මේ නම් කියන්න යන්නේ තනිකරම කෑම කතාවක්.
ඔන්න අන්තිමේ ගෙවුණු සෙනසුරාදාවේ මම, රෝමාගේ ගෙදර ගියා... ෂශ්ලික්* (Shashlik) කන්න. මම ගියේ රෝමාගේ සහකාරිය, නතාලියාට මල් පොකුරකුත් අරගෙන.
සාමාන්‍යයෙන් යුරෝපීයන් අතරේ මල් පොකුරු හුවමාරු වීම් සුලභ දෙයක් වුනාට රුසියානුවන් අතරේ තියෙන මල් පිස්සුව නම් මම ගිහින් තියෙන යුරෝපීය රටවල් දෙක තුනේවත් දැකලා නෑ. හැම තැනම මල් කඩවල්... දවසේ කොයි වෙලාවේ .. කොහේ ... කොතන ගියත්... ලස්සන මල් පොකුරු ගත්ත ගැහුණු පිරිමි අඩුවක් නෑ.
තමන්ගේ සහකාරිය, එක්කෝ බිරිඳ පෙම්වතිය මුණ ගැහෙන්න යන... කෑමකට යන... රුසියානු පිරිමි, මල් පොකුරක් ගෙනියන්න නම් අමතක කරන්නේ නෑ. කඩෙන් ගත්ත මල් නැත්නම් ඉතින් කැලෑවෙන් කඩාගෙන හරි මල් අරන් යනවා.
දවසක් මම මෙට්‍රෝවෙන් බැහැලා පාරට එන කොට අවුරුදු 14ක විතර පුංචි කෙල්ලක්, රෝස මල් පොකුරක් අතින් අරන් ඒ දිහා බල බල... තනියම හිනාවෙවි දුවනවා. එයාගේ කම්මුල්වලිනුත් මල් පෙති විසිවුනා කියල මට හොඳටෝම විශ්වාසයි. ඉන්තේරුවෙන්ම ඒක එයාගේ ප්‍රේමවන්තයගෙන් ලැබුන එකක්...
මම ඉතින් රුසියානුවොන්ට වොඩ්කා බෝතල් අරන් යන්නද ? ගත්තා මල් පොකුරක්. (හැබැයි ඉතින් ඒ ගාණෙන් වොඩ්කා බෝතලයක්ම ගන්න තිබුන)
කොහොම වුනත් මල් ගැන නතාලිය සෑහෙන තරම් සතුටු වුනා.
මම යද්දි රෝමා එළිමහනේ දුම් දා දා අව්වේ නෑවී නෑවී... ෂශ්ලික් හදනවා. නිකන් නම් බැරිය, අසර්බයිජානුවන්ගේ අත් ගෙතුම් වලින් හැඩ වෙච්ච... එම්බ්‍රොයිඩර් මල් වැල් දුවපු තොප්පියකුත් දාගෙන... ඒවා අසර්බයිජානුවන්ගේ සාම්ප්‍රදායික තොප්පි...
රුසියානු රෝමා, අසර්බයිජාන් තොප්පි දාගෙන ඉන්නේ ඇයි කියල හිතන්න එපා... සෝවියට් දේශේ කඩන් වැටෙනකම් එකට හිටපු රටවල් දැන් කැඩුනා කියල නෑ... හුඟක් දේවල් එකිනෙකා අතරේ තවම හුවමාරු වෙනවා... විශේෂයෙන් කෑම.
ෂශ්ලික් ගැන මම දැනටමත් කියල තියෙනවා නේ. ෂශ්ලික් කියන්නේ අපි දන්න කෙබාබ් වලට සමාන තුර්කි කෑමක්. හැබැයි මට නම් ඊට වඩා ඉස්තරම් රසයක්... බැටලු, එලු, හරක් වගේම කුකුල් මස් වලින් ෂශ්ලික් හැදුවට මම නම් ආසම ඌරු මස් ෂශ්ලික් වලට.
හරිම පදමට ෂශ්ලික් හදනවා නම් ඉතින් විනේගා වල ඔබපු ලොකු මස් කෑලි, තුර්කි තුනපහ, ළුණු රෝද, හර්බ්ස් වල ගිල්ලලා රැයක් නිස්කාන්සුවේ සතපවන්න ඕන. ආන්න ඊට පස්සේ එළිමහනේ, යකඩ කුරූවල ගහපු මස් කෑලී මොළොක් වෙන කම් ගිනි අඟුරු උඩ දුම් වැදි වැදි හැදෙන්න දෙන්න ඕන.
මම ඉතින් කෑමට එන්න කියන කම්, වත්ත වටේ ඇවිද්දා. වසන්ත කාලේ පිපිලා තිබුන ඇපල් මල්, පෙති හලමින් තිබුනේ... පාට පාට තුල්පානිත් (ටියුලිප්) ගිම්හාන කාලේ නිසා පේන්න නෑ. ඒ වුනාට ස්ට්‍රෝබෙරි පැළ මල්වර වෙන්න ඔන්න මෙන්න හිටියේ...
රෝමාගේ සුදුලුණු වගාවත්... ලුණු වගාවත් නිදහසේ වැඩෙමින් තිබුනා. රෝමා කිව්වේ තව මාසෙකින් සුදුලුණු කන්න පුලුවන් කියල.
අන්න එහෙම සුදුලුණු ගලවපුවාම ටිකක් කෑමට අරගෙන තව ටිකක් විනේගාවල ඔබලා... බෝතල් ඇතුලේ නිදහසේ ඉන්න ඉඩ ඇරල වහලා දානවා. ඒවා ආයෙත් එළියට එන්නේ සීත කාලෙට...
හැම රුසියානුවෙක්ම සීත කාලේ ඉවර වෙන කොටම තමන්ගේ වත්ත සුද්ධ කරන්න පටන් ගන්නවා. මහන්සි වෙලා වැඩ කරන්න දන්න රුසියානුවෝ හනි හනික බිම හදලා, ග්‍රීන් හවුස් ඇතුල සුද්ධ කරල පැළ ඉන්දන්න ගන්නවා. රුසියානුවෝ හුඟක් අය ජීවත් වෙන්නෙ ක්වර්තීරා (එපාර්ට්මන්ට්) වල. හැබැයි ඒ හුඟක් දෙනෙකුට දාචා* (dacha) තියෙනවා ... ඈත ගමට වෙන්න.
මම ඉන්නේ රෝමාගේ අම්මා හිටපු ගෙදර... මේ ගෙදර හැම කබඩ් එකක් ඇතුලේම තියෙන්නෙ සෝදලා පිරිසිදු කරපු එක එක ප්‍රමාණේ බෝතල්. ඒ ඇයි කියල මට තේරුනේ ටිකක් පහුවෙලා...
මෙහේ ගිම්හාන කාලෙට තියෙන එළවලු පලතුරු සීත කාලේට නෑ නේ. ඒ නිසා රුසියානුවන්ට තමන්ගේ ම විධි ක්‍රම තියෙනවා මේ එළවලු පළතුරු කල් තියා ගන්න. ඉතින් හැම රුසියානු ගෙදරකම, මේ වැඩේ සාමාන්‍යයෙන් පවර ගන්නේ කාන්තාවෝ.
ඒ වැඩේට විනේගා නැතුව ම බෑ. තව ඉතින් ලුණු, සීනි, හර්බ්ස්, පළතුරු යුෂ, මී පැණි, වයින් වගේ දේවල් අවශ්‍ය විදියට පාවිච්චි කරනවා. එළවලු පළතුරු වෙන වෙනම තෝරගෙන ගෙඩි පිටින් හරි එක එක හැඩේට හරි කපලා... මේ යුෂවල ඔබලා... බෝතල් වල බහා ලා ... ඊළඟ සීත කාලේ වෙනකම් පරිස්සමට ගබඩා කරල තියා ගන්නවා.
සුලු ලුණු, මිරිස්, මාලු මිරිස්, ගෝවා, කැරට්, ගර්කින්, බීට් රුට්, හතු, තක්කාලි වගේ එළවලුත්... පීච්, ඇපල්, ස්ට්‍රෝබෙරි, බෙරි වර්ග, කොමඩු වල ඉඳලා එකී නොකී මෙකී දේවල් මේ විදියට ගබඩා කරල තියල කෑමට ගන්න එක රුසියානු සම්ප්‍රදායක්. ඇත්තටම මේවා රුසියානු පිකල්. ඇඹුල්මය රසයක් එක්ක කෑමට රුචිය වඩවන මේ පිකල් බෝතලයක් රුසියානු කෑම මේසයක අනිවාර්ය දසුනක්.
ඒ ඇරුනාම ඉතින් පළතුරු වලින් ජෑම් හදනවා. බෙරි වර්ග, පීච් සහ ඇපල් වගේ පලතුරු කොම්පෝත්*(Compote) කරල බීමට ගන්න එකත් රුසියාවේ වගේම නැගෙනහිර යුරෝපේ රටවලත් සම්ප්‍රදායක්. (හැබැයි දන්න හැටියෙන් කොම්පෝත් කිරීම ප්‍රංශයෙන් ආරම්භ වුන විධි ක්‍රමයක්) කොම්පෝත් කිරීමත් කල් තියා ගන්න එක විදියක් නේ.
ඒවා අතුරු කතා... කෑම මේසේ ලෑස්තියි.
ෂශ්ලික්, ලොකුම ලොකු භාජනේක උණුසුම රැක ගනිමින් කොනක හිටියා. ෂශ්ලික් කන්න, ඉඟුරු, සුදුලුණු, ලොකු රතු මිරිස් කරල්, විනේගා, අබ ක්‍රීම්, හර්බ්ස් වගේ තව මොන මොනවදෝ එකට තලලා ... මුහුකරල හදාගන්න දිව උදුරන තැවරුමක් ඒ ළඟම තිබුනා. බටර්වලින් යාන්තමින් එහෙට මෙහෙට කරල ගත්ත, තම්බපු අල ගෙඩි... කලුපාන් කූඩේ ළඟින්ම හිටියා. අපිට ඉතින් බත් වගේ රුසියානුවන්ගේ ප්‍රධානම ආහාරය තමයි අල.
තක්කාලි, ලුණු කොළ ගස් පිටින්... ලොකු ගෝවා ගෙඩියක්... අගුර්සි*(Agurci) කියල රුසියානුවෝ කියන පුංචි ගර්කින් ගෙඩි, වෙනම තිබුනා... විනේගා සහ හර්බ්ස් එක්ක පදම් වුන ලෙකු කලුපාට හතු බෝතලයක් තව කොනක තිබුනා. තුනීවට මී පැණි බිංදු වැටිලා වොල්නට්ස් මැදි කරගත්ත බිත්තර බෝට්ටු කනකන් ඉසිල්ලක් නැතුව මම බලන් හිටියේ.
අහ් තව රුසියානුවන්ගේ සාම්ප්‍රදායික කෑමක් වෙන රුසියානු සැලඩ් එක... අල, කැරට්, පීස්, බිත්තර, මයෝනීස් දාපූ ඒ සැලඩ් එක කෑමට ගන්නේ සීත කරල... නතාලිය කිව්වා ඒක නම් එයා හැදුවේ නෑ කඩෙන් ගත්තේ කියල. කොහෙන් ගෙනාවම මොකෝ පුදුම රසක්... කවුරු හරි රුසියාවට එනවා නම් ඉතින් මේ රුසියානු සැලඩය කියන්නේ කන්නම ඕන කෑමක්...
අනෙක් කෙළවරේ නැවුම් දොඩම් යුෂ වගේම වතුරත්, දොඩම්, ඇපල්, කෙසෙල් මැදි කරපු පලතුරු පිඟනකුත් තිබුනා.
අල්ලපු ගෙදර යූරාගෙන් ලැබුන රුසියානු වොඩ්කා වගේම රෝමා මේසේට ගෙනාපු ප්‍රංශ වයින් සහ ජෝර්ජියන් ෂැම්පේන් වලින් උද්‍යාන මේසේ දිවා ආහාරයට සුදානම් වෙලයි තිබුනේ.
රෝමා මේසේට වාඩි වෙන්න කලින් වත්තෙන් කඩා ගත්ත... සුවඳම සුවද.. දම් පාට ලිලැක් මල් අතු දෙකක් ගෙනත් පෝච්චියට දැම්මා...
වල් මිදිවැල් පඳුරු අස්සෙන් ඉර අව්ව බේරෙමින් තිබුනා...
මට කතා කරන්නත් අමතක වුනා... කොහොමත් මට කතා කරන එක ලොකු ප්‍රශ්නයක් ඒ රුසියානුකාරයෝ මැද්දේ... ඒකේ වාසිය අඩු නැතිව මම ගත්තා...
ඒ අස්සේ රෝමා ලපටි සුදුලුණු ගස් කීපයක් වත්තෙන් උදුරගෙන සෝදලා අරන් ආවා... කෑමට...
සුදු ලුණු ගහ කෑවා විතරයි... නහය අස්සේ මොනවද හිර වෙලා ඇස් වලින් කඳුලු විසිවුණා... මොනා වුනත් මම අමාරුවෙන් සුදුලුණු ගගෙන් භාගයක් කාලා දැම්මා. කට්ටියම සහය වුනා එකෙන් එන සැර අඩු කරන්න තුර්කි දොඩම් කන්න කියල.
යුරාගේ දිවේ ගැවී නොගෑවි ලිස්සන විහිලු කතා අස්සේ ඒ දිවා බෝජනය අවසන් වුනේ හොඳටෝම හවස් වෙලා...
යුරාගේ බිරිඳ කෑමට ආපු විදියත් කියලම මේ කතාව ඉවර කරන්නම්... රුසියානුවන් කෑමකට එළියට යනවා කියන්නේ ඉතින් වෙනම ඉවෙන්ට් එකක්. ඉස්තරම්ම විදියට ඇදලා තමයි එහෙම අවස්ථාවකට යන්නේ. ඒක කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමි පාර්ශ්වයටත් පොදුයි. ඒ වගේ සුදානමක් ඉතාලියානුවන්ගෙන් ඇර මම දන්න හැටියෙන් වෙන යූරෝපීයයන්ගෙන් පවා දකින්න නෑ.
යුරා ඉන්නේ රෝමාගේ ගේට්ටුව ඉස්සරහින්ම පේන ගෙදර. අපි වුනා නම් ඉතින් කලිසමයි ටී ෂර්ට් එකකුයි සෙරෙප්පු දෙකයි දාගෙන පාර පනිනවා අල්ලපු ගෙදර කෑමට යන්න. ඒකට රුසියානුවෝ...
යූරාගේ බිරිඳ, වීකා... වීකා කියන්නේ ඉංග්‍රිසියෙන් වික්ටෝරියා... (රුසියානු නම් ගැන කතාවක් වෙන දවසක කියන්නම්) ගාණට මිම්මට මේකප් කරල, ලස්සනට ඇඳලා හරියට අවන්හලක කෑමට යනවා වගේ තමයි පාර පැනල රෝමාගේ ගෙදර ආවේ...
මොනා වුවත් එයා මගේ සමේ පාටත්, ශරීරයත් ගැන බොහොම ලෙන්ගතු වර්ණනාවක් කරල අන්තිමට කිව්වා අපේ කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්න කියලත්... වචනෙකින් හරි සමීප බවක් දැනුනාම රුසියානු කාන්තාවෝ තවත් කාන්තාවක් අගය කරන්න නම් දෙපාරක් හිතන්නේ නෑ.
ඒ කොහොම වෙතත් රුසියානුවෝ අපේ චොක්ලට් පාට ට කැමති බව නම් සහතික ඇත්තක්... ඇවිදින්න ගියාම ෆෝටෝ එකක් ගමු ද අහන... වචනයක් කතා කරන්න එන... රුසියානුවෝ ඕන තරම් ඉන්නවා.
මම ගෙදර එන්න පිටත් වෙන කොට රෝමා දම් පාට... මල් වැක්කෙරෙන... ලිලැක් මල් පොකුරක් කඩාගෙන ඇවිත් දුන්නා. අපි හැමෝම එකිනෙකාව හෘදයාගමව වැළඳ ගත්තා... මගේ ස්තූති කිරීම්වලට... සුපුරුදු ලෙන්ගතුකමින් සහ සම්ප්‍රදායට අනුව ඒ හැමෝම මට ශරීර සුවය ප්‍රාර්ථනා කරමින් දස්විදානියා* (Dasvidaniya) කිව්වා.
පරණ කතා කියවන්න කැමති කෙනෙක්ට... මග හැරුණු කෙනෙක්ට පහත සබැඳි ලිපි බලන්න පුලුවන්...
මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර - රුසියාවේ සිට..