අපි හැමෝම අපේ ජීවිතවලට ආදරෙයි. ඒ නිසා අපේ ජීවිතය හා අප ආදරය කරන අනෙක් අයගේ ජීවිත රකින්න ගන්න පුළුවන් පියවර අපි ගන්නවා. නමුත් කිසි කෙනෙකු අහේතුකව තමන්ගේ ජීවිතයට හානිකර දෙයක් කර ගන්නේ නැහැ.
මේ දිනවල 'මාරාන්තික' යැයි පවසන නව කොරෝනා වෛරසය නොහොත් 2019-nCoV වෛරසය නිසා ලොව පුරා විශාල බියක් මතුව තිබෙනවා. මෙම බිය ශ්‍රී ලංකාව තුළද වැඩියෙන් මතුවන්නට පටන් ගත්තේ 2020 ජනවාරි 27 වන දින රාත්‍රියේ නව කොරෝනා වෛරසය නොහොත් 2019-nCoV වෛරසය ආසාදනය වුන පළමු ආසාදිතය රෝගියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමඟයි. ඇය චීන ජාතික කාන්තාවක්.
කොරෝනා යනු වෛරස් කාණ්ඩයකි. එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සිට නිවුමෝනියා තත්ත්වයේ, සාර්ස් (SARS), මර්ස් (MERS) වැනි බරපතල රෝග තත්ත්වයන්ට ද හේතු වෙනවා. මෑතදී චීනයෙන් සොයා ගත් මෙම නව කොරෝනා වෛරසය නොහොත් 2019-nCoV වෛරසය බරපතල රෝග තත්ත්වයන් ඇති කරනවා වුව ද, පෙර පැවති සාර්ස් (SARS) රෝග තත්ත්වයට වඩා අඩු බරපතල මට්ටමක් ඇති බව ලෝකයේ සාර්ස් (SARS) වෛරසය මැඩලීමට පර්යේෂණය සිදු කළ ශ්‍රී ලංකා ජාතික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් පවසනවා. තව ද මෙම වෛරසය ශරීරගත වී දින 10ක් වැනි කාලයක පවා රෝග ලක්ෂණ පෙන්නුම් කළ නොහැකි බව ද සොයා ගෙන තිබෙනවා. එමනිසා වෛරසය පැතිරීම වේගවත් බවයි කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ පවසන්නේ. එමනිසා රෝගය ආසාදනය වීම පැතිරීම අවම කිරීමට ක්‍රියා මාර්ග ගැනීම සුදුසු බව ඔහු පවසනවා. (කොරෝනා වෛරසය ආසාදනය වීම පැතිරවීම අවම කර ගැනීමට අප පළ කළ ඇල්බමයේ ලින්කුව පහළින්)
කෙසේ වෙතත් වෛරසය පිලිබඳ හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කිසිඳු දෙයක් නොදැන අනියත බියක් ඇති කර ගැනීමෙන් බරපතලව සිදු විය හැකි ව්‍යසනය වන්නේ 'ආසාදිත යැයි සැක කරන' පුද්ගලයන් ' හා සම්බන්ධයක් ඇති යැයි සැක කරන හෝ දෘශ්‍ය පුද්ගලයන් කොන් කිරීමයි. උදාහරණයක් ලෙස එච්අයිවී වෛරසය පිලිබඳ තවමත් පවතින අනියත බිය නිසා තවමත් සිදුවන කොන් කොට සැළකීම් ගන්නට පුළුවන්. එච්අයිවී වෛරසය හා එහි ක්‍රියාකාරීත්වය පිලිබඳ ශ්‍රී ලාංකිකයන්ට තවමත් ඇත්තේ ඉතා අල්ප දැනුමක්. ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් ද වග කිව යුතු වෙනවා. මෙම අනියත බිය නිසා එච්අයිවී වෛරසය ආසාදනය නොවූ පුද්ගලයන්ද තවමත් 'කොන් කොට සැලකීමට' ලක් වෙනවා. (ලින්කුව පහළින්) ඒ හේතුවෙන්ම මනුෂ්‍යත්වය ගිලිහෙන ක්‍රියා රැසක් මිනිසුන් අතින් සිදු වෙනවා.
මේ අවස්ථාවේ නව කොරෝනා වෛරසය සොයා ගත්තේ චීනයෙන් බැවින් 'චීන ජාතිකයින්' පිලිබඳ යම් කිසි බියක් හා කොන් කොට සැළකීමක් ශ්‍රී ලාංකිකයන්ට ඇති වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ ලංකාව තුළ චීන ශ්‍රමිකයන් විශාල පිරිසක් සේවය කරන අතර චීන ජාතිකයන් විශාල පිරිසක් මෙරටෙහි සංචාරය කරන බැවින්. තවද චීනයේ ඉගෙනුම් කටයුතු සිදු කරමින් සිටි ශිෂ්‍ය ශියාවන් රැසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එමනිසා කාලයත් සමඟම මෙම මිනිසුන් අනෙකුන් අතින් 'කොන් වීමකට' ලක් වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහලයි. එච්අයිවී වෛරසය ආසාදනය වන්නේ කෙසේ ද කියා දන්නා මිනිසුන්ද නිකරුනේ එච්අයිවී ආසාදිතයින් කොන් කරන තත්ත්වයක, නව කොරෝනා වෛරසය ආසාදිත නොවුන පුද්ගලයින් ද කොන් කිරීමකට ලක් වන්නට පුළුවන්. මේ මොහාතේ මහජනයා නිසි ලෙස විශාල වශයෙන් මුද්‍රිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය භාවිතයෙන් දැනුවත් කිරීමට, රජයට හා සෞඛ්‍ය බලධාරීන්ට වගකීමක් තිබෙනවා. එය හුදෙක් මාධ්‍ය සාකච්ඡාවක්' පැවැත්වීමට වඩා විය යුතු වෙනවා.
ඕනෑම වෛරසයක් ආසාදනය වන්නේ කෙසේ ද කියා දැන ගැනීම ඉතා වැදගත් වෙන අතරම ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ. තමන් ආරක්ෂාකාරී නම්, ඔබට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වන්නට පුලුවන්. අනෙක් මිනිසුන් කොන් කළ සැනින් ඔබ සෞඛ්යාරක්ෂිත වන්නේ නැහැ. කිසිම කෙනෙක් වුවවමනාවෙන් මෙම වෛරස ශරීර ගත කර ගන්නේ නැහැ. එම නිසා දැනුවත් වෙන්න. අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න. සෞඛ්යාරක්ෂිත වන්න. කොන් නොකරන්න. මනුස්සකම රැක ගන්න.
නොදැනුවත් බවට ඔබේ මනුස්සකම නැති කරන්නට ඉඩ දෙන්න එපා.
උපුටා ගැන්ම : දේදුනු සංවාද
2020 ජනවාරි 29
වැදගත් මුලාශ්‍ර -
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (ඉංග්‍රීසි)
නව කොරෝනා වෛරසය පිලිබඳ වෙබ් පිටුව (ඉංග්‍රීසි) - https://www.who.int/emergen…/diseases/novel-coronavirus-2019
නව කොරෝනා වෛරසය පිලිබඳ දැනුවත් වෙන්න (වීඩියෝ ඉංග්‍රීසි) - https://openwho.org/courses/introduction-to-ncov
මහාචාර්ය මලික් පීරිස් - https://www.who.int/immunization/sage/members/bio_peiris/en/