lan englan tam

ජලගැලීම් වලින් පසු ව්‍යාප්ත වන මී උණ - පාචනය ආදී රෝග වලින් වැළකී සිටින්නේ කෙසේද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බීබීසී (සිංහල)

දරුණු ආපදා තත්ත්වයකට පසු ඇති වන සෞඛ්‍යමය බලපෑම් කෙරෙහි ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

ඔවුන් අනතුරු අඟවන්නේ, එම කාලය තුල පූර්ව ආරක්ෂාව සඳහා පියවර නොගන්නේ නම් ඉන් පසු උදාවන කාලය තුළ වසංගත තත්ත්ව පවා ඇති වීමේ අවදානමක් පවතින බව ය.

ජලගැලීම් වැනි ආපදා තත්ත්වයකට පසු විශේෂයෙන්, මී උණ, පාචනය, චර්ම රෝග සහ ශ්වසන ආබාධ ආදී රෝග වැළඳීම පමණක් නොව අනතුරු සහ මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු පවා ඇති වීමට වැඩි ඉඩක් ඇති බව ඔවුහු පවසති.

මෙම ලිපියේ අරමුණ එවැනි රෝගාබාධ සහ අනතුරුවලින් වැළකීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම ය.

ආපදාවට ලක්ව සිටින ඔබට මේ මොහොතේ සෞඛ්‍යය සම්බන්ධ වැඩිදුර උපදෙස් අවශ්‍ය නම්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ස්ථාපනය කරනු ලැබ ඇති, 0777 119900 යන දුරකතන අංකය ඇමතීමෙන් විශේෂඥ වෛද්‍යවරුන් 76 දෙනෙකුගෙන් පමණ සමන්විත වෛද්‍ය කණ්ඩායමක සහය ලබා ගත හැකි ය.

 

බෝ වන රෝග

පාචනය

අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර හේතුවෙන් පාචනය වැළඳෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පැවසුවා ය.

ඇය පෙන්වා දුන්නේ, ගංවතුර තත්ත්වයකදී අපද්‍රව්‍ය එකතු වී ජල මූලාශ්‍ර අපිරිසිදු වන බවත් එවැනි තත්ත්ව යටතේ පාචනය වැළඳීමට වැඩි ඉඩක් ඇත බවත් ය.

ඒ හේතුවෙන් පානයට ගන්නා ජලය අවම වශයෙන් මිනිත්තුවක කාලයක් පමණ නටන තෙක් උණු කර නිවා පානය කිරීම සුදුසු බව ඇය පැහැදිලි කළා ය. බෝතල් කළ ජලය භාවිතය ද සෞඛ්‍යාරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

ආහාර පිළියෙළ කිරීමට පෙර දෑත් සබන් යොදා හොඳින් පිරිසිදු කිරීමත් ආහාර පිසින භාජන හොඳින් පිරිසිදු කර භාවිතයට ගැනීමත් ඉතා වැදගත් බව ඇය පැවසුවා ය.

"අපිට පරිත්‍යාගශීලීන්ගෙන් ආහාර පැකට්ටුවක් ලැබුණා නම්, ඒක ඒ අවස්ථාවේදී ම අනුභව කරන්න ඕන," යැයි ඇය සඳහන් කළේ, "අමු ආහාර" ලබා නොගෙන ආපදා තත්ත්වවලදී හොඳින් පිසූ ආහාර ලබා ගැනීම වාඩාත් සෞඛ්‍යාරක්ෂිත බව ද සඳහන් කරමිනි. එමෙන් ම පිසූ ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම ද වැදගත් බව ඇය අවධාරණය කළා ය.

 

මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්)

මීයන්ගේ හෝ ගවයින්ගේ මුත්‍රාවලින් මී උණ බෝ වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි සඳහන් කළා ය.

ගංවතුරට ගොදුරු වූ පුද්ගලයින්, ගංවතුර ආධාර සැපයීමට ඉදිරිපත් වූ පුද්ගලයින්, ගංවතුර අතරතුර වගා කටයුතුවල නිරත වූවන්, ගංවතුර හෝ මල සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම් කළ පුද්ගලයින්, ගංවතුර බැස ගිය පසු ළිං, කාණු පද්ධති හෝ කසළ පිරිසිදු කළ පුද්ගලයින් මෙන් ම පාදවල හෝ කකුල්වල කැපුම් තුවාල හෝ සීරීම් තුවාල තිබියදී තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුණු පුද්ගලයෝ මී උණ වැළඳීමේ අවදානම් කණ්ඩායම් අතර සිටිති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, හිසරදය, තද උණ, රතු පැහැ ගැන්වුණු ඇස්, හම හෝ ඇස් කහපාට වීම සහ පාද හෝ මස්පිඩුවල අධික වේදනාවක් ඇති වීම මී උණවල මූලික රෝග ලක්ෂණ විය හැකි බව ය.

කෙසේ වෙතත්, ප්‍රතිකාර සඳහා යොමු වීමකින් තොරව සංකූලතා පැමිණෙන තුරු සිටීම ජීවිත අවදානම වැඩි කරන බව සභාපතිවරිය පැවසීය.

"මී උණ වැළැක්වීමට ඇති ප්‍රධාන නිවාරණ ක්‍රමය තමයි 'doxycycline' කියන ඖෂධය ගන්න එක," ඇය පැවසුවා ය.

ඒ සඳහා එම ඖෂධය මිලිග්‍රෑම් 200ක මාත්‍රාවක් එක් වරක් ගැනීම ප්‍රමාණවත් බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් එම ඖෂධය ලබා ගත හැකි ය.

කෙසේ වෙතත්, ගර්භණී මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සහ අසාත්මිකතා ඇති පුද්ගලයින්ට එම ඖෂධය නිර්දේශ නොකරන බව ඇය පැවසුවා ය.

එම ඖෂධය වෙනුවට ගර්භණී මව්වරුන් සඳහා 'azithromycin' මිලිග්‍රෑම් 250 - 500 අතර මාත්‍රාවක් දිනකට එක බැගින් දින තුනක් සඳහා නිර්දේශ කරන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය සනත් අක්මීමන පැවසීය.

 

කර්තෘ - තාරක සම්මාන්

මෙම ලිපිය බීබීසී (සිංහල) වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී

 

kemadasa

shungara

Back to top
Go to bottom