1978 ඔක්තෝඹර 28 වෙනිදා අලුයම කොළඹ - මීගමුව පාරේ තුඩැල්ල පල්ලියට හැරෙන හංදියේ මරක රිය අනතුරක් සිදු වුණේ ය. ඩේලිකා වර්ගයේ වාහනයක් තෙල් බවුසරයක වැදී සුනුවිසුනු වී තිබුනේ ය. බවුසරයේ තෙල් පාර පුරා දෝර ගැලුවේ ය. වෑන් රියේ ගමන්ගත් දෙදෙනෙකුගේ මළ සිරුරුවල කොටස් පාර පුරා විසිරී තිබුනේ ය. මියගොස් තිබූ දෙදෙනාගෙන් එක් සිරුරක් ලංකාවේ එතෙක් පහලවූ සුපිරීම කලා තාරකාවගේ වග පුංචි රෝමය දැන ගන්නා විට සිංහල කලාවන්ට එතෙක් මෙතෙක් පහළ වූ අග්‍රගන්‍ය නිළි රැජින යළි හඳුනාගැනීමටවත් නොහැකිවන සේ මෙලොව හැර ගොස් සිටියා ය.
එක දිගට පැය 15 -16 ඩෙලිකාව පදවමින් සිටි ‘රියදුරු වහලෙක්’ට රුක්මණි දේවියගේ දිවි තොර කිරීමේ වරද පැටවුනත් ඔහු එය භාර ගන්නට ජීවතුන් අතර සිටියේ නැත. මිය යන විට ඇගේ වයස අවුරුදු 55 ක් පමණි.
රුක්මණී දේවී උප්පැන්නයේ හැටියට ‘ඩේසි රාසම්මා ඩැනියෙල්’ ය. කොළඹ ක්‍රිස්තියානි චෙට්ටි පවුලක උපත ලද ‘රාසම්මා’ සිංහල වේදිකාව, සිනමාව හා ග්රැමෆෝන් ගී යුගය තරණය කරන තෙක් ලංකාවේ නූතන කලාවන් තුලට බොහෝවිට ආවේ ගැහැණු වෙස් ගත් පිරිමින් ය. පරම්පරා දෙකක ලාංකික කලා රසිකයන්ගේ සිහින කුමාරිය, පරමාදර්ශී ස්ත්‍රි රූපය, සුනු විසුණු කලේ ලංකාවේ විනෝදාස්වාද කර්මාන්තයේ එදත් අදත් පවතින හිඟන, නිවට හා බයාදු පහසුකම් ලබා ගැනීමේ ප්රතිපත්තියයි. එහි අලුත්ම බිල්ල ප්රවිණ නිළි හයසින්ත් විජේරත්නය.
ගිය සති අන්තයේ ප්‍රවීන නිළි හයසින්ත් විජේරත්න නුවරඑළියේ රූගත කිරීමක් අවසන්කර කොළඹ බලා එමින් සිටිය දී රිය අනතුරකින් ජීවත්ක්ෂයට පත්වුවාය. ඈ පණ දෙන්නට ගොස් සිටියේ ‘දිවි තුරා’ ටෙලි නාටකයේ දර්ශනයන් ටය. ‘දිවි තුරා’ ටෙලි නාටකයේ චරිතයට පණ දුන්නත් හයසීන්ත් ට සෑබෑ ජීවිතයේ ‘දිවි තුරා’ සිටින්න්නට ඉඩක් නොලැබුණි. ඊට කලින් ඈ ගමන්ගත් වෑන් රිය ලිඳුල ආසන්නයේ ප්‍රපාතයකට වැටීමෙන් හයසීන්ත්ට අවුරුදු 75ක් පිරෙද්දී “දිවිහැර” යන්නට සිදුවිය. හයසින්ත් විජේරත්න සෝචනීය මරණයක් ලඟාකර දුන් වරදේ පරීක්ෂාවට එහි රියදුරා පොලිස් අත් අඩංගුවට ගෙන සිරභාරයට යැවුනේ ය. මෙතන දී නීතිය නිවැරදිය.
මාරක රිය අනතුරක් සිදුවූයේ නම් රියැදුරා වගකිව යුතුය. නීතිය ඉදිරියේ දී මේ ප්රශ්නය ඉතාම සරල ය. වැරැද්ද ද වැරදිකරුවා ද අතේ දුර සිටී. එහෙත් නීතියට නොපෙනෙන හා හසු නොවෙන අපරාධකරුවන් හා අපරාධ සහායකයන් රැසක් සිටී. ඔව්හු නම් ආයෝජකයෝ හෙවත් නිෂ්පාදකයෝ ය. මොනම හේතුවකටවත් මේ කර්මාන්තයේ නායකයෝ මේ නිෂ්පාදකයන්ට ඇඟිල්ල දිගු නොකරති. වගකිවයුත්තා පුත්ගලික ආයොජකයෙක් වුවත් ටී. වී. චැනල ආයෝජකයෙක් වුවත් මේ වරද ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට තබා එය විසඳා ගැනිමට මුල පිරීමකටවත් ඉදිරිපත් නොවෙති.
වෘත්තීයමය සේවවන් ලබා ගැනීමට කැඳවා ගෙන යද්දී මියගිය සහ මරණිය තුවාල ලැබූ ලංකාවේ නළුනිළියන්ගේ හා නිර්මාණකරුවන්ගේ ලැයිස්තුව දිගු එකකි. අපේ මතක ඉතිහාසය රුක්මණී දේවියගෙන් පටන් ගත් පසු එහි ග්‍රැන්විල් රොඩ්රිගෝ, නිහාල් සිල්වා, රමණි බර්තමියුලස්, දමිත් නන්දලාල්, නාලක වෙදමුල්ල, ලයනල් දැරණියගල, හා හයසින්ත් විජෙරත්න දක්වා පැතිරෙන්නේ ප්‍රකට නම් හැටියටය. එහෙත් එතරම් ප්‍රකට නැති නම් තවත් මෙයට එකතු විය යුතුය. සේවයට යද්දී මරණිය තුවාල ලැබුවෝ තවත් ලැයිස්තුවකි. මෑතක දීම සිදුවු රිය අනතුරකින් ප්රවිණ නිළියක වූ මාලි ජයවිර බරපතල තුවාල ලැබුවා ය. මේ සියලු ඛේදවාචකයන් සිදු වුවත් මේ කර්මාන්තය තුලට යහපත් සේවා කොන්දේසි ලබා ගැනීමක් නැත.
මේ රටට රුපවාහිණි නාලිකා දුසිම් භාගයක් පමණ තිබේ. එයින් දෙකක හිමිකරු රාජ්‍යයයි. සෙස්ස පවතින්නේ පුත්ගලික හිමිකාරත්වයේ ය. රජයේ නාලිකා ටෙලි නාට්‍ය හා වැඩසටහන් සඳහා ප්‍රමාණවත් ගෙවීම් කළත් ඒ වෙනුවෙන් දේශපාලන බලය පරිහරණය කළ යුතුය. පුත්ගලික අංශය ටෙලි නාට්‍ය මිල දී ගන්නේ මාදැල් පොළක මාළු මිලදී ගන්නා ක්‍රමයට කෙවල් කර අඩුම ලංසුවක් තැබිමෙන් ය. දැන් මේ ක්‍රමය ද වෙනස් වී නිෂ්පාදන ආයතන හරහා නිර්මාණ කරවිම නවතා චැනලය විසින්ම අඩු වියදම් සපයා නිර්මාණ කරවිමට පෙලඹී සිටින්නේ ය. එය මේ දක්වා ටෙලි නාට්‍ය කර්මාන්තයට සිදුවූ බලවත්ම විනාශය කැන්දමින් සිටින ක්ෂේත්රයේ විශ්වාසයයි. එහෙත් කිසිවෙක් එළිපිට මේ ගැන කතා නොකරන්නේ විරුද්ධමත දරන්නන් හා විවේචකයන් “නුසුදුසුසන්ගේ ලැයිස්තුවට” වැටීමේ අවධානම පවතින නිසාය. මේ ලියුම්කරුට අදහස් දැක්වූ එක් ජනප්‍රිය නළුවෙක් කිවේ “දනටමත් චැනල් නාට්‍යවල රඟපා මුදල් ගැනිමට මාස ගණන් බලා සිටීමට සිදුවී ඇති තත්වයක් තුල විවෙචන හා ඇති තතු කීමෙන් ඊටත් වඩා බරපතල දඬුවම් හිමි විමට ඉඩකඩ පවතින බවය”
චැනල් ආයෝජකයා වෙමින් ටෙලි නාට්‍ය නිෂ්පාදනයේ සියළු ප්‍රමිතින් බිඳ දැමු බව කර්මාන්තයේ වැඩි දෙනෙකුගේ විශ්වාසයයි. ටෙලි වෘත්තීකයන්ගේ සංගම් පවා රැකියා හා ජිවන මාර්ග අහිමිවිමේ බිය නිසා මේ වරද ඉවසා සිටී. එහෙත් එයින් කර්මාන්තය “ලබ්බේ තොවිලයක්” බවට පිරිහෙමින් තිබේ. අනාරක්ශිතභාවය හා අවිනිශ්චිතභාවය වර්ධනය වේ. මේ නිසා කර්මාන්තයක් වර්ධනය වනු වෙනුවට අමනුශ්ය වාසයක් වෙමින් තිබෙන්නේ ය.
දැනට පවතින ටෙලි නාටක හා සිනමා කර්මාන්තය අපුරු එකකි. එය කර්මාන්තයකට වඩා ‘බලි තොවිල්’ සේවාවකි. චැනල්වලට අරක් ගත් යකුන්ට, මළ පෙරේතයන්ට හා කුම්භාන්ඩයන්ට ගැලපෙන්නට එක් එක් වර්ගයේ ටෙලි නාටක තොවිල්, හූනියම් හා පිදෙනි සුදානම් කෙරෙන්නේ ය. චූනලයේ ගුවන් කාලය පිරවිමට එහි අරක්ගත් අමනුෂ්‍යන්ට ඕනෑ වු විට ටෙලි නාට්‍ය යකැදුරෙක් හෝ කට්ටාඬියෙක් කැඳවෙන්නේ ය. නැතිනම් ඕනෑ තොවිලය කුමක්දැයි කියා සුදුසු කපුරාළ කෙනෙක් සොයන්නේ ය. “අපට සල්ලි දෙන්න පුළුවන් මෙච්චරයි. ඕන නම් එකක හදා දෙනු” නියෝග කෙරෙන්නේ ය. මේ ඇණැවුම බාරගත් ටෙලි කට්ටාඬියා මුදලේ තරමට හා යකාට ගැලපෙන තොවිලය කුමක්දැයි තීරණය කරන්නේ ය. එයට ගැලපෙන නැට්ටුවන්,ආතුරයන්, ආවඩන්නන් හා දොල පිදෙනි සුදානම් කරන්නේ ය. එතැන් පටන් තිබෙන්නේ ගහමරා නොගන්නා කෝලාහලයකි. ඒ මුදලට ගැලපෙන තොවිලය සුදානම් කිරීමේ මහ සටනය. කපන්න හැකි හැම තැනකින්ම මුදල් කැපෙන්නේ ය. අඩු කළ හැකි හැම දෙයකින්ම අඩු කෙරෙන්නේ ය. වැඩිම අඩු කිරීම් සිදුවන්නේ අහාර, නවතාතැන් හා ප්‍රවාහනයෙන් ය.
මේ සේවාවේ සිටින නළුනිළියන්ගේ පටන් තේ කොලුවා දක්වා සියල්ලොම දෛනික කුළී කරුවෝ ය. දවසේ පඩියට ගන්නා නළුවා හෝ නිළිය දවසේ පඩිය ගැනිමට පැය 24 ම වැඩ කළ යුතුය. ඔවුන්ට නවාතැන් සැපයීමේ වියදම් බජට්ටුවේ නැති නිසා අලුයම හතරට දර්ශණ තලයට කැඳවෙන්නේ ය. එවිට මහා රංගධරයන්ට පවා නිවසේ සිට දර්ශණ තලයට ඒමට පැය ගණනවක් වාහනයක ගමනේ සිටිය යුතු ය.ඉන් පසු වේෂ නිරූපන කටයුතු ය. රූ ගැන්වීම් පටන් ගන්නා තෙක් වෙස් ගැන් වූ නළුවා හෝ නිළියන්ට කෝතැන හෝ කොනක විවේක ගැනීමට පුටුවක් සැපයෙන්නේ ය. එදිනට අදාල දර්ශන අවසාන වන තෙක් නළුවා හෝ නිළියට මෙලොව ඇති කිසිම මානව නීතියක හෝ කම්කරු නීතිය පිහිටක් නොලැබේ. සමහර වෙලාවට ඔවුන්ගේ කොටස අවසන් වන්නේ රාත්‍රි 10 ට නම් අවසන් වූ විගස නිවෙස්වලට යැවෙන්නේ ය. මේ නිසා මධ්‍යම රාත්‍රියේ නවාතැනෙන් පිට වූ ඔවුන්ට පසුදා මධ්‍යම රාත්‍රියේ නිවසට පෙරළා ඒමට සිදුවන්නේ ය.
පැය 16 වැඩ දිනයක්
නළුනිළියන් ගෙන කැන්දාගෙන ඒම හෝ යාම පැවරෙන්නේ ප්‍රවාහන සේවාවේ රියැදුරන් ටය. ප්‍රකට රංගවේදියෙකු මේ ලියුම්කරුට විස්තර කළ ආකාරය “පවු කියා සිතෙන්නේ අප ගැන නොවේ. මේ රියැදුරන් බඳු කුලී වහළුන් ගැන සිතද්දී ය” ඔවුහු දවසකට පැය 14 – 16 අතරේ කාලයක් වැඩ කරති. රාත්‍රියේ දුර බැහැරක පිහිටි දර්ශණ තලයේ සිට කොළඹට නළුනිළියන් ගෙන එති. ගෙන යති. දවල් දවසේ නොයෙකුත් වැඩවල දර්ශණ තලය අවට දුවති. මියගිය හයසින්ත් විජේරත්න කොළඹට රැගෙන එමින් සිටි වෑන් රිය එලෙව්වේත් මෙන්න මේ වහල් සේවයේ නියුතු රියැදුරෙකි. ඔහු විවේක ගනිද්දීත් වැඩ කරද්දීත් නිදා ගත්තේ වෑන් රියේ මය. මේ රියැදුරා රියෙන් බිමට බැස්සේ කෑමට හෝ වැසිකිළි- කැසිකිලි ගමනක පමණි. මෙවැනි සේවා තත්වයක් තුල වැඩ කරන සේවකයන් අතින් සිදුවන අනතුරු ගැන ඔවුන්ට වැරදි පැටවිය හැක්කේ අවිචාරවත් මුග්ධයන් පමණි. ජාත්‍යාන්තර ප්‍රමිතිය අනුව රියැදුරෙකුගේ දවසක උපරිම සේවා කාලය පැය 9 කි. මේ පැය 9 සේවා කාලය තුල ඔහුට විනාඩි 45 විවේකයක් හිමිය. එම විවේකය විනාඩි 30 සහ 15 බැගින් දෙකට බෙදා භුක්ති විදීමට පුළුවන. එක් ප්‍රකට දකුණු අප්‍රිකානු නඩු තීන්දුවක් අනුව නියමිත සේවා කාලයට වඩා රියැදුරෙක් රැකියාවේ යෙදවීමෙ වරද යන්නේ ඔහුට රැකියාව පවරන්නාට ය. රියැදුරන්ට ද නියමිත කාලයට වඩා වැඩ කිරීම තහනම් ය.
අප කළ විමසුමක දී ප්‍රකට රංගධර ශ්‍යාම් ප්‍රනාන්දු රූ ගැන්වීම් ජීවිතයේ අත්දැකීම් කීවේ විශ්මය ඇති කරවමිනි. “ මේ වර්ගයේ රියැදුරන් මට නිතරම හමුවෙනව. මම එයින් මාරාන්තික රිය අනතුරු දෙකකට මුහුණ දූන්න. තුවාල වුණා. එකකින් බේරුණේ රියැදුරාට නින්ද යනව දැකල පුත්තලමේ ඉඳල කොළඹට මම වාහනේ රියැදුරු වෙල අර අසරණයට නිදා ගන්න දුන්නු නිසයි. වතාවක් පිස්සෙක් වගේ එලවන කැබි සේවාවක රියැදුරා ගැන ඉන්න පොලීසියට පැමිණිළි කලේ මම. ඉස්සර සිනමා හා ටෙලි කර්මාන්තය තුල ප්‍රවාහනය බාර ගත්තේ කර්මාන්තය ගැන දන්න කලාකාරයෝ අඳුනන වෘත්තිය රියැදුරෝ පිරිසක්. මේ චැනල් හිමියෝ ටෙලි නාට්‍ය හදන්න ගත්තම මේ වැඩේ කැබ් සේවාවන් ට ගියා. ඊට පස්සේ මේ විපත වුණේ. දැන් මෙතන කලාවකුත් නෑ. කර්මාන්තයකුත් නෑ.” ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නේ ය. කර්මාන්තය ගැන රසකතා ලියන්නෝ ද ටෙලි නාටක රසිකයෝ එහි අතුලාන්තයේනෙනොදනිති. ඔවුන්ගේ මතකයේ තිබෙන්නේ නාටකේ කතාවත්, දැන්වීමි සමුහයත්, නළුනිළි කැලත් පමණි.
සිනමා අධ්යක්ෂවරු හා නළුනිළියෝ
හයසීන්ත් විජේරත්නගේ හදිසි මරණය ගැන ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කළාය. එම සංගමය අවධාරණය කරන්නේ ටෙලිනාට්‍ය කර්මාන්තයේ නියුතු නිර්මාණකරුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන් තවත් නිළියකට ජීවිතය අහිමිමි වූ බවයි.
රූපගත කිරීම් නිවැරදිව සැලසුම් නොකිරීම හේතුවෙන් මෙවැනි අනතුරු රැසක් සිදුව ඇති බව පෙන්වා දෙන සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය පවසන්නේ ඒ හේතුවෙන් කලාකරුවන් ගණනාවකගේ ජීවිත අහිමි වී ඇති බවයි. තවත් කලාකරුවන් ගනනාවක් ආබාධවලට ලක්වී තිබෙනවය. ලංකාවේ සුපිරි සීමිත සමාජයක් වන මේ සංගමයේ නිවේදනය ගැන එක් නිෂ්පාදන කළමණාකරුවෙක් කීවේ “කිසිදු ලජ්ජා බයකින් තොරව උගුරට හෝරා බේත් බොන්න උත්සාහ කරන්නන්ගේ සංගමයක කතාවක් මිස රටක වෙසෙන වෘත්තීය වේදින් වගකිවයුතු ප්‍රකාශයක් නොවන බවය. ඔහුට අනුව “ මේ කර්මාන්තයට බෝහොවිට නිෂ්පාදකයන් සොයා ගෙන එන්නේ මේ අධ්යක්ෂවරුන් ය. චිත්‍රපටයක් ටෙලි නාට්‍ය මලාවක් කරන්නට වුවමනා නිසාම ආයෝජකයා නැමැති නිෂ්පාදකයා දෙන ඕනෑම කොන්දේසියකට යටත්ව ඔවුහු නිෂ්පාදන ගිවිසුම්වලට එළඹෙති. මේ අඩු වියදම් නිෂ්පාදනවල ගොදුරු වන්නේ නිෂ්පාදන කළමණාකරුවන් හා සහාය අධ්යක්ෂවරුන් ය. ඔවුන්ට ලැබෙන මුදලින් නිෂ්පාදනය කිරීමට අණ පැබවේ. ඉතින් වතුර බැස යන්නේ මිටි තැනින් ය. කෙසේ හෝ වැඩේ ගොඩදාන්න වැඩ කරද්දී මුදල් අඩු කෙරෙන්නේ ප්‍රවාහනයෙන්, නාවාතැන් හා ආහාර වලින් ය.”
මේ රටේ සිනමා හා ටෙලි නාට්‍ය නිෂ්පාදනය තවමත් කර්මාන්තයක් නොවේ. මේ නිෂ්පාදන ලාභදායීව හා සාර්ථකව පවත්වාගෙන යාමට නම් යහපත් දේශිය මෙන්ම විදේශිය වෙළඳ පොලක් ද අවශ්‍යය.එක් පැත්තකින් ගෘහ කර්මාන්තයක් සහ තවත් පැත්තකින් ගඩොල් කපන්නාක් මෙන් ටෙලි නාටක හදන කර්මාන්තයකට විදේශීය වෙළඳ පොළක් තබා දේශීය වෙළඳ පොලවත් රැක ගැනිම පහසු නොවේ. එබඳු ගමනකට මේ කර්මාන්තය තවමත් සුදානම් වී නැත. සාර්ථක සිනමා සහ ටෙලි නාට්‍ය කර්මාන්තයක් ගොඩනැඟීම වෙනුවෙන් දැරෙන උත්සාහයට දිගු ඉතිහාසය ඇතත් එහි අවසාන විසඳුම හැටියට ඉදිරිපත් වන්නේ රජ්‍ය අනුග්රහයයි. එහෙත් රාජ්‍යට එබඳු උවමනාවක් හෝ බලාපොරොත්තුවක් ඇති බව නොපෙනේ. කාලයක් පුරා මේ කර්මාන්තයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ගඟට ඉණි කැපීමක් වූ නිසා රාජ්‍ය බැංකු හෝ චිත්‍රපට සංස්ථාව යලිත් එබඳු උපකාර කිරීමට ඉදිරිපත් විම සැක සහිතය.
පිළිරුවක ඉරණම
මෙහි දී අපට සිහිපත් වන්නේ අපේ නිළි රැජිණ හා ගීත කෝකිලාවිය වූ රුක්මණී දේවියට මරණියන් පසු අත් වූ ඉරණමය. පලමුව ඇගේ රටේ රසිකයෝම ඇයට මරණය ලඟා වූ මහා රිය අනතුරේ හේතුව ගැන සාපරාධි අනුරාග කතා ගෙතූහ. අනතුරුව ඇය මරණය කරා ගමන්ගත් මිට්සුබිෂි ඩෙලිකා වෑන් රියට ඇගේ නම තැබූහ. “රුක්මණී ඩෙලිකා” නමින් ප්‍රකට වූ මේ වෑන් රථ මහා අපල ගෙන දෙන වාහනයක් බවට ජන සමාජයේ විශ්වාසයක් පැතිරුණේ ය. ඩෙලිකා හිමියෝ තමන් සතු “රුක්මණී ඩෙලිකාවෙන්” ඉක්මනින් ම නිදහස් වූහ.
රුක්මණී දේවියගේ බැතිමත් රසිකයෝ ඇයට ගෞරව පිණිස තුඩැල්ල හංදියේ පාර අයිනේ ඇගේ ප්‍රතිමාවක් ඉදිකලහ. නොබෝ කලකින්ම රාත්‍රි කාලයට රුක්මණී දේවියගේ ඇස් රාත්‍රි කාලයට නිල් පාටින් දිලිසෙන බවට විශ්වාසයක් ද ජනයා අතරට පැමිණියේ ය. රැට සුදු ඇඳි කතක් පාර හරහා මාරුවෙන බවටත් ඕප පැතිරුණේ ය. ඒත් සමගම තුඩැල්ල හංදියේ රාත්‍රියේ සිදුවන රිය අනතුරු ඉහළ යන්නට විය. එක් දිනක උදැසන මේ අග්‍රගන්‍ය නිළියගේ පිළිරුවේ ගෙලට පැරණි ටයර් මාලයක් පළඳවා අවමන් කර මිටි වලින් පහර දී හානි පමුණුවා තිබුනි. මේ අපරාධයේ විවේචකයන් කිවේ “නරුම කාමුකයන්” රාත්‍රියට දිලිසෙන පිළිරුවේ දැස් බලන්න යාමෙන් සිදු කරගන්නා රිය අනතුරු වලට රුක්මණි දේවිය වග නොකියන බවයි.
කෙසේ වෙතත් ඇගේ බැතිමත් රසිකයෝ දේවිය පිළිරුව එතැනින් ගලවා ජා ඇල ඒකල ට හැරෙන පාරේ හංදියේ යළි පිහිට වූහ. අද ඔබ දකින රුක්මණී දේවිය ගේ පිළිරුව තිබෙන්නේ මේ දෙවන වරට පිහිට වූ තැනය. රාත්‍රියේ සංගිත සංදර්ශනයක ගී ගයා රසිකයන් සැනසූ දේවියට නිවසට ඇරලීමට වෙහෙසට පත් රියැදුරෙක් දිමෙන් සිදු වූ අපරාධය හා ලංකා සමාජය සිදු වූ පාඩුව මේ දක්වාම මේ රට පිළිගත් බවක් හෝ එත්තු හත් බවක් නොපෙනෙන්නේ තවමත් ඒ විනාශකාරී ක්‍රමය තවමත් ලංකාවේ විනෝදාස්වද කර්මාන්තය තුල ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබෙන නිසාය. එහි අවසාන උදාහරණය හයසීන්ත් විජේරත්නය. තව උදාහරණ ඉදිරියේ මතුවෙනු ඇත. මේවායින් පෙන්නුම් කරන්නේ අපේ සංස්කෘතික දිළිඳු භාවය පමණක්ම ද ?
නන්දන වීරරත්න