ගණනාත් ඔබේසේකර ගේ පුස්තකාලය නිල වශයෙන්ම පේරාදෙණිය සරසවියට බාර කෙරෙන්නේ අගෝස්තු 09 වෙනිද. මම හිතෙන විදිහට ‘ගණනාත් එකතුව’ තමා පේරාදෙණි පුස්තකාලයට ශිෂ්‍යයෙකුගෙන් මෙතෙක් ලැබුණු වටිනාම පොත් සම්භාරය. එයාගේ නිවහනේ එක පැත්තක තට්ටු දෙකක විශාල කාඹර පුරවල තිබුනේ මේ පොත්. යට තට්ටුවේ සාලේ රාක්කවලත් මානව විද්‍යා ජර්නල විශාල එකතුවක් තිබුණ. මගේ ඔළුවෙ නිතර දිව්වේ උඩුමහල් පුස්තකාලයේ තිබුණු ‘මිනි බාරයට’ මිසක් පොත්වලට නෙවෙයි. යටි මහලේ පුස්තකාලයේ පබලියන් ඇඳ ආගන්තුකයන්ටම වෙන් වුවක්.
එයා ඉංගිරිසි විශේෂ උපාධියක් කරලයි මානව විද්‍යාවට හැරුණේ. එහෙත් මොනව හරි හොයන්න ගියාම මුලින්ම කියන්නේ “පේරදෙණියේ [ පේරා නෙවෙයි] සිලෝන් රූම් එකේ බලන්න”. වැස්සකටවත් විශ්ව විද්‍යාලයක ගොඩ නොවෙච්චි මට පේරාදෙණියේ සරසවි පුස්තකාලයේ සෙවීම්වලට එයා වෙනම ලියුමක් දීල තිබුණ. ඒ වුනත් සිසිර [ දයා සිසිර හේවාගම] ඒ කාලේ සරසවි ආචාර්ය මණ්ඩලයේ සිටි නිසා මම ඒ හැටි ‘සිලෝන් රූම්’ ගැන කරදර වුණේ නෑ.
පේරාදෙණියේ පුස්තකාලය ගැන ලියන විට ඉයන් [ ගුණතිලක] හා සෝමදාස [කේ. ඩී.] අමතක කරන්න අමාරුයි. මම හිතන්නේ ඉයන්ගේ ප්‍රතිමාවක් එම පුස්තකාලය ඉදිරියේ තිබිය යුතුයි. ප්‍රභු පැලැන්තියෙන් පැමිණි, සමසමාජ හිතවාදියෙකු වු ඉයන් ලංකා පුස්තකාල ඉතිහාසේ පහන් ටැඹ හැටියටයි මම ගන්නේ. යාපනය පුස්තකාල ඉතිහාසය ලියවී ඇති ආකාරයට ඔහු එය ආරම්භ කිරීමේ දි උපදේශක්ව සිටියා. ඔහු රටේ බුද්ධිමතුන් හා කලාකරුවන්ගේ ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්. ඔහුගේ සෑම උපන් දිනයකටම ජෝර්ජ් කීට් චිත්‍රයක් තෑගි කළා. අහල තියෙන විදිහට එයින් චිත්‍ර දෙකක් විකුණල ඉයන් අතුරුගිරියේ ඉඅඩමක් අරන් ගෙයක් හැදුව විශ්‍රාම දිවිය ගෙවන්න...! රොස්ලින් [බිරිඳ] සමග ජිවිතේ අවසාන කාලයෙ සිටියේ එම නිවසේ.
සෝමදාස ඉයන්ගේ දෙවැනිය. පේරාදෙණිය පුස්තකාලය ගොඩනැඟීමේ දී ඉයන්ගේ දකුණු අත වුනේ සෝමදාස. ඒත් පසු කලෙක ඔහු බ්‍රිතාන්‍ය පුස්තකාලයට බැදුන. සෝමදාස නොසිටින්න එහි ‘හියු නෙවිල් එකතුවේ’ කැටලොගයක් කවදාවත් හැදෙන්නේ නෑ, වෙළුම් හතක. මට සෝමදාස මුණ ගැහෙන්න වාසනාව තිබුණ. ඉයන් මුනගැහෙන්න වාසනාවක් තිබුණේ නෑ. මේ අතරට ලංකාවේ ‘කුල බයිබලය’ නමින් හැදින්වෙන ‘නූතන ලංකාවේ කුල’ [ Caste in Morden Ceylon] ලියූ බ්‍රයිස් රයන් අමතක කරන්න අමාරුයි. 1938 දි හාවර්ඩ් සරසවියෙන් සමාජ විද්‍යාවට අචාර්ය උපාධියක් දිනාගත් බ්‍රයිස් ‘සිලෝන් යුනිවර්සිටියට’ නො එන්න ලංකාවේ නුතන සමාජ විද්‍යාව වල් වදින්න ඉඩ තිබුණ. බ්‍රයිස්ගේ ආනුභාවය නිසා පසු කලෙක පේරාදෙණියේ සමාජ විද්‍යා දේපාර්තමේන්තුවේ නිෂ්පාදන, හාවර්ඩ්, ප්‍රින්ස්ටන්, මොනෑෂ්, වික්ටෝරියා හා කැලිෆෝනියා සරසවි සමාජ හා මානව විද්‍යා දෙපාර්තමේන්තු බබලවමින් සිටියා.
ගණනාත් පේරාදෙණියට තිබුණු “ණය” පොලියත් එක්කම ගෙවල තියෙන්නේ. පහුගිය අවුරුද්ධ පුරාම පොත් ලේඛන ගත කෙරෙමින් එය සුදානම් කෙරුණා. ‘ගණනාත් එකතුව’ මානව විද්‍යා විෂයයට ලෝකේ තියෙන්න පුළුවන් හොඳම එකතුවක්. එයා මහන්සියෙන් රැස්කර ගත් දේ අනාගත පරපුරට බාර දෙන දවස ඓතිහාසික දවසක්. අනාගත පරම්පරා මේ එකතුව හොදින් පරිහරණය කර අනාගත ලංකාව වෙනස් කිරිමට දැනුම නිෂ්පාදන කරාවි. මහාචාර්ය ගණනාත් ඔබේසේකරගේ මතකය දිගු කාලයක් පවතිවී. ගණනාත් ට දිගාසිරි.
එක පිංතූරයක ඉන්නේ බ්‍රයිස් රයන් ෆින්ලේ
නන්දන වීරරත්න
04/08/2023