lan englan tam

ඇමෙරිකාවේ පුද්ගලයෙකුගෙන් හමුවූ මාංශ භක්ෂක පණුවා ගැන හෙළිවන තොරතුරු මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පළමු වරට ඇමෙරිකාවේ පුද්ගලයෙකු තුළ සිට නිව් වර්ල්ඩ් ස්කෲවර්ම්(New World screwworm) නමැති පණුවා හමුවූ බව එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඉකුත් ඉරිදා වාර්තා කරනු ලැබිය.

මාංශ භක්ෂක මෙම පරපෝෂිතයා හමුවී ඇත්තේ මධ්‍යම ඇමෙරිකාවේ එම ආසාදනය පැතිර ඇති රටක් වන එල් සැල්වදෝරයේ සිට නැවත එක්සත් ජනපදයට පැමිණි රෝගියෙකු තුළ සිට ය.

එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය ඒජන්සිය වන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) මගින් අගෝස්තු 4 වන දින‍යේදී මේ පිළිබඳව තහවුරු කළේ ය.

රෝගියා සුවය ලබා ඇති බවටත් රෝගය වෙනත් පුද්ගලයින්ට හෝ සතුන්ට ආසාදනය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට ත් ප්‍රාන්ත සෞඛ්‍ය නිලධාරීහු නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළහ.

 

නමුත් මෙම නිව් වර්ල්ඩ් ස්කෲවර්ම් (New World screwworm) පණුවා ගැන අප දන්නේ මොනවා ද? මිනිසුන්ට සහ සතුන්ට ආසාදනය වන්නේ කෙසේ ද?

 

'විනාශකාරී පළිබෝධ විශේෂයක්'

ea95f900 827f 11f0 856b cd8744058cb6.jpgස්කෲවර්ම් පණුවා පශු සම්පත්, සුරතල් සතුන්, වන සතුන්, ඉඳහිට පක්ෂීන් සහ කලාතුරකින් මිනිසුන්ට ආසාදනය විය හැකි ය

 

නිව් වර්ල්ඩ් ස්කෲවර්ම් (NWS, Cochliomyia hominivorax) යනු, විනාශකාරී පළිබෝධ විශේෂයක් බව පළිබෝධ සහ රෝගවලින් සතුන් සහ ශාක ආරක්ෂා කිරීම අරමුණු කරගත් එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක ආයතනයක් වන සත්ව හා ශාක සෞඛ්‍ය පරීක්ෂණ සේවා ආයතනය (Aphis) පවසනවා.

වැඩුණු ස්කෲවර්ම් මැස්සන් සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිතව හමුවන මැස්සෙකුගේ ප්‍රමාණයට සමාන ය (හෝ තරමක් විශාල ය). ඔවුන්ගේ තැඹිලි පැහැති ඇස්, ලෝහමය නිල් හෝ කොළ පැහැති ශරීරයක් සහ පිටුපස පෙදෙසේ අඳුරු ඉරි තුනක් දක්නට ලැබේ.

මෙම පණුවන් පශු සම්පත්, සුරතල් සතුන්, වන සතුන්, ඇතැම් විට කුරුල්ලන් සහ කලාතුරකින් මිනිසුන්ට ආසාදනය විය හැකි ය.

Aphis ආයතනය අවධාරණය කරන්නේ, NWS මැස්සාගේ කීටයන් සතෙකුගේ ශරීරයට ඇතුළු වූ විට, ඔවුන්ගෙන් බරපතළ හෝ ඇතැම් විට මාරාන්තික හානියක් සිදු වන බව ය.

මෙම පණුවන් කියුබාව, හෙයිටි, ඩොමිනිකානු ජනරජය සහ දකුණු ඇමෙරිකානු රටවලින් බහුලව හමුව තිබේ.

 

NWS පණුවන් සතුන්ට ආසාදනය වන්නේ කෙසේ ද?

ස්කෲවර්ම් පණුවන්ට එම නාමය ලැබී ඇත්තේ එම සතුන් සිය කීට අවධියේදී ආහාර ලබා ගන්නා ආකාරය එනම් එම කීටයින්, ඉස්කුරුප්පුවක් ලීයක් තුළට ඇතුළු වන්නාක් මෙන් තුවාල පසාරු කරගෙන ගොස් ඒවාට ඇතුළු වී පෝෂණය වන ආකාරය අනුව ය.

 

screwworm pමූලාශ්‍රය - රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC)

 

ස්කෲවර්ම් මැස්සන්ගේ ගැහැනු සත්තු අචලතාපී සතුන්ගේ තුවාල මත බිත්තර දමති.

බිත්තර පිපිරුණු විට ඉන් පිටතට පැමිණෙන කීටයන් සිය ගණනක් තම තියුණු මුඛය භාවිත කරමින් තුවාලය පසාරු කර මාංශ ආහාරයට ගැනීම සිදු කරති. නිවැරදිව ප්‍රතිකාර නොකළහොත් අවසානයේ ධාරක ජීවියා මරණයට පත් වීම සිදුවේ.

ස්කෲවර්ම් ගවයින්ට සහ වන සතුන්ට දරුණු ලෙස හානි කර විය හැකි නමුත් කලාතුරකින් මිනිසුන්ට ද ආසාදනය වේ.

පසුගිය වසරේ ඩොමිනිකානු ජනරජය වෙත සිදුකළ කෙටි සංචාරයකදී එම ආසාදනයට ගොදුරු වූ රෝගියෙකු සිය රෝග ලක්ෂණ පිළිබඳ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙත විස්තර කළේ ය.

"පැය කිහිපයක් යනකොට මගේ මූණ ඉදිමෙන්න ගත්තා. තොල් ඉදිමුණා. කතා කරන්නත් අමාරු උණා. මගේ මුලු මූණ ම පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා. මගේ නහයෙන් ලේ ගලන්න ගත්තා, නොනවත්වා ම. නාන කාමරයට යන්නවත් මට නැගිට ගන්න බැරි වුණා. ඒ නැගිටින හැම වෙලේ ම නහයෙන් ලේ එනවා," රෝගියා පැහැදිලි කළේය.

 

ස්කෲවර්ම් ආසාදනවලට ප්‍රතිකාර කරන්නේ කෙසේ ද?

විශේෂයෙන් විවෘත තුවාල සහිත පුද්ගලයින් මෙම ආසාදනයට ගොදුරු වීමේ අවදානම පවතී. එමෙන් ම ඔවුන් මෙම වසංගතය පවතින ප්‍රදේශවල සංචාරය කළහොත් හෝ රෝගය ආසාදිත ගොවිපළ සතුන් ආශ්‍රිතව ගැවසුණ හොත් ඒ සඳහා ගොදුරු වීමේ අවදානම ඉහළ ය.

ස්කෲවර්ම් ආසාදනවලට ප්‍රතිකාර කළ හැකි එක ම ක්‍රමය වන්නේ රෝගය ආසාදිත පටකවල සිටින කීටයන් ඉන් ඉවත් කිරීම සහ තුවාල හොඳින් විෂබීජහරණය කිරීම ය.

ප්‍රමාණවත් ලෙස කඩිනම් ප්‍රතිකාර කළහොත් ආසාදිතයා බේරා ගත හැකි ය.

 

මීට පෙර පැතිරීම් වාර්තා වූ අවස්ථා

 

788f4c80 827f 11f0 856b cd8744058cb6.jpgස්කෲවර්ම් පරපෝෂිතයාගේ ව්‍යාප්තිය ගැන ගව ගොවීහු කනස්සල්ලට පත්ව සිටිති

 

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව, 1933 වසරේදී ස්කෲවර්ම් ආසාදන එක්සත් ජනපදයේ නිරිතදිග සිට ගිනිකොනදිග දක්වා පැතිර ගොස් තිබේ. ඊට හේතු වූයේ රෝගය ආසාදිත සිටි සතුන් නැව්ගත කිරීමකිනි.

1934 වර්ෂය වන විට, මිසිසිපි, ඇලබාමා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, ජෝර්ජියා සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්තවල ගොවිපළ හිමිකරුවන් ආසාදන තත්ත්වයන් වාර්තා කළ බව දෙපාර්තමේන්තුව පවසයි.

1960 දශකයේදී එක්සත් ජනපදයෙන් ස්කෲවර්ම් තුරන් කරන ලදී. එහිදී පර්යේෂකයෝ නිසරු බිත්තර නිපදවීම සඳහා වන්ද්‍යකරණයට ලක් කළ ස්කෲවර්ම් පිරිමි මැස්සන් ගැහැනු මැස්සන් සමග සංසර්ගයේ ‍යෙදීම සඳහා මුදා හැරීම සිදු කළහ.

මෑතකාලීනව මෙහි ව්‍යාප්තියක් වාර්තා වූයේ 2023 වසරේ පැනමාවේදී ය. එතැන් සිට, ස්කෲවර්ම් පණුවන් මධ්‍යම ඇමෙරිකාවේ සිට සහ මෙක්සිකෝවේ සිට උතුරට පැතිර යමින් සිටියි.

ඉකුත් ජූලි මාසයේදී එක්සත් ජනපද දේශසීමාවේ සිට කිලෝමීටර් 595ක් දකුණින් වූ මෙක්සිකෝවෙන් ආසාදිතයෙකු වාර්තා විය. මීට පෙර නොවැම්බර් සහ මැයි මාසවලදී ආනයනය නැවැත්වීමෙන් පසුව, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි දකුණේ පිහිටි වරායන් හරහා සිදු කරන පශු සම්පත් වෙළෙඳාම නවතා දැමීමට නියෝග කෙරිණි.

එක්සත් ජනපදය සාමාන්‍යයෙන් සෑම වසරකදී ම මෙක්සිකෝවෙන් ගවයින් මිලියනයකට වඩා ආනයනය කරයි. එබැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුවලට අනුව, ස්කෲවර්ම් පැතිරීම ගව කර්මාන්තයට සම්බන්ධ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් බිලියන 100කට වඩා තර්ජනයක් ඇති කරමින් ඒ ඔස්සේ බරපතළ ආර්ථික ප්‍රතිවිපාක එල්ල කළ හැකියි.

මේ පිළිබඳව බලධාරීන් ප්‍රකාශ කරන්නේ දැනට මහජන සෞඛ්‍යයට ඇති අවදානම 'ඉතා අඩු' බවයි.

 

(මෙම ලිපිය BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom