මෑතක සිට ශ්‍රී ලංකාවේ කලාකරුවාගේ ප්‍රතිරූපය පිළිබඳ පෙර තිබූ උතුම්භාවය, ගෞරවය සහ විශ්වාසය ජනතාව තුළින් ඉතා සීග්‍රයෙන් ගිලිහී යන්නට පටන්ගෙන ඇති බව අපි දනිමු. කලාකරුවන් සියලූ දූෂණ, වංචා, ගසාකෑම් සහ පාවාදීම්වලට සම්බන්ධ වෙමින් අවසානයේ දූෂිත රජයක් වෙනුවෙන් ද පෙනී සිටිනා බව පෙනෙනා විට සහෘදයකු තුළ කම්පනයක් ඇතිවීම අපට වටහා ගත හැකි ය.
එවිට අප තුළ මතුවන ප්‍රශ්න වූ කලි සැබෑ කලාකරුවා යනු කවුරුන්ද? කලාකරුවාගේ සමාජමය වගකීම කුමක්ද? ඊට අදාළ ආචාරධර්ම තිබේද? මෙම සන්දර්භය තුළ කෘතිය සහ කලාකරුවා අප වටහා ගන්නේ කෙසේද? ආදිය වේ. කලාකරුවා යනු කෘතියේ සාර්ථකත්වය සේම සමාජමය වශයෙන් ප්‍රතිපත්තිගරුක, මානවවාදී, වාමවාදී, වාණිජ විරෝධී, පුද්ගල චරිත ලක්ෂණ සහිත ‘හොඳ මිනිසකු’ විය යුතු බවට සමාජයේ තද බල මතයක් පැලපැදියම්ව තිබෙන අතර මේ වනවිට දෙදරුම් කෑමට ලක්වෙමින් පවතින්නේ මේ මතයයි. කලාකරුවා සහ කෘතිය අතර තිබෙන බොහෝ දෙනෙකුට හසුනොවනා අතිශය සංකීර්ණ සම්බන්ධතාවය නිසාම ඉහත ප්රශ්නය කෙනෙකුට උභතෝකෝටිකයක් විය හැකිය. මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ මූලික වශයෙන් එකී උභතෝකෝටික තත්ත්වය පහදා ගැනීමට අදාළව මූලික කරුණු කීපයක් සාකච්ඡා කිරීමට ය.
මුලින්ම වටහා ගතයුතු කරුණ වන්නේ කලා කෘතියක් ලෙස නම් කරනා ලද යම් නිර්මාණයක් සලකා බලා යමෙකු කලාකරුවෙකු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා එම කෘතියේ ගුණාත්මකභාවය, ශෛලිය, ගුරුකුලය, කලාකරුවගේ දැණුම, තරාතිරම, නිපදවා ඇති කෘති ප්‍රමාණය ආදී කිසිවක් අදාළ නොවන බව ය. යමකු කලාකරුවෙකු වන්නේ හෝ නොවන්නේ කවර කරුණු මත ද යන්නට පොදු නිශ්චිත මතයක් හෝ අවසාන විග්‍රහයක් නැති බැවින් ඇත්තේ විවාදයකි. එබැවින් සාමාන්‍ය අර්ථයෙන් චිත්‍ර ඇඳීම නමින් චිත්‍ර අඳිනා සියලූ දෙනා චිත්‍ර ශිල්පීන් කීව ද, ගී කීම නමින් ගී ගයනා සියලූම දෙනා ගායකයින් කීවද, නාට්‍ය කිරීම නමින් නාට්‍ය කරනා සියලූම දෙනා නාට්‍යකරුවන්ය කීවද එය වැරදි යැයි තර්ක කළ නොහැක. එබැවින් මේ දිනවල නිතර අසන ප්‍රශ්නයක් වන ‘මුනුත් කලාකාරයෝ ද?’ යන්නට කෙටි පිළිතුර ‘ඔව්, උනුත් කලාකාරයෝ තමයි’ යන්න ය. ඒ අනූව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සිට ආචාර්ය මර්වින් සිල්වා දක්වා හඳුනාගත් කලා විශ්වයක් තුළ නිර්මාණ කරණයේ යෙදෙන්නෝ සියල්ල කලාකරුවෝ ලෙසට භාරගැනීමට අපට සිදු වේ.
හොඳ කලා කෘති සහ හොඳ මිනිස්සු
අපට දකින්නට ඇති පරදි කලාකරුවකුගේ ගුණ ඇගැයීමකින් බොහෝ විට ගම්‍ය කරන්නේ එකී මිනිස් ගුණය හා කෘතිවල සාර්ථකත්වය අතර කිසියම් සම්බන්ධයක් පැවත ඇති බව ය. 'සිත් පහන් කළ මහා හදවත', 'මුනිවරයෙකුගේ නික්මයාම', 'දැවී මිසක ආලෝකය සපයනු කෙලෙසද?', මේ පිළිගත් කලාකරුවකු මිය ගිය විටක අපට නිතර ඇසෙන වදන් ය. එසේම සාමාන්‍යයෙන් කලා කෘති අසාර්ථක වූ කලාකරුවන්ගේ මිනිස් ගුණ කථා කිරීම සාර්ථක වුවන්ගේ තරමට දක්නට නොලැබේ. සෑම කලා කෘතියක්ම අඩු වැඩි වශයෙන් ‘මානව දයාව’වෙනුවෙන් පෙනී සිටින බැවින් එකී මානවවාදී කෘතියෙහි කිසියම් සාර්ථකත්වයක් පෙනී යන විට එය බිහිකළ පුද්ගලයාට එය ආරෝපණයවීම අපට වටහා ගත හැකි ය. එබැවින් හොඳ කලා කෘතිය සහ හොඳ මිනිසා අතර නෛසර්ගික සම්බන්ධයක් ඇතැයි කෙනෙකුට පෙනී යාමට ඉඩ තිබේ.
ප්රතිපත්තිගරුකභාවයේ සිට සමාජයට ආදරය කිරීම ආදි කලාකරුවා තුළ ඇතැයි කියන උතුම් මානව හා දේශපාලන ගුණාංග, කලා නිර්මාණයක් සාර්ථකවීමට හෝ අවම වශයෙන් කලා කෘතියක් බිහිවීමට හෝ අවශ්‍යයෙන්ම හේතුවන සාධකයක් වන්නේද? කෙටි පිළිතුර කිසිසේත් 'නැත' යන්නයි. හොඳ කලා කෘතියක් බිහිවීමට අවශ්‍යවන්නේ ඒ කිසිවක් නොව, දෙනු ලැබූ 'හොඳ කෘතියක්' නම් තත්ත්වය බිහිකිරීමේ නිවැරදි තාක්ෂණයයි. හොඳ කලා කෘතියකින් රසිකයා සංවේදීවන්නේ, සංවේදීකිරීමේ තාක්ෂණය නිවැරදිව යෙදීම හරහා විනා කලාකරුවා විශේෂ සංවේදි මිනිසකු වීමේ ප්‍රතිඵලයක් නිසා නොවේ. උදාහරණයකින් කිවහොත්, කිසියම් නාට්‍යයක් ‘ඇදෙන්නේ’ නම් කලාකරුවා කෙතරම් උතුම් ගුණාංගවලින් යුක්ත වුවද, ප්‍රතිපත්තිගරුක වුවද, දේශපාලනිකව නිවැරදි වුවද එය නැවැත්විය නොහැකි අතර නාට්‍යයක ඇදීම නැවැත්විය හැක්කේ එය නැවැත්වීමේ තාක්ෂණය නිවැරදිව යොදාගැනීමෙන් පමණි. එම ඇදීමේ ප්රශ්නය කෘතියේ සංවේදී බව උත්පාදනය කිරීමට බලපායි. පැල් කවියේ සිට සිනමාව දක්වා ඕනෑම කලා මාධ්‍යයක් ගොඩනැංවීම හා හැසිරවීම පිටුපස තිබෙන යාන්ත්‍රික යථාර්ථය නිශ්චිත තාක්ෂණයක ප්රතිඵලයකි. කලාකරුවාට තිබිය හැකි සංවේදී බව, අත්දැකීම් සහ රසඥතාව ආදී සියල්ල කලාකරුවෙක් නොවන කෙනෙකුට ද තිබිය හැකි නමුත් ඔහු හෝ ඇයට ඉන් නිර්මාණයක් කරගත නොහැක්කේ පෙර කි පරිදී පුහුණුව ඇතුලු විවිධ හේතු නිසා අවශ්‍ය තාක්ෂණය නිවැරදිව හසුකරගත නොහැකි නිසාවෙනි. කෙනෙකුට සහජයෙන් ආදී විශේෂ පුහුණුවකින් තොරව පිහිටන්නේත් තාක්ෂණික හැකියාවක්ම විනා අනිත් මිනිසන්ට නැති මානව ගුණදහමකට සම්බන්ධ කිසියම් විශේෂ තත්ත්වයක් නොවේ. නිර්මාණ බිහිවීමට එය නිපදවන්නාගේ පෞරුෂය, පුද්ගල හා මානුෂික තත්ත්වයන් ආදී අප කාටත් ඇති පුද්ගල සුවිශේෂතා බලපෑ හැකි නමුත් නිපදවන්නාට විශේෂයෙන් පිහිටි උතුම් මානුෂික ගුණාංග පිහිටීමේ ප්‍රතිඵලයක් ලෙසට කෘතිය සාර්ථක වී අප සංවේදී වන බවට කිසිම සාධකයක් හමු නොවේ.
කලාවට ප්රවේශවීමට ද කිසිදු මානුෂික ගුණාංගයක් හෝ මිනිසා සහ සමාජය පිළිබඳ සුවිශේෂ සංවේදීභාවයක් හෝ අවශ්‍යම නොවේ. ලොව සෑම මිනිසෙකුටම අඩු වැඩි වශයෙන් කිසියම් නිර්මාණාත්මක හැකියාවක් පිහිටා ඇති අතර එය අඩු වැඩි වන්නේ උතුම් මානුෂික ගුණාංග හෝ ප්‍රතිපත්ති ආදී අප ඉල්ලා සිටින විවාදාත්මක තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙසට නොවේ. කෙනෙකුගේ කලා කෞශල්‍යය මතු වීමට සහජ, අහඹු මෙන්ම පුද්ගල, පාරිසරික හා සන්දර්භීය සුවිශේෂතා රැසක් බලපාන බව අපි දනිමු. හොඳ විමසීමක් කළහොත් ශ්‍රී ලංකාවේ කලාව පිළිබඳ උසස් අධ්‍යාපනයට පිවිසෙන බොහෝ දෙනෙකුට කලාව හැර අනෙකුත් ‘තත්ත්වයක් ඇති විෂයන්’තෝරා ගැනීම සඳහා පාසල් අධ්‍යාපනය තුල ලකුණු ප්‍රමාණවත් නැති බව පසක් වනු ඇත. මෙවැනි විවිධාකාර අහඹු සහ තෝරාගැනීමක් නැති තත්ත්වයන් කෙනෙකු කලාවට ප්රවේශවීමට හේතු විය හැකි අතර සත්තකින්ම එහි වරදක් ද නැත. ඒකී ඕනෑම ප්රවේශයකින් හොඳ කලා කෘති බිහිවීමටද හැකිය. හොඳ මිනිසා බිහිවීමට අවශ්‍ය කරුණුත් හොඳ කලා කෘතියක් බිහිවීමට අවශ්‍ය කරුණුත් සපුරාම වෙනස් තත්ත්වයන් දෙකක් තුළින් පැන නගින්නකි. එබැවින් ඒ දෙක අතර නෛසර්ගික සම්බන්ධතාවයක් නැත. ඒ දෙකම ඇගයීම් පිළිබඳ අපගේ මතවාදයන් සහ අර්ථ කථනයන් ය.
