සිංහල සිනමාව තුළ හුදු විනෝදාස්වාදන කාර්යෙන් පරිබාහිර චිත්‍රපට නිර්මාණය වනුයේ කලාතුරකිනි. එයින් ද අතිශය සිනමාත්මක සිනමා කාව්‍යයක පහස ලැබීමට හිමිවනුයේ අතිශය දුලබ අවස්ථාවක පමණි. ප්‍රසන්න ජයකොඩි සිනමා භාවිතාව තුළ "සංකාරා", "කර්ම" සහ "28" වැනි චිත්‍රපට තුළින් සිනමාව එක්තරා භාෂණ මාධ්‍යයක් කොට රසිකයා වෙත දාර්ශනික සංකල්පයක් නිර්මාණාත්මක පරිකල්පනයක් සමග මිශ්‍රණය කොට සමීප කරන්නට අධ්යක්ෂවරයා තැත් කළේ ඔහු විසින් වැළඳගත් වස්තු බීජය සහ එහි හරය තම ජීවන දෘෂ්ටිය තුළින් උපරිම සිනමා භාෂා භාවිතාවක් හරහා එළිදැක්වීමට ය. "සංසාරේ දඩයක්කාරයා" නැමැති ඔහුගේ අභිනව සලරූ ආමන්ත්‍රණය වනාහි ප්‍රසන්න ජයකොඩි සිනමා භාවිතාවේ නොව සිනමා කාව්‍ය සම්ප්රදායේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකි අවස්ථාවකි.
මිනිසෙකුට ජීවත් වීමට නම් ඔහුගේ පැවැත්ම ගොඩනංවා ගැනීම වෙනුවෙන් ආධ්‍යාත්මික පුරුදු පුහුණු වීමක් හෝ ස්වයං පාලනයක් අත්‍යවශ්‍ය වේ. බොහෝ දුරට මානවයා හට එම ක්‍රියාවලිය සඳහා රුකුල් සපයමින් සමාජය සභ්‍යත්වයක් වෙත ඔසවා තබන්නේ ආගමක් විසිනි. එනමුත් මෙලොව උපන් මිනිසා ජීවිතාන්තයේ ස්වකීය විමුක්තිය සලසා ගැනීමට උත්සුක වන්නේ නම් ආගමික රාමුවක රාමුගත වනවාට වඩා ඔහු හෝ ඇය සතුව ප්‍රබල දර්ශනයක් පැවතිය යුතු වනු ඇත. සොබාදහම සිය ආගයම කරගත් මිනිසාගේ දර්ශනය සත්‍යයයි. ජීවිතාසාවෙන් සහ භව තණ්හාවෙන් වෙළෙන් මිනිසා පාපාසන්න ක්ෂණ නියාමය ඔහු හෝ ඇය දුගතිගාමි මාර්ගයක ස්ථානගත කරවන්නට සමර්ථ වේ. එවැනි අතිශය සංකීර්ණ හරහයක් පරම සත්‍ය වටහා දෙනු පිණිස සිනමා ව්‍යායාමයක් නිර්මාණය වීම නැගී සිටිමින් අප වැනි සලරූ සැබියක් හිමි රටකට මහත් සේ වටිනා සම්පතකි. එසේ නම් දෑස මානයේ විරාජමාන මේ සම්පතින් නිසි ඵල නොලබන්නට ඔබ තවමත් ප්‍රමාද ඇයි ? එය සිනමාලෝලී බුද්ධිගෝචර සමාජය හමුවේ මා ගොඩනගන ප්‍රශ්නාර්ථයයි.
ප්‍රවණතාවක් ලෙස සිනමා ක්ෂේත්රයේ නියැළෙන බොහෝ රංගකාරිකයන් සහ කාර්මික ශිල්පීන් "සංසාරේ දඩයක්කාරයා" සිනමා කාව්‍ය පරිශීලනය කරමින් තම ඥාණ සම්භාරයෙහි නිම්වළලු ප්‍රසාරණය කරගැනීමට තරම් බුද්ධිමත් වීම සතුටට කාරණාවකි. එමෙන්ම අංකූර නිර්මාණකරුවන්ට, සිනමා සහ නිර්මාණකරණය වැනි විෂය ක්ෂේත්රයන්හි අධ්‍යන කටයුතු කරනා ශිෂ්‍ය පරම්පරාවට සහ සිනමාපටයක් විශ්ලේෂණාත්මකව විමසා බලා තම චිත්තේකග්රතාවයත්, බුද්ධියත් වඩවා ගැනීමට ප්රියකරන්නවුන් හට මෙම චිත්‍රපටය අගනා අවස්ථාවක් බව කිවයුතුමය. සමකාලීනව තිරගත වූ අශෝක හඳගමගේ "අසන්ධිමිත්තා" සහ මලිත් හෑගොඩගේ "දැකලා පුරුදු කෙනෙක්" වැනි සිනමාරූපී නිර්මාණ වෑයම් තුළින් උකහාගත සිනමා භාෂා පරාසයට වඩා උත්කෘෂ්ට ලෙසින් භාෂා භාවිතාවෙහි මුදුන්පත් වූ අවස්ථාවක් ලෙසින් මෙම සිනමාපටය නැරඹීම අතිශය කාලෝචිතව ද වටිනේ ම ය.
කැමරාකරණය, අංග රචනය, ශබ්ද සැලසුම්කරණය, පසුතල කළමණාකරණය, වර්ණ සංයෝජනය මෙන්ම සංගීත සංයෝජනය ද සාපේක්ෂව තත්කාලීන නිර්මාණ අතරින් යම් ඉහළ ස්ථානයක මෙම චිත්‍රපටය රැන්ඳවීමට උත්සුක වීය. ඉතා ඉහළ සිනමා සංකේත භාවිතාවයක් සහිත අධ්‍යක්ෂණය තුළින් රංගන ශිල්ප ශිල්පිණියන්ගේ ද අභ්‍යන්තර ජීවන දෘෂ්ටිය තිරය මතට ගොනු කර ගැනීමට ප්‍රසන්න ජයකොඩි සමත් වී ඇත. ප්‍රේක්ෂකාගාරයේ දෘෂ්ටිකෝණයට අතිශය සමීප රූපය තුළ තත්පර ගණනක් නිසොල්මන් රංගකාරික රැඟුම් වත චිත්‍රපටයේ හරහ තුළ අප නැවත නැවතත් කිඳාබස්වන්නට සමත් ය. සංසාරය නැමැති වන අරණ තුළ ආශාවන්ට බැඳීම්වලට ගොඳුරු වන මානවයා ඉන් මුදාගෙන සසර කතරින් එතෙර කරන භික්ෂූන් වහන්සේ නමක් සහ ඔවුන්ගේ ජීවන කාලය තුළ ඔවුනොවුන්ට හිමි උපරිම ආයුෂය හිමිකර දීමට තම විමුක්තිය කැපකරන දඩයක්කරු නමින් සුදිලෙන චරිතයක් චිත්‍රපටය තුළ සහෘද අප හේලි සත්‍ය වෙත යොමුකරන්නට සමත් ය. ආහාර පාන දෛනික අවශ්‍යතාවයන් සහ ලිංගිකත්වය වැනි ආත්ම තෘප්තිය මූලික පැවැත්ම ගොඩනැගීමේ හේතු සාධක ද පාලනයෙන් තොරව වැළඳ ගනිමින් සංසාර ආරණ්‍යයේ මංමුළා වන මානවයා සංසාරයේ ගොදුරක් වීමට ප්‍රථම ඔවුන් ඉන් මුදාගෙන සංසාරය දඩයම් කළ බුදුන්වහන්සේගේ ස්වභාව ධර්මයේ මුදුන්පත් විමුක්තිදායක චින්තනය අතිශය සිනමාත්මක නැවුම් ආමන්ත්‍රණයක් ලෙසින් අපට සමීප කිරීම තුළ අප නිසියාකාර ඵල ප්‍රයෝජන ගත යුතුම ය.
සයිමන් නවගත්තේගම වැනි විෂමාකාර නමුදු යතාර්ථවාදී රීතිය පුරුදු පුහුණු කළ වියත් සුලවතෙකුගේ "දඩයක්කාරයාගේ කතාව" නැමැති විදග්ධ නවකතා ගෙත්තමක ප්රමුඛ සාරය තිර රචනයක් කොට එහි සිනමා ආමන්ත්‍රණය ප්‍රේක්ෂකාගාරයට පැවරීම ප්‍රසන්න ජයකොඩිගෙන් සිදු වූ අතර හේමසිරි ලියනගේ සහ සංජීව උපේන්ද්‍රගේ රංග අභ්‍යාසයෙහි සුපසන් බවත්, විශ්ව බාලසූරියගේ කෘත්රිමත්වයෙන් තොර තෙවැනි ඇසත් සහ සුමුදු ගුරුගේගේ භාවාතිශ සත්සර භාවිතාවත් අප රස සාගරයක ගිල්වා තුටු සිතින් කුල්මත් කරනු වෙනුවට සංසාර බියෙන් පෙළා ජීවන සත්‍යයෙහි විමුක්තිය පේන මානයේ ස්ථානගත කරවූහ.
සිනමාශාලා හිමියන්ට සහ චිත්‍රපට සඳහා ඇල්මැති පාර්ශව වෙනුවෙන් වගකිවයුත්තන්ට ද සිනමාත්මක අගයෙන් ඉහළ මෙවැනි නිර්මාණයක නිසි අගය වැටහෙන්නේ නම් මැනවි. මන්ද චිත්‍රපටය හදිසියේ ම අවම ප්‍රචාරණයක් යටතේ සිනමාහලට පැමිණ, ඒ වෙත රසිකයාට එහා ගිය සිනමා පරිශීලකයා යොමුවෙත්ම එය සිනමාහලෙන් ගැලවී ගියහොත් සිංහල සිනමාවට සහ සිනමාලෝලියාට ඉන් සිදුවන්නේ බරපතල අසාධරණයකි. වාණිජමය චිත්‍රපටයක් මාස ගණන් තිරගත කරමින් සහෘදයා පිනවීමට වෙර දනය ආසන හොබවන්නන්ම කලාත්මක සිනමාවේ ජව රුකුලත් ලෙස ද පෙනී සිටින්නේ නම් හෙට දවසේ හෙළ සිනමාව සමබරව රසික ප්‍රජාවට උරුම වනු නියතය.
අවසන් වශයෙන් සියල්ලන්ට ම පැවසිය හැක්කේ කිසිඳු භේදයකින් තොරව උපත ලබා මරණය අපේක්ෂා කරන සියල්ලන්ම "සංසාරේ දඩයක්කාරයා" වැනි සිනමා වියමනක පහස ලබා තම ජීවිතයේ වටිනාකම පසක් කරගැනීම මැනවි යනුවෙනි.
සටහන :- ආකාශ් තාරුක පෙරේරා