ජාතික රූපවාහිනියේ විකාශය වෙන නුග සෙවණ වැඩසටහනින් ඔබ දුටු සූපවේදීණියක් සමගින් අප මෙවර කතා බහා කළා. ඇය නමින් සුරේනි ජයසුරිය. වසර ගණනාවක් රූපලාවන්‍ය ශිල්පිණියක් ලෙස කටයුතු කළ ඇය වර්තමානය වන විට ඇයව බොහෝ පිරිසක් දන්නේ සූපවේදිනියක් ලෙස.
සුරේනි සූපවේදිනියක් වුණේ කොහොමද?
පාසලෙන් ලැබුණු අධ්‍යාපනයත්, සූපවේදය පිළිබඳ හැදෑරූ දැනුමත් මේකට ලොකු පිටුවහලක් වුණා. මගේ අම්මා මගේ මහත්තයා, මගේ යාළුවෝ මට නිතරම කිව්වේ මම හදන කෑම හරිම රසයි කියලා. මේ හැමෝගෙම අගය කිරීම තමයි මම සූපවේදිනියක් විදිහට යොමු වෙන්න මූලිකම හේතුව වුණේ. ඒ නිසා තමයි මම හිතුවේ කෑම සම්බන්ධ ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි කියලා. ඒත් එතැනදි මම හිතුවේ ලාභයට වඩා මිනිස්සුන්ට වඩාත් ගුණදායී සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් දෙන්න තියෙනවා නම් හොඳයි කියලා. 2018 මට ඒ අවස්ථාව ලැබුනා. සිකුරුලියා ෆුඩ් තමයි සූපවේදිනියක් විදියට මාව මේ දුර ගෙනාවේ.
හැබැයි සුරේනි සූපවේදිනියක් විදියට ජනප්‍රිය වුණේ මෑතකදී
ජාතික රූපවාහිනිය සංජීව මල්ලි තමයි, නුගසෙවන, හිටපු අධ්‍යක්ෂකතුමා ප්‍රසන්න හෙට්ටිආරච්චි මහත්මයත් එක්ක කතා කරලා මට අවස්ථාව ලබාදුන්නේ. මම මේ වෙලාවේ ජාතික රූපවාහිනියටත් නුගසෙවන කාර්යමණ්ඩලයටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා සුරේනි ජයසූරිය කියන නම ලෝකයටම ගෙනියන්න අවස්ථාව ලබාදුන්නට.
වසර ගණනාවක් තිස්සේ මේ කරන ව්‍යාපාරය දැන් සාර්ථක ද?
ඇත්තටම මට ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. මගේ ව්‍යාපාරය සමග අපි ආපු ගමන ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ. ඒක හරිම ආදරණීයයි. අද මම ඉන්න තැන බලද්දි මම ගොඩාක් සතුටු වෙනවා ඒ ගැන වචනවලින් කියන්න බැරි තරම් හැගීමක්. සමහර මඩ ගහපු අය වැරැදි හොය හොයා හිටපු අය නැතුවම නෙවෙයි, කාන්තාවන් විදිහට හරි දේ කරනවනම් අපි කාටවත් කිසි දෙයකට බය වෙන්න ඕන නෑ. අපි සිකුරුලියා ෆුඩ් මුළු ලෝකෙටම කෑම බෙදන තැනක් කරන්න තමයි මගේ අරමුණ.
මේ වැඩේට සුරේනිට උදව් කරන්නේ?
අනුරාධ ජයසූරිය මගේ සැමියා. ඔහු වෘත්තිය මට්ටමේ කැමරා ශිල්පියෙක්. වෘත්තිය කටයුතු කරන අතරේ තමයි ඔහුගේ උදව් මට ලැබෙන්නේ. ඇත්තටම සැමියාගේ සහයෝගය නැත්නම් මම මේ තරම් සාර්ථක ව්‍යාපාරිකාවක් වෙන්න බැහැ. ඒ වගේම මගේ අම්මා ඇය තමා කවදත් මගේ හයිය වුණේ. මගේ පුංචි දුව සයුනිත් එයාගේ අම්මාව මේතැනට ගේන්න ගොඩක් උදව් කළා. ඊට අමතරව නිතරම මට ආශිර්වාද කරන ආදරණීයන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අයත් ආදරයෙන් මතක් කරන්නම ඕනා.
සංවාදය : බුද්ධික සේනාධීර