සිනමාව විනෝද මාධ්‍යයක් ලෙසත් එය ව්‍යාපාරයකින් වෙන් නොකළ හැකි නිර්මාණයක් ලෙසත් අප කියවා ඇත. එසේම එය බොහෝ දෙනාගේ පිළිගැනීමයි. බයිස්කෝප් එකක් බැලීමට යනවා යැයි අපේම මුල්කාලීන ජනතාව ප්‍රකාශ කළේම වැඩවලින් හෙම්බත් වූ විටෙක තරමක විවේකයක්, විනෝදයක් සඳහාම චිත්‍රපටයක් බැලීමට යාම එහි එක් අරමුණක් බව පසක් කිරීමක්ද වශයෙනි.
ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය මිනිසුන් එකිනෙකා වශයෙන් නරඹන්නේ ඔවුන්ගේ විවිධ රසඥතාව පෙරදැරි කරගෙනය. මා මේ නිර්මාණය දකින්නේ කර්තෘවාදී විචාරය Authorial criticism පාදක කර ගනිමිනි. එනම්, “…relating to the author of something such as a book,a play…” මේ අර්ථ දැක්වීමට අනුව අප ගත යුත්තේ අධ්‍යක්ෂවරයාට සමීප හෝ සම්බන්ධ වූවක් නොව, ඔහුගේ නිර්මාණකරණයේ අනන්‍යතාවයි. මේ විචාරය ප්‍රැංශුවා ටෲපෝ, ජින් ලූක්, ගොඩාඩ් වැන්නන්ගේ අදහස් මූලිකව ගොඩනැඟුණු අතර, එහි මුඛ්‍යාර්ථය වන්නේ සිනමා නිර්මාණයේ සැබෑ උරුමකරු අධ්‍යක්ෂකවරයා වන අතර, ඔවුන් කැමරාව පෑනක් ලෙස භාවිත කළ යුතු අතර, එය නව නිර්මාණයක්ද විය යුතු බවයි. අපි අධ්‍යක්ෂවරයාගේ ඒ හැකියාව ඇත්දැයි විමසා බැලිය යුතුය.
ගෞතම බුද්ධ මාතාහි style ශෛලිය වාර්තා Documentary ශෛලියයි. කිසිවකