍ය කරුණකි. විවිධ සමාජ මාධ්‍ය ඇසුරේ බෙදා හදාගනිමින් මුදල් ද ගෙවා ප්‍රචාරණය කරගන්නා සමහර සමකාලීන වීඩියෝ අතර ආයාසයකින් තොරව ඒවා ලක්ෂ ගණනින් නරඹා තිබීම කියන්නේ එහි ඇති ගුණාත්මකභාවය මිස අනෙකක් නොවේ.
සමකලීන හසරංග කලාව මුහුණ දී තිබෙන ප්‍රධාන අර්බුදය නම් මේ සමාජ විවේචනය සහ විචාරයේ ඇති දුබල බවයි. පෙර පරම්පරාවේ මේ මහා මිනිසුන් අනුයන්නට වෑයම් කළේ, අන්දරේගේ ගමන් මගයි. ඇසූ පිරූ තැන් ඇති වීම, ඇරුණු හදැතිව සිටීම සහ නොවක් අධ්‍යයනය මේ අර්බුදය ජයගන්නට මග පාදනු ඇත. වරක් සිනහ නැගීමෙන් පසු අමතකව යන රංගයන් වෙනුවට සදාකල්හි ම මතකයෙහි රැඳෙන නිර්මාණ බවට සමකාලීන නිර්මාණකරුවන්ගේ නිර්මාණ පත්වන්නට නම් මේ කරුණු කෙරෙහි සාවධාන විය යුතු බව අපගේ විශ්වාසය යි.
සඳුන් ප්‍රියංකර විතානගේ
(ඇත්ත - අලංකාරය 2019/06/2)