ඔබේ රංගන දිවියට වසර 40කට එහා ගිය ඉතිහාසයක් තිබෙනවා නේද...?
ඔව්. එය ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යය තෙක් ඉතිහාසයකට දිවයනවා. පළිඟු මැණිකේට කලින් මම ඒකාංගික ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒ වගේම ලංකාවේ පළමු මැදිරි නිෂ්පාදනය වූ ලූෂන් බුලත්සිංහලගේ ‘යතුරු ලේඛිකාව’ ටෙලියෙත් මම රඟපෑවා. පළිඟු මැණිකේ කියන්නේ ලංකාවේ 04 වැනි වෘත්තාන්ත ටෙලිනාට්‍යය. මේක මුලින්ම අධ්‍යක්ෂණය කරන්න හිටියේ ලූෂන් බුලත්සිංහල ශූරීන්. ඒත් ලූෂන්ට හදිසියේ රට යන්න වීමත් එක්ක එහි අධ්යක්ෂණ වගකීම එකල රූපවාහිනී නාට්‍ය අංශයේ ප්‍රධානියා වූ ධම්ම ජාගොඩ භාරගත්තා. එතැනදී ලූෂන් මහතා තෝරාගෙන හිටිය පිරිස සම්පූර්ණයෙන් වෙනස්වුණා. ඒ තෝරාගත් පිරිසෙන් මම විතරයි ඉතිරිවුණේ. මගේ වගේම ශ්‍රියන්ත, ජැක්සන් වගේ අයගේත් පළමු ටෙලිනාට්‍යය වුණේ පළිඟු මැණිකේයි.
ඔබට කලාවට පිවිසෙන්න එකල ආනන්දයේ විදුහල්පතිගේ අවසරය ලැබුණු හැටි කීවොත් ...?
කොළඹ ආනන්ද විද්‍යාලයට මම ගියේ. කලාවට තිබූ ආශාව නිසාම උසස් පෙළ කලා අංශයෙන් කළා. ඒකට මට අවසර දුන්නෙ එහි විදුහල්පති කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ මහතායි. මම ඔහුට කිව්වා මට විද්‍යා අංශය අල්ලන්නේ නැහැ. මට කලා අංශයෙන් ඉගෙන ගන්න ඕන කියලා. ඔහු එයට අවසර දුන්නා ඔබ කැමැති දෙයක් කරන්න කියා. ඒ තීරණය මගේ රංගනයේ කඩඉම වුණා.
ඔබේ රංගනයේ තිඹිරිගෙය කොළඹ ආනන්ද විද්‍යාලය කිව්වොත් මම නිවැරැදිද...?
ඔව්. ඒ පාසල මගේ රංගනයේ තිඹිරිගෙය වුණා තමයි. පාසල් වේදිකාවේ මම රඟපෑවා. ඒ කාලයේ ලයනල් රන්වල ශූරීන් සංගීතය උගන්වන්න පාසලට ආවා. ආනන්දයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ව ඔහුගේ නාට්‍යවලට හවුල් කරගත්තා. පාසල් වේදිකාවේ අපි රංගනයේ යෙදුණා. ඒ අතර ජර්මානු මහාචාර්යවරයෙක් වුණු නෝර්බට් ජේ. මයර් නමැත්තා ලංකාවට ඇවිත් කළ නාට්‍ය පාඨමාලාව අපි හැදෑරුවා. මම, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා වගේ අය නෝර්බට් ජේ. මයර්ගේ පාඨමාලාව හැදෑරූ පාසල් ශිෂ්‍යයෝ. ඒ පාඨමාලාවේ අවසන් ප්‍රතිඵලය ‘අනේ අබ්ලික්’ වේදිකා නාට්‍යය.
ලංකාවේ නොබිඳෙන වාර්තාවක් තියන්න ආනන්දයේ සිසු පිරිස සමත් වුණා කිව්වොත්....?
ඒතමයි පාසල් ශිෂ්‍යයෝ පිරිසක් විසින් පළමු වරට ප්‍රසිද්ධ වේදිකාවට වේදිකා නාට්‍යය නිර්මාණය කිරීම සහ සිනමාපටයක් නිර්මාණය කිරීම. සිසුන්ම පිටපත ලියලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. රිදී තිරයට කළ පළමු චිත්‍රපටය වුණේ ‘නිම්වළල්ල’යි. රංජිත් ලාල් ප්රමුඛ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , සරසවිය හිටපු කර්තෘ ඒ.ඩී. රන්ජිත් කුමාර, ප්‍රේමකීර්ති ද අල්විස් කියන පිරිසම ආනන්දයේ පිරිස. ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක් කළේත් අපි. තුසිත ද සිල්වා තමයි එය ලියලා අධ්‍යක්ෂණය කළේ. ඒකේ නම ‘පාර වසා ඇත’. ඒක බලන්න ආවා ඒ දවස්වල තරුණ පත්රකලාවේදියෙක් වුණු අජිත් සමරනායක. ඔහු Daily News පත්තරයට ඒ ගැන විචාරයකුත් ලිව්වා. ච්.ඛ්. රණතුංග ප්‍රසිද්ධ විචාරකයා පත්තරයට විචාරයක් ලිව්වා.
උපුටාගැන්ම : සරසවිය