lan englan tam

වැඩ සතිය දින හතරක් කළොත් අපට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද?, එය හැම තැනම කළ හැකිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සතියට දින පහක් වැඩ කොට , සති අන්තය සතුටින් ගත කිරීමෙන් පසු නැවත වෙහෙසකර වැඩ සතියක් සඳහා සුදානම් වීමේ චක්‍රය අපිට මොහොතකට අමතක කළ හැකි නම්..

වැඩ සතිය දින හතරකට අඩු කිරීම ජනතාවගේ යහපැවැත්ම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරන බවට 'Nature Human Behaviour ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද සුවිශේෂී අධ්‍යනයකින් හෙළි විය.

 

ae5d66b0 79df 11f0 ab3e bd52082cd0ae.jpg

 

බොස්ටන් විද්‍යාලයේ පර්යේෂකයෝ ප්‍රධාන දර්ශක හතරක් නිරීක්ෂණය කළහ. එනම් ඔවුන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල සමාගම් 141ක ශක්තිය ක්ෂය වීම (burnout) , රැකියා තෘප්තිය, ශාරීරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ සමීක්ෂණය කරන ලදී.

"සේවකයින්ගේ යහපැවැත්මේ විශාල දියුණුවක් අපට දකින්න ලැබුණා," එහි ප්‍රධාන පර්යේෂිකාව වන වෙන් ෆෑන් බීබීසීයට පැවසීය.

"සමාගම් ඵලදායිතාවයේ සහ ආදායමේ ද ප්‍රතිලාභ අත්කර ගත්තා. දැන් පර්යේෂණය ඉවරයි. හැබැයි ඊට සම්බන්ධ වූවන්ගෙන් 90%ක් ම දැන් සතියට දින හතරයි වැඩ කරන්නේ."

කෙටි වැඩ සති වඩා හොඳ සෞඛ්‍යයක්, දියුණු වැඩ-ජීවිත සමතුලිතතාවක් සහ සමස්තයක් වශයෙන් වැඩි ජීවින තෘප්තියක් ලබා දෙන බව තහවුරු කරන අනෙක් පර්යේෂණ එකතුවට එය එක් වෙයි. දිගු වේලාවක් වැඩ කිරීමෙන් මොළයේ ව්‍යුහය වෙනස් විය හැකි බවට මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ටික කලකට පසු මෙම නව අනාවරණය සිදු විය.

ඉන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මේතරම් පැහැදිලි නම් අපව නවත්වන්නේ කුමක් ද?

 

අධික වැඩ සංස්කෘතිය

 

489f7ea0 7460 11f0 a975 cb151ca452f4.jpg

 

චීනය '996' වැඩ සංස්කෘතිය සඳහා ප්‍රසිද්ධ ය. එහිදී සේවකයෝ සතියේ දින හයක් උදේ 9 සිට රාත්‍රී 9 දක්වා වැඩ කරති.

ඉන්දියාවේ දියුණු වෙමින් පවතින තාක්ෂණික සහ මූල්‍ය අංශවල, ගෝලීය ඉල්ලුම සපුරාලීම සඳහා දිගු, අක්‍රමවත් පැය ගණනක් වැඩ කිරීමට සේවකයෝ බොහෝ විට නිරන්තර පීඩනයකට මුහුණ දෙති.

"චීනය, ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල දිගු පැය ගණනක් වැඩ කරන එක ගෞරවයේ ලාංඡනයක් විදිහට සලකනවා," මහාචාර්ය ෆෑන් පවසයි.

ජපානයේ, වැටුප් රහිත අතිකාල සේවය කොතරම් සුලභද යත්, එරට අධික වැඩ කිරීමෙන් මරණයට පවත්වන්නේ යැයි අරුත ඇති 'කරෝෂි' යන වචනයක් ද ඇත.

"ජපානයේ, රැකියාවක් කියන්නේ රැකියාවක් විතරක් නෙවෙයි - ඒක නිකම් සමාජ පිළිවෙතක් වගේ," යැයි ජපානයේ ශ්‍රම වෙළෙඳපොළ සහ සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳ විශේෂඥයෙකු වන හිරෝෂි ඕනෝ පවසයි.

"මිනිස්සු කලින් ඇවිත් ඇත්තට ම වැඩක් නැති වුණත් පරක්කු වෙලා යන්නේ කැපවීම පෙන්නන්න. ඒක පේන්න කරන දෙයක්. හරියට නිකම් මාෂල් ආට්ස් වගේ. ඒක කරන ක්‍රමයක් තියෙනවා."

ජපානයේ සාමූහිකවාදී සංස්කෘතිය මෙයට රුකුල් දෙන බව ඔහු පැහැදිලි කරයි: "තමන්ගේ වැඩේ නොකර වාසි ගන්න අය ගැන සමාජයේ ලොකු අප්‍රසාදයක් තියෙනවා. එක්කෙනෙක් සිකුරාදා නිවාඩු ගන්න පටන් ගත්තොත්, අනෙක් අය හිතන්නේ - 'ඇයි එයාලා වැඩ මග අරින්නේ'?"

පීතෘ නිවාඩු වැනි නීත්‍යනුකූලව හිමි ප්‍රතිලාභ පවා ජපානයේ බොහෝ විට භාවිත නොකරන ආකාරය බොහෝ දෙනෙකුට කැපී පෙනෙන දෙයක් ලෙස දැක ගත හැකි ය.

"පිරිමින්ට අවුරුද්දක් දක්වා නිවාඩු ගන්න පුළුවන්, නමුත් ඉතා සුළු පිරිසක් විතරයි එහෙම කරන්නේ - මොක ද ඔවුන් තම සගයන්ට අපහසුතාවක් ඇති කරන්න කැමති නැහැ," ඕනෝ පවසයි.

එසේ වුව ද, මහාචාර්ය වෙන් ෆෑන් විශ්වාස කරන්නේ සිදු කළ ආකාරයේ අත්හදා බැලීම් අධික වැඩ කිරීමේ ප්‍රබල සම්ප්‍රදායන් ඇති ස්ථානවල පවා මිනිසුන් දේවල් දකින ආකාරය වෙනස් කිරීම ආරම්භ කර ඇති බව ය.

අයිස්ලන්තයේ, ආසන්න වශයෙන් 90%ක් පමණ ජනතාව දැන් අඩු පැය ගණනක් වැඩ කරති. නැතහොත් ඔවුන්ට තම වැඩ සතිය කෙටි කිරීමට අයිතියක් ඇත.

දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඩොමිනිකන් ජනරජය, බොට්ස්වානා ඇතුළු රටවල් කිහිපයක අත්හදා බැලීම් සිදුවී හෝ සිදුවෙමින් පවතී.

මෙම වසර මුලදී, ටෝකියෝ රජයේ සේවකයින් සඳහා සතියට දින හතරක් රාජකාරි කිරීම නියමු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ ය. මෑතකදී ඩුබායි එහි රජයේ ශ්‍රම බළකාය සඳහා එවැනි ම ගිම්හාන වැඩසටහනක් දියත් කළේ ය. මේ අතර, 2025 ඔක්තෝබර් මාසයේ සිට, දකුණු කොරියාව සමාගම් 67ක දින 4.5ක වැඩ සතියක් අත්හදා බලනු ඇත.

 

රැකියාව ජීවිතය සමඟ සමපාත නොවීම

 

b4673330 7460 11f0 a20f 3b86f375586a.jpgකොලරාඩෝහි පොලිස් දෙපාර්තමේන්තුවක් දින හතරේ වැඩ සතියට මාරු වීමෙන් පසු එහි ඉල්ලා අස්වීම් අඩකින් අඩු විය

"කොවිඩ් නිසා, වැඩි වැඩියෙන් මිනිසුන්ට හැඟෙන්නේ තමන්ගේ රැකියාව සහ ජීවිතය සමග ගලපගන්න බැහැ කියලා. ඒ වගේ ම ඔබට ඒ ප්‍රවණතාව ආපසු හැරවිය නොහැකියි," 4 Day Week Global හි ප්‍රධාන විධායක නිලධාරී කැරන් ලෝ පවසයි.

ඇයගේ සංවිධානය ලොව පුරා සමාගම්වලට එනම් බ්‍රසීලයේ සිට නැමීබියාව දක්වා සහ ජර්මනිය දක්වා සතියට දින හතරක ආකෘතිය පරීක්ෂා කිරීමට උපකාර කරයි.

ඇයගේ විශාලතම සාර්ථක අත්හදා බැලීම්වලින් එකක් වන්නේ කොලරාඩෝහි ගෝල්ඩන් නගරයේ කාර්ය මණ්ඩලය 250කින් යුත් පොලිස් දෙපාර්තමේන්තුවකි. එහි දින හතරක වැඩ සතියක් හඳුන්වා දීමෙන් පසු, අතිකාල වියදම් 80% කින් පමණ අඩු වී ඇති අතර ඉල්ලා අස්වීම් අඩකින් අඩු වී ඇත.

"මුර සංචාරයේ යෙදෙන නිලධාරීන් සමග, ඒ කියන්නේ හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දක්වන පොලිස් දෙපාර්තමේන්තුවකට ඒක වැඩ කරනවා නම්... ඒක හැම තැනකට ම වැඩ කරන්න පුළුවන්, ලෝ පවසයි.

"අපි 2019දී පළමු අත්හදා බැලීම ආරම්භ කරද්දී, උනන්දුවක් දැක්වූයේ සමාගම් අතළොස්සක් පමණයි. දැන් දහස් ගණනක් ඉන්නවා."

"සාක්ෂි තියෙනවා. නැති වෙලා තිබුණ දේ තමයි අවබෝධය."

079c8d50 7463 11f0 a20f 3b86f375586a.jpg

 

කෙටි සතියක් යනු අඩු ඵලදායිතාව ඇති සතියක් බවට පොදු වැරදි මතයක් පවතින්නේ යැයි ලෝව් පවසයි. ඇත්ත වශයෙන් ම, ඊට ප්‍රතිවිරුද්ධ දෙය බොහෝ විට සත්‍ය බව ඇය තර්ක කරයි.

2019දී ජපානයේ මයික්‍රොසොෆ්ට් ශාඛාව සතියට දින හතරක් රාජකාරි කිරීම අත්හදා බැලූ අතර, එම කාලය තුළ පෙර වසරට සාපේක්ෂව එක් සේවකයෙකුගේ විකුණුම් 40%කින් ඉහළ ගියේ ය. කෙසේ වෙතත්, සමාගම මෙම වෙනස ස්ථිර වශයෙන් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළේ ය.

විශාල සමාගම්වලට විවිධ අංශ විශාල ගණනක් ඇති අතර විවිධ රටවල් සහ කාල කලාප හරහා ඒවා ක්‍රියාත්මක වන බැවින්, ඔවුන් වඩාත් සංකීර්ණත්වයකට මුහුණ දෙන බව ලෝව් පවසයි.

මහාචාර්ය ෆෑන්ගේ අධ්‍යයනයේදී අනාවරණය වූයේ, ඵලදායිතාව බොහෝ දුරට පවත්වා ගෙන යාමට හේතු වූයේ සමාගම් අඩු වටිනාකමක් ඇති කාර්යයන් අඩු කිරීම හේතුවෙනි. අනවශ්‍ය රැස්වීම් දුරකතන ඇමතුම් හෝ පණිවිඩ සීමා කෙරිණි.

තවත් වැරදි මතයක් වන්නේ, නිවාඩු දිනයක් සඳහා ඊට හිලව් වීමක් ලෙස සේවකයින්ට අමතර මහන්සියක් යොදා වැඩ කිරීමට සිදුවීම බව ලෝව් පවසයි.

"දින පහක් හතරකට මිරිකලා දාන එක නෙවෙයි වැඩේ - නාස්තිය කපා හරින එක," ඇය පවසයි. "කෘත්‍රිම බුද්ධිය මගින් දැන් බොහෝ කාර්යයන් ස්වයංක්‍රීය කිරීමත් සමග, අපට එම අකාර්යක්ෂමතා වඩාත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්."

 

සාර්ථක මැදිහත්වීමක්

 

559197a0 7461 11f0 a20f 3b86f375586a.jpgචාල් ඩේවිඩ්ස් පවසන්නේ සතියකට දින හතරක් පමණක් වැඩ කිරීමට මාරුවීම ඔහුගේ කණ්ඩායමට තීරණාත්මක ලෙස සහයක් වූ බව ත් එහි ප්‍රතිඵල අතිවිශිෂ්ට බවත් ය

 

කේප්ටවුන්හි ස්ටෙලන්බොෂ් විශ්වවිද්‍යාලයේ උපදේශන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ චාල් ඩේවිඩ්ස්ට අනුව, සතියට දින හතරක් පමණක් වැඩ කිරීම රැකියා ස්ථානයේ වෙනස් කිරීමක් පමණක් නොව එය ගැලවුමකි.

ඔහුගේ කණ්ඩායම සිසුන් 30,000කට වැඩි පිරිසකට මානසික සෞඛ්‍ය සහය ලබා දෙයි. වෙනසට පෙර, කාර්ය මණ්ඩලය වෙහෙසට පත්ව සිටි බව ඔහු පවසයි.

"දිනපතා පැමිණෙන එකේ ලොකු අඩුවක් තිබුණා. ගොඩක් වෙලාවට කතා කරලා කියනවා ලෙඩ වෙලා කියලා. ඒ එයාලා කම්මැලි නිසා නෙවෙයි. මොකද එයාලා හිටියේ මානසිකව වගේ ම ශාරීරිකවත් වෙහෙසට පත් වෙලා හිටිය නිසා. කිසි ම ශක්තියක් එයාලා ඇතුළේ තිබුණේ නැහැ," ඔහු පවසයි.

ලෝකයේ මානසිකව පීඩා වැඩි රටවල් අතර දකුණු අප්‍රිකාව ඉහළින් සිටියි.

චාල්ගේ 56 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරන්තරයෙන් කම්පනයට නිරාවරණය වීම, අධික රෝගීන් සංඛ්‍යාවක් සමග වැඩ කිරීම සහ සම්පත් හිඟය හේතුවෙන් චිත්තවේගීය වශයෙන් දුර්වල වී සිටියහ.

ජ්‍යෙෂ්ඨ නායකත්වයේ විරුද්ධත්වය මෙන් ම තම කණ්ඩායමේ ඇතැමුන් මතු කළ සැකයන් නොතකා, ඔහු සතියට දින හතරක් පමණක් රාජකාරී කිරීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ය.

"ඒක කවදාවත් වැඩ කරන එකක් නැහැ කියලා එයාලා හිතුවා. නමුත් ඒක වැඩ කළා, ප්‍රතිඵල අතිවිශිෂ්ටයි," ඔහු පවසයි.

මෙම අත්හදා බැලීමට පෙර වසර තුළ, කණ්ඩායම අසනීප නිවාඩු 51ක් වාර්තා කළහ. දින හතරේ වැඩ සතිය ක්‍රියාත්මක වූ මාස හය තුළ එය හතර දක්වා පහත වැටිණි.

කාර්ය මණ්ඩලය වාර්තා කළේ, ඉන් වඩා හොඳ නින්දක්, වැඩි ව්‍යායාමයක් සහ විනෝදාංශවල නියැලීමට අවස්ථාවක් ලැබුණු බව ය. "ගෙදර වැඩවලට මහන්සි වෙනවා වෙනුවට එයාලා සති අන්තය පවුලේ අය එක්ක ගත කළා," චාල් පවසයි.

"මම හිතුවේ ගොඩක් අය අමතර කාලය යොදාගෙන පෞද්ගලික වැඩ කරලා අමතර මුදලක් උපයනවා කියලා - නමුත් එහෙම කළේ එක් කෙනෙක් විතරයි."

තම සේවකයින්ගේ වැඩිදියුණු වූ යහපැවැත්ම ඔවුන්ගේ රැකියා කටයුතු වඩා හොඳින් සිදු කිරීමට හේතු වූ බව චාල් විශ්වාස කරයි.

"ඔවුන් වඩාත් අවධානයෙන් වගේ ම අනෙක් අය ගැන හොඳ අවබෝධයකින් වැඩ කළා. ඒක ඇත්තට ම සිසුන්ට වඩා හොඳ සැලකිල්ලක් දැක්වීමක් බවට පරිවර්තනය වුණා."

 

සෑම තැනකට ම ගැලපෙන විසඳුමක් ද?

එසේ වුව ද, මෙවැනි වෙනසක් සෑම තැනක ම කළ නොහැකි ය.

"රටක කාර්මික සැකැස්ම සහ එහි සංවර්ධන අවධිය වැදගත් වෙනවා," මහාචාර්ය වෙන් ෆෑන් පවසයි.

"අප්‍රිකාවේ, බොහෝ කම්කරුවන් කෘෂිකර්මාන්තයේ, පතල් කැණීම්වල හෝ අවිධිමත් අංශවල රැකියාවේ නිරත වෙන්නේ," කැරන් ලෝව් තවදුරටත් පවසයි. ඔවුන් ශ්‍රම නම්‍යශීලීභාවය පිළිබඳ සංවාදයක ළඟ පාතකවත් නැහැ."

අඩු කුසලතා සහිත, කායික ශ්‍රමය වගුරා කෙරෙන රැකියා ප්‍රතිව්‍යුහගත කිරීම දුෂ්කර වන අතර, එම අංශවල සේවා යෝජකයින් බොහෝ විට කාලසටහන් ගැන නැවත සිතා බැලීමට වඩා ලාභය උපරිම කිරීමට උත්සහ කරන බව ලෝව් පවසයි.

නමුත් යම් ප්‍රගතියක් දක්නට ලැබේ.

මහාචාර්ය ෆෑන්ගේ අධ්‍යයනයට ඉදිකිරීම්, නිෂ්පාදන සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සමාගම් ඇතුළත් වූ අතර ඒවායින් ඇතැම් සමාගම් සාර්ථකත්වයන් වාර්තා කළේ ය.

"ඒක විවිධ අංශවලට සාර්ථක ලෙස වැඩ කරන්න පුළුවන් වුණත්, දින හතරේ සතිය කෝකටත් තෛලයක් ලෙස ඉදිරිපත් කරන්න මම කැමති නැහැ," ඇය පවසයි. "ඒක හැම තැනට ම ගැලපෙන විසඳුමක් නෙවෙයි."

 

වෙනසකට මඟ කියන තරුණ පරම්පරාවන්

 

1aad0f30 746a 11f0 a20f 3b86f375586a.jpg

 

මෙම වෙනස පිටුපස ඇති විශාලතම බලවේගය තරුණ පරම්පරාවෙන් ලැබෙන බව විශේෂඥයෝ එකඟ වෙති.

2025 ගෝලීය සමීක්ෂණයකින් හෙළි වූයේ, පළමු වරට රැකියා-ජීවිත සමතුලිතතාවට, වැටුප අභිබවා වැදගත් තැනක් හිමිවන බව ය.

දකුණු කොරියාවේ බොහෝ තරුණ සේවකයින් පවසන්නේ කෙටි සතියක් සඳහා වැටුප් කප්පාදුවක් සිදු කිරීම ඔවුන්ට ගැටලුවක් නොවන බව ය.

"තරුණ පරම්පරාවන් අතර වර්ධනය වන ප්‍රතිරෝධය අපට පෙනෙනවා," මහාචාර්ය ෆෑන් පවසයි. "ඔවුන්ට රැකියාවේ අරමුණ ගැන සහ ජීවිතයෙන් ඔවුන්ට අවශ්‍ය දේ ගැන මූලික වශයෙන් වෙනස් අදහසක් තියෙන්නේ."

සමූහ ලෙස ඉල්ලා අස්වීම (වසංගතයෙන් පසු), නිහඬව ඉවත්වීම (රැකියාවේදී අවශ්‍ය දේ පමණක් කිරීම) සහ චීනයේ අධික වැඩ සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම වැනි ව්‍යාපාරවලින් පෙනී යන්නේ තරුණ සේවකයින් තම අතෘප්තිය ප්‍රකාශ කිරීමට සහ වෙහෙසකර රැකියා සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රම සොයමින් සිටින බව ය. කාලයත් සමග මෙම වෙනස සේවා ස්ථාන සම්මතයන් නැවත හැඩගැස්වීම සිදු කළ හැකි ය.

ජපානයේ, හිරෝෂි ඔනෝ දැනටමත් යම් වෙනසක් සිදුව ඇති බව නිරීක්ෂණය කරයි.

"ජපන් පිරිමින්ගෙන් සියයට තිහක් දැන් පීතෘ නිවාඩු ලබා ගන්නවා - කලින් ඒක බිංදුවට ආසන්න ගණනක තිබුණේ," ඔහු පවසයි. "මිනිස්සු තමන්ගේ යහපැවැත්මට වැඩි ප්‍රමුඛත්වයක් දෙන බව ඒකෙන් පේනවා."

කැරන් ලෝව් ඊට එකඟ වෙයි. "පළමු වතාවට, සේවකයින් ඇත්තට ම විරුද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේ ම ඔවුන් තරුණ වන තරමට, ඔවුන් වෙනසක් ඉල්ලා සිටිනවා."

එය ගොඩනැගෙමින් පවතින බවට ඇය විශ්වාස කරයි.

"කොවිඩ් තමයි මුල් ම හැරවුම් ලක්ෂය අපිට ලබා දුන්නේ. ඊළඟ එක සතියට දින හතරක් වැඩ කරන එක වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා."

 

කර්තෘ - සොෆියා බෙටීසා (බීබීසී ලෝක සේවය)

මෙම ලිපිය BBC News සිංහල ඇසුරිනි උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom