lan englan tam

සොබාදහම සමග මිනිත්තු 20ක් ගත කිරීමෙන් ඔබේ සෞඛ්‍යයට ලැබෙන මේ ප්‍රතිලාභ ගැන දැන සිටියාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-බීබීසී (සිංහල)

උද්‍යානයක ඇවිදීමෙන් හෝ තුරු ගොමුවක ගමන් කිරීමෙන් පසු ඔබට වැඩි සන්සුන් බවක් දැනේ නම්, එය හුදෙක් ඔබේ පරිකල්පනය නොවේ, එය විද්‍යාවයි.

එළිමහනේ කාලය ගත කිරීම ආතති හෝමෝන මුදා හැරීම අඩු කිරීම, රුධිර පීඩනය සමතුලිත කිරීම සහ ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීම වැනි ශරීරය තුළ බොහෝ වෙනස්කම් ඇති කරයි.

මෙම ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා ඔබට පැය ගණනක් පුරා ඇවිද යාම අවශ්‍ය නොවේ. සොබාදහම සමග මිනිත්තු 20ක් ගත කිරීම පමණක් ඵලදායී විය හැකි ය.

මෙයින් අදහස් කරන්නේ දිවා ආහාරයෙන් පසු උද්‍යානයක ඇවිදීමට යාම සහ ඇතැම් විට බංකුවක වාඩි වී සැන්ඩ්විච් එකක රසවිඳීම පවා ඔබේ ශරීරයට සහ මනසට ප්‍රයෝජනවත් විය හැකි බව ය.

1. නොදැනුවත්ව ම සන්සුන් වීම

හරිත පැහැති ගස්, පයින් සුවඳ හෝ පත්‍ර සුළඟට සැලෙන හඬ සහ කුරුල්ලන්ගේ නද, ඔබේ ස්වයංසාධක ස්නායු පද්ධතිය, එනම් අනිච්ඡානුග ක්‍රියා පාලනය කරන ස්නායු පද්ධතිය, ඉක්මනින් ක්‍රියාකාරී කරයි.

ඔබ ආසන්නයේ පිහිටි ඕනෑ ම උද්‍යානයක ඇවිදීමෙන් ද ඔබට ප්‍රතිඵලය අත්කර ගත හැක.

"රුධිර පීඩනය අඩු වීම, හෘද ස්පන්දන වේගයේ විචල්‍යතාව සහ මන්දගාමී හෘද ස්පන්දනය වැනි ශරීරයේ වෙනස්කම් ගණනාවක් අපට දැකගන්න පුළුවන්, මේ සියල්ල ශරීරය සන්සුන් වීමේ ලක්ෂණ තමයි," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්වය පිළිබඳ මහාචාර්ය බැරොනස් කැතී විලිස්, බීබීසී රේඩියෝ 4හි 'What's Up Docs' පොඩ්කාස්ට් වැඩසටහනේදී පැවසීය.

එක්සත් රාජධානියේ පුද්ගලයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් සිදු කළ අධ්‍යයනයකින් සොයා ගැනුණේ, සතියකට අවම වශයෙන් මිනිත්තු 120ක් හරිත වර්ණ පරිසරයක ගත කළ පුද්ගලයින් ශාරීරිකව හා මානසිකව නිරෝගීව සිටීමට වැඩි ඉඩක් ඇති බව ය.

සොබාදහම සමග කාලය ගත කිරීමේ ප්‍රතිලාභ මැනවින් පැහැදිලි අතර මිනිසුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් සොබාදහම සමග සම්බන්ධ කරමින් බොහෝ ස්ථානවල "green social prescribing" වැඩසටහන් ආරම්භ කර තිබේ. මූලික ප්‍රතිඵල සතුට සහ සෞඛ්‍යය යන අංශ දෙකට ම ප්‍රතිලාභ ගෙන දෙන බව පැවසේ.

ස්වභාවධර්මය ශරීරයේ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය ද ශක්තිමත් කරයි

2. ඔබේ හෝමෝන සාමාන්‍ය මට්ටමට නැවත පැමිණීම

ඔබ සොබාදහම සමග කාලය ගත කරන විට, ඔබේ හෝමෝන පද්ධතිය ද මෙම ලිහිල් වීමේ ක්‍රියාවලියේ කොටසක් බවට පත්වේ.

මහාචාර්ය විලීස් පැහැදිලි කරන්නේ එළිමහනේ කාලය ගත කිරීම ශරීරයේ අන්තරාසර්ග පද්ධතිය සක්‍රීය කරන අතර ආතති හෝමෝන වන කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් මට්ටම අඩු කරන බව ය.

ජපන් සයිප්‍රස් (හිනෝකි) තෙල් සුවඳ සමග අඛණ්ඩව දින තුනක කාලයල් හෝටල් කාමරයක රැඳී සිටි පුද්ගලයින්ගේ ඇඩ්‍රිනලින් හෝමෝන මට්ටම සැලකිය යුතු ලෙස අඩු වූ බව සහ රුධිරයේ ස්වාභාවික ඝාතක සෛල (natural killer cells) ගණන සැලකිය යුතු ලෙස වැඩි වූ බව අධ්‍යනයකින් සොයා ගෙන තිබේ.

මෙම ස්වාභාවික ඝාතක සෛල ශරීරය තුළ වෛරස්වලට එරෙහිව සටන් කරන සෛලවලට සමාන ඒවා වේ. අධ්‍යයනයෙන් සොයා ගැණුනේ, සුවඳට නිරාවරණය වීමෙන් පසු මෙම සෛල මට්ටම් සති දෙකක් දක්වා ඉහළ මට්ටමක පවතින බව ය.

"සොබාදහම අපගේ නිදහස අවශ්‍ය කොටස් සන්සුන් කරන අතර ශක්තිය අවශ්‍ය කොටස් ශක්තිමත් කරනවා," ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මින්ග් කුඕ පවසයි.

සොබාදහම සමග ගත කරන දින තුනක සති අන්තයක් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රබල බලපෑමක් ඇති කරන අතර, මාසයකට පසුව පවා එය සාමාන්‍යය තත්ත්වයට වඩා 24%ක් පමණ ක්‍රියාකාරීව පවතින බව ත් ඔහු පවසයි.

කෙටි කාලයක් වුවද සොබාදහම සමග කාලය ගත කිරීම කල්පවතින බලපෑම් ඇති කරන බව ද ඔහු පැවසීය.

 

3. සුවඳේ බලය

සොබාදහමේ සමග මුසු වී එන සුවඳ විඳීම එය දැකීම හෝ ඇසීම තරම් ම ප්‍රබල වේ.

ගස්වල සහ පසෙහි අඩංගු සුවඳෙහි ශාකවලින් නිකුත් වන විවිධ කාබනික සංයෝග අඩංගු වන අතර, ඔබ ඒවා ආශ්වාස කරන විට ඒවායේ ඇතැම් අණු ඔබේ රුධිර සැපයුම වෙත ඍජුව ළඟා වේ.

විලීස් පවසන්නේ පයින් හොඳ උදාහරණයක් බව ය. "පයින් වනාන්තරයක සුවඳට තත්පර 90කින් ඔබව සන්සුන් කරන්න පුළුවන් සහ එහි බලපෑම මිනිත්තු 10ක් පමණ පවතිනවා" ඇය පැවසුවා ය.

මෙම සැහැල්ලුභාවය හුදෙක් මානසිකව බව ඔබට සිතිය හැකි නමුත් අධ්‍යයනයකින් සොයා ගැණුනේ කිසිදු සුවඳක් මතකයේ නොමැති ඉතා කුඩා වයසේ පසුවන දරුවන් පවා කාමරයේ 'ලිමනීන්' නම් සෞම්‍ය සුවඳ පැතිර ගිය විට සන්සුන් වූ බව ය.

 

569116f0 a5dd 11f0 965a d710a4841bd9.jpgපස ස්පර්ශ කිරීමෙන් ඔබේ ශරීරයට යහපත් බැක්ටීරියා ලබා ගත හැකි ය

 

4. හිතකර බැක්ටීරියා ශරීරයට ඇතුළු වේ

සොබාදහම මනස සන්සුන් කරනවා පමණක් නොව ශරීරයේ සිටින ක්ෂුද්‍රජීවීන් ද ශක්තිමත් කරයි. පසෙහි සහ ශාකවල සිටින හිතකර බැක්ටීරියා අපගේ ශරීරවලට ප්‍රයෝජනවත් වේ.

"මේවා අපි ප්‍රෝබයෝටික් ඖෂධ හෝ පාන වර්ග සඳහා මුදල් වියදම් කරලා ගන්න හිතකර බැක්ටීරියා," විලීස් පවසයි.

මහාචාර්ය මින්ග් කුඕ විසින් ආසාදනවලට ලක්වීමේ නැඹුරුතාව සහ මානසික සෞඛ්‍යයට ඒවායේ ඇති බලපෑම අධ්‍යයනය කරනු ලැබ ඇත. ඔහු යෝජනා කරන්නේ, ඇතැම් ස්වාභාවික බැක්ටීරියා ආශ්වාස කිරීමෙන් මනෝභාවය වැඩි දියුණු කළ හැකි බව ය. ෆයිටොන්සයිඩ් ලෙස හඳුන්වන ශාකවලින් නිකුත් කෙරෙන ක්ෂුද්‍රජීවී නාශක රසායනික ද්‍රව්‍ය, රෝගවලට එරෙහිව සටන් කිරීමට උපකාරී විය හැකි ය.

"සොබාදහම කිනන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරන පරිසරයක්," ආසාදන පිළිබඳ විද්‍යාඥ ආචාර්ය ක්‍රිස් වැන් ටල්කන්ස් පවසයි.

ඔවුන් ඔවුන්ගේ දරුවන්ට වනාන්තරයේ මඩ සමග සෙල්ලම් කිරීමට ඉඩ සලසන අතර එවිට මෙම මඩ අංශු ඔවුන්ගේ නාසය හෝ මුඛය හරහා ඔවුන්ගේ ශරීරයට ඇතුළු විය හැකි ය.

 

8bf99330 a5dd 11f0 965a d710a4841bd9.jpgඔබේ ලැප්ටොප් පරිගණකයේ සොබාදහමට සම්බන්ධ screensaver එකක් තිබීම පවා ඔබව සන්සුන් කිරීමට උපකාරී වේ

 

සොබාදහම ඔබ වෙත ගෙන එන්න

ඔබ සැමවිට ම එළිමහනට යා යුතු නැත.

විලීස් පවසන්නේ නිවස තුළ ඇති යම් තරමකින් හෝ ස්වභාවික පරිසරයක් ඇති කර ගැනීම පවා බලපෑමක් ඇති කළ හැකි බව ය.

සුදු හෝ කහ රෝස මල් වැනි මල් මොළයේ ක්‍රියාකාරිත්වයට වඩාත් සැනසිලිදායක බලපෑමක් ඇති කරන බවට සොයාගෙන තිබේ.

සුවඳ පවත්වා ගැනීම සඳහා පිනීන් වැනි ස්වභාවික තෙල් සහිත විසරණයක් භාවිත කිරීමෙන් මනස සන්සුන් කිරීමට උපකාරී වේ.

මෙය කළ නොහැකි නම්, වනාන්තරවල හෝ තුරුලියවලින් සමන්විත පින්තූර දෙස බැලීම ද උපකාරී වේ.

පර්යේෂණයක් මගින් පෙන්වා දෙන්නේ, පරිගණක තිරයක් මත ඇති සොබාදහමට සම්බන්ධ පින්තූර දෙස බැලීම හෝ කොළ පැහැති දර්ශනයක් දෙස දෙස බලා සිටීම මගින් මොළය තුළ එවැනි සන්සුන් තරංග නිපදවා ආතතිය අඩු කළ හැකි බව ය.

"සොබාදහමේ සෑම කුඩා අංශුවක් ම ප්‍රයෝජනවත් වෙනවා," මහාචාර්ය මින්ග් කුඕ පවසයි.

 

කර්තෘ - යැස්මින් රූෆෝ ( බීබිසී. පුවත්)

(මෙම ලිපිය බීබීසී (සිංහල) වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

shungara

Back to top
Go to bottom