ස්ත්‍රී දූෂකයන්ගේ ස්ත්‍රීවාදය
උසස් ගුණයක් ලෙසට සලකන කලා රසිකත්වය ද කලාකරුවාද ඇතුලු පුද්ගලයෙකුට බලපාන ආකාරය සංකීර්ණ ය. කලාව රසවිඳින විට කලාව පිළිබඳ රසඥතාවය සහ ජීවිතය පිළිබඳ අවබෝධයත්, ලාලසාවත් වැඩි විය හැකි නමුදු එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙසට පුද්ගලයාගේ අවිඥානය තුළ බොහෝ විට කුඩා කල සිට නිදන්ගතව ඇති අප බාහිර භාෂාමය ලෝකයේ විවිධ නම් වලින් හඳුන්වන ‘අගතිගාමී’, ‘නරක’, 'කෘෘරත්වය' හෝ 'අශිෂ්ඨත්වය' අවශ්‍යයෙන්ම වෙනස්වීමකට ලක් නොවේ. සත්තකින්ම යම් වෙනස්වීම් ද ඇතිවිය හැකි ය. සාමාන්‍යයෙන් සිදුවන්නේ පසුව ලැබුණු 'දැණුම' සහ 'රසඥතාවය' ආදිය එක් පැත්තකින් පවතිද්දී පෙර තිබූ කෘෘරත්වය ද කිසි බාධාවකින් තොරව ඒ සමගම පැවතීමයි. මෙසේ පුද්ගලයා තුළ එකිනෙකට හාත්පසින් පරස්පර තත්ත්වයන් ඉතා පහසුවෙන් එකමවිට පැවතිය හැකි අතර ඉන් කුමක් කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න අවස්ථානුකූල තත්ත්වයන් මත තීරණය වන්නකි. කලාවට පුද්ගලයා තුළ ඇති කළ හැකි යහපත් බලපෑම ද ඕනෑම කලා කෘතියක් සමග ඕනෑම මිනිසෙකු ඕනෑම විටක මුණගැසෙනවිට සිදුවන්නක් නොව, එය කෘතිවල සුවිශේෂතා, පුද්ගලයාගේ සුවිශේෂතා හා සන්දර්භීය සුවිශේෂතා ආදී සුවිශේෂතා රැසක් හමුවනවිට සිදුවන අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ අනූව පිරිමින් හැඬවිය හැකි අතිශයින් කලාත්මක ස්ත්‍රීවාදී කෘතියක් ස්ත්‍රී දූෂකයකුට නිර්මාණය කළ හැකි අතර ඊට හැඬූ තවත් පිරිමියකු පසුදින ස්ත්‍රියක් දූශණය කිරීමට බැරිකමක් ද නැත. මිනිස් සන්තානය එතරම්ම සංකීර්ණ ය.
'හොඳ' සහ 'නරක' කලාකරුවන් හඳුනාගැනීමට නිතර යොදාගන්නා ප්‍රකට මිම්මක් වන කලාකෘති ‘කලාත්මක’හා ‘වාණිජ’නම් වර්ගීකරණයට අනුව බෙදීම ද මුළුමනින්ම අසාර්ථක ක්රමයකි. ඒ අනුව ‘වාණිජ කලාකරුවෝ’හෝ 'පඩ ෂෝ - චොකා බයිලා' කාරයෝ හොඳ කලාකරුවෝ නොවෙති, ඔවුන්ගේ මිනිස් ගුණ ද සාමාන්‍යයෙන් කලාවට සම්භන්ධකොට කථා නොකරයි. ශ්‍රී ලංකාවේ කෙසේ වෙතත් කලාව මහා පරිමාණයෙන් වඩා සංවිධානාත්මකව කරන රටවල සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ‘කලාත්මක’සහ ‘වාණිජ’ වශයෙන් හඳුනාගන්නා දෙවර්ගයම වාණිජමය වශයෙන් සාර්ථක වේ. කලෙක ‘ජනප්‍රිය’ හෝ ‘වාණිජ' හෝ 'ස්ටෙරියෝ ටයිප්' ලෙස ලේබල් කළ අංග ද දැන් හොඳ කෘතිවලට ගැලපෙන නම් යොදා ගනු ලැබේ. ඊට අමතරව කලාත්මක හා වාණිජමය නමින් රේඛාවක් ඇඳ දෙකට බෙදන්නට සුදුසු කිසිදු තැනක් ගැඹුරින් කලා කෘති විමසීමේදි හමු නොවේ. හමුවන්නේ කලාත්මකත්වය පිලිබඳ විවිධ ඉගැන්වීම්, නිර්ණායකයන්ට සහ ඇගයීම් පද්ධතිවලට අනුව සාර්ථක සහ අසාර්ථක තත්ත්වයන් හෝ විවිධ මට්ටම් පමණි. එම මතවාදද නිරන්තරයෙන් වෙනස්වෙමින් පවතී.
එහෙත් කලාකෘතියක් නිෂ්පාදනය කළ ව්‍යාපෘතියේ පදනම වාණිජ සහ දේශපාලනමය වශයෙන් හඳුනාගැනීමට හැකි අවස්ථා තිබිය හැකි ය. එනම් එය නිපදවන්නා එය නිපදවූ පදනම හෙවත් වුවමනාවයි. උදාහරණයක් ලෙස 'ගෝඩෝ එනකං' නම් සුප්‍රකට නාට්‍යයේ එක හා සමාන සාර්ථක නිෂ්පාදන දෙකක් තිබිය හැක: එකක් සාර්ථක නිර්මාණයක් වූ විට එය හොඳින් විකිණෙන නිසා එය වාණිජ පදනමෙන් කර ඇත. අනික දේශපාලන පදනමකින් හෙවත් කෘතියක් ලෙසට ඉන් සමාජමය බලපෑමක් කිරීමේ පරම වුවමනාවෙන්ම වාණිජ අපේක්ෂාවකින් තොරව, සමහරවිට එම යථාර්ථය ජයගන්නට උත්සාහ කරන්නන් විසින්ම කළ එකක් විය හැකි ය. අද ලෝකයේ මහා පරිමාණයේ සමාගම් නිෂ්පාදනය කරන බොහෝ විශිෂ්ට නාට්‍ය, චිත්‍රපට, මෙසේ වාණිජ පදනමකින් කළ ඒවා වන අතර රටේ හෝ ලෝකයේ සිටින හොඳම රචකයන්, නළුවන්, අධ්‍යෂකවරුන් ආදීන් කුලියට ගෙන කලාත්මකභාවයෙන් ඉහළ කෘතීන් ඔවූහූ නිෂ්පාදනය කරති. (ලංකාවේ හොඳ යනු විකුණා ලාභ හොයන්න බැරි දෙයක් බවට පත්වී තිබීම වෙනම කතා කළ යුතු ය) එහෙත් ඔවුහු එම කෘතීන් කිසිදු නිශ්චිත යථාර්ථයක් දිනවීමේ දේශපාලන පදනමක නොසිටා ඕනෑම දෘෂ්ටිවාදයක් විවිධ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ඇවැසි පරිදි නිෂ්පාදනය කිරීම නම් වාණිජ පදනම මත නිපදවා වෙළඳ පොළට යොමුකරති. කෘතියක් සාර්ථකවීමට නිර්මාණකරුවාගේ ඔය කියන මානව දයාව හරහා එන ‘අවංක සමාජ බද්ධවීමක්’අත්‍යවශ්‍ය නැති බව මින් තවදුරටත් තහවුරු වන සත්‍යයයි. නමුත් අන් සෑම කෙනෙකුටම මෙන් අවශ්‍ය නම් කලාකරුවාටත් දේශපාලන පදනමක පිහිටා ක්රියාකරන්නට හැකි අතර එම පදනම කලාව හෝ කෘතියේ සාර්ථකත්වය හා කිසිදු සම්බන්ධයක් නැත.
'වාමවාදී' ප්‍රොපගැන්ඩා
මේ අනුව දේශපාලන පදනමෙන් මෙන්ම වාණිජ පදනමෙන් ද එක හා සමාන හොඳ කෘති නිෂ්පාදනය වේ. කෘතිය හා කලාකරුවා අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවය තුළ කෘතිය, කෘතිය ලෙසට වෙනමම සේවය කරන අතර පාරිභෝගිකයෙකු ලෙස කලාව රසවිඳින්නාට කෘතිය සාර්ථක නම් එය නිෂ්පාදනය වූ යාන්ත්‍රණය අදාළ වන්නේ නැත. එය අදාළ වන්නේ රසිකත්වයට වඩා දේශපාලනික හෝ සමාජ විද්‍යාත්මක හෝ මානව විද්‍යාත්මක වශයෙන් කෘතිය පිටුපස ඇති කරුණු සොයන්නෙකුට වෙනත් යථාර්ථයක් මතු කර ගැනීම සඳහා ය. එය ද කලාව ඇතුළු සමාජ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වේ. ඒ කෙසේවෙතත් සමහර කලා කෘති සාර්ථකව නිෂ්පාදනය කිරීමට යොදවන බුද්ධිමය සහ හස්ත කෟශල්යය ඇතුළු සමස්ත ධාරිතාවය ගැන සැලකීමේදී කවර පදනමක වුව ද කලාකරුවාගේ කුසලතාව කිසි විවාදයකින් තොරව ඇගැයිය හැකි ය. එහෙත් ඒ පිටුපස ඇති සදාචාරමය හෝ දේශපාලන අර්බුදය තේරුම් ගැනීමට හා හෙලිදරවු කිරීමට එම ඇගයීම බාධාවක් කරගතයුතු නැත.
එහෙත් ලංකාවේදී වාණිජ පදනමෙන් නිපදවා, එය දේශපාලනික පදනමෙන් නිපදවා තිබෙන ලෙස තමා පිහිටි වෙළඳපොල යථාර්ථය වසා දමමින් වාමවාදී-මානවවාදී සහතිකයක් ලබාගන්නට උත්සාහ කරන කලාකරුවන් අපට දැකිය හැකි ය. මේ හරහා කරන්නේ තක්කඩි ලෙස භාන්ඩයට අතිරික්ත සංකල්පීය වටිනාකමක් ද එකතුකර ගැනීමය. හේතුව දක්ෂිණාංශක විරෝධී, වාමාංශික මානවවාදී ප්‍රතිරූපය නැතිව ශ්‍රී ලංකාව තුළ පූජනීය කලාකරුවෙකු වීමට නොහැකි වීමයි. ශ්‍රී ලංකාවේ තවමත් කලාව ද ඇතුළුව බොහෝ දේවල් සදාචාරමය විනිශ්චයකට ලක්කරන්නේ පැරණි ලෝකයේ මිණුම්දඬු වලිනි. අනිත් පැත්තෙන් අනිත් සෑම දෙනාම මෙන් කලාකරුවාව ද රැගෙන යන්නේ නූතන වෙලඳපොල බලවේග විසිනි. මේ දෙකට මැදිවන කලාකරුවාට පැරණි ලෝකයට අනුව මානවවාදී විය හැක්කේ බොරු මවාපෑමක් තුළින් ය. පැරණි ලෝකයෙන් හරියටම වෙන්වන්නේ නැතිව, කිසිම සූදානමකින් තොරව, ධනවාදී ලෝකයක් කරා යන 'විපරිත සංක්‍රාන්ති මොහොතක'දී මිනිසුන් කරනා විවිධාකාර විකාර හා මවාපෑම්වලට නතුවන මිනිසුන්ට කලාකරුවන්ද ඇතුළත් ය.
සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නම් රාජ්‍ය විරෝධී, මානවවාදී ලක්ෂණ කෘතියක දකිත්ම කලාකරුවාද සැබැවින්ම එයාකාර යැයි සිතා සමාජය කලාකරුවාව හඳුනාගන්නා විට කලාකරුවාද ඒ අනූව හැසිරෙන්නට පටන් ගනී. බොහෝ විට කලාකරුවන් පිළිබඳ රාජ්‍ය විරෝධී, මානවවාදී, ආදී ලෙස අප තුළ සංකේත ප්රතිරූප ගොඩනැගෙන්නේ කටකතා ද ඇතුලුව ඉතා සූක්ෂමව දියත් කළ ප්ර්රචාරක ප්‍රොපගැන්ඩාව තුළින් ය. ඒවා අතර කෘතියේ නම, පින්තූර, පෝස්ටර් සැලසුම, නිවේදන තුළ නම්ගම් උච්චාරණය කරන බරසාර බව, ප්රචාරයේ විශාලත්වය, සම්මුඛ සාකච්ඡා, පුවත්පත් ලිපි, කලාකරුවාගේ බාහිර පෙනුම සහ ඉරියව් ආදී කෘතියට පරිබාහිරව අප වෙත ඉදිරිපත් කරනා සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය රූප සහ විස්තර මීට අයිති ය. විදග්ධ, සම්භාවනීය, අහිංසක, දේශපාලනික, මානුෂික ආදී සියලු රූප කෘතියට බාහිරව මෙසේ අපට ලබාදෙන දේවල් ය. ඔබ කෘතිය පමණක් ගෙන බැලුවොත් බොහෝ විට ඒ කියනා කිසිවක් එහි නැත. බොහෝ කෘති ඒවායේ ප්ර්රචාරක ප්‍රොපගැන්ඩාව කියන තරම් රාජ්‍ය විරෝධී ද නැත, රජය සිතන තරම්වත් රජයට තර්ජනාත්මක ද නැත, ප්ර්රචාරක ප්‍රොපගැන්ඩාව කියන තරම් දේවල් කෘතියක් ලෙසට රසික අප තුළ ඇතිකරන්නේද නැත. මෙයද ඕනෑම භාන්ඩයක් තියෙනවාට වඩා විවිධ ප්රතිරූප හරහා වටිනාකම වැඩිකර විකිණීමට යොදාගන්නා සාමාන්‍ය වෙළදපොලේ උපක්රමයම වේ. මෙසේ කිසියම් කලා කෘතියක ප්ර්රචාරක ප්‍රොපගැන්ඩාව සහ එම කෘතිය සහ කලා කරුවා අතර ඇති සම්බන්ධය සාමාන්‍ය රසිකයාට හසුවන්නේ නැති තරමට බාහිරව ප්‍රබන්ධ කළ එකකි. බොහෝ විට කලාකරුවා රාජ්‍ය විරෝධී, මානවවාදී ලක්ෂණවලින් හෝ රැඩිකල් චන්ඩි ගංජා ගති වලින්ද කෘතිය හැඩ කර ඇත්තේ දේශපාලන වුවමනාවට වඩා වෙළදපොල උවමනාවට බවට මේ සන්දර්භය තුළ අපට පැහැදිලි කරගත හැක. මේ අනුව ‘උතුම් කලාකරුවා ජනතා බලාපොරොත්තු කඩන්නෙක් වූයේ කෙසේද’ යන්න පිටුපස ඇති රහස් පැහැදිලි විය යුතු ය.
ධනංජය කරුණාරත්න
© JDS