ප්‍රකට ජපන් ලේඛකයකු වූ නක්සුහේ සොසෙකි 1867 එවක එදෝ නමින් හැඳින්වූ තෝකියෝවේ උපන්නේය. ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සෝසෙකි ඉංග්‍රීසි බස හැදෑරිම සඳහා 1900දී ලන්ඩනයට ගියේය. කෙටි කලක් තෝකියෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ ඔහු පසුව අසහි ෂින්බුන් පුවත්පතේ සේවයට බැඳිනි.
ඔහු ලේඛකයකු වශයෙන් ජනප්‍රිය වූයේ මෙසමයේය. නවකතා රැසක් රචනා කළ ඔහුගේ කීර්තිය ජපානය පුරා පැතිරෙන්නට විය. වගහයිව නෙකොදෙ අරු (මං පූසෙක්)බොච්චන් (පුංචි මහත්තයා) කුසමකුර (තණබිස්ස) නොවාකි (සරත් සුළඟ) ඉන් ඉක්බිතිව (සොරෙකර) ගේට්ටුව ( මොන්) ඉබාගාතේ ඇවිදින්නෙක් (කෝජින්) කොකොරො (හදවත) මිචිකුස ( පටු මග දෙපස තෘණ ) වැනි නවකතා විශිෂ්ට නවකතා ලෙස සැලකේ. මේ සෑම නවකතාවකම ඔහුගේ දිවියේ තිබූ හුදෙකලාව හා වේදනාව ගැබ්වී තිබිණි.
බටහිර සාහිත්‍යෙය් ආභාසය ලද පළමු ජපන් ලේඛකයා සොසෙකිය. සමකාලීන ජපන් නවකතාව කෙරෙහි ඔහුගේ නවකතා බෙහෙවින් බලපෑවේය. ඔහුගේ සෑම නවකතාවක්ම ඉංග්‍රීසි හා ප්‍රංශ බසට පරිවර්තනය විය. ඔහු ජීවත් වූයේ අවුරුදු 49ක් පමණි. 1960ී ඔහු මියගියේය.
සොසෙකිගේ කොකොරො නවකතාව සිංහල බසට පෙරලනු ලැබුවේ 1979දීය. එහි පරිවර්තකයා වූයේ වර්තමානයේ මහාචාර්යවරයකු වන තදෂි නොගුචිය. 1979 උසස් පෙළ පාසල් සිසුවකු වු මා කොකොරෝ මිලට ගත්තේ ජපන් සාහිත්‍ය කෙරෙහි මා තුළ වූ ඇල්ම හේතුවෙනි. එවක ජපන් තානාපති කාර්යාලය මගින් සංවිධානය කෙරුණු ජපන් චිත්‍රපට උළෙලවල් නරඹා ජපන් සිනමාවටත් යසුනරි කවබතාගේ යුකිගුනි (හිමබිම) හා රියනසුකේ අකුතගාවාගේ රෂොමොන් කියවා ජපන් සාහිත්‍යයටත් ඇලුම් කළ මා කොකොරෝ කියවීමෙන් ලද ආස්වාදය නිසා එහි පරිවර්තකයා වූ නොගුචි මහතාට ඒ පිලිබඳව විචාරයක් ලියා යැවීමි.
වසරකට පමණ පසු ඔහු ලංකාවට පැමිණි අතර ඔහු හමුවන්නට පැමිණෙන මෙන් දන්වා මට ලිපියක්ද එවීය. ඉන්පසු අවස්ථා කීපයකදීම මට නොගුචි මහතා හමුවන්නට අවස්ථාව ලැබිණි. ඔහු කොකොරෝ නවකතාවට අමතරව අනිත්‍ය ජීවිතයක් නමින් නවකතාවක්ද ජපානයට කෙටි මගක් නමින් ජපන් බස හැදෑරීමට උපකාර වන ග්‍රන්ථයක්ද පළ කළේය. ඔහු කළ විශිෂ්ටතම සාහිත්‍ය සේවය නම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ නවකතාව ජපන් බසට පරිවර්තනය කිරීමයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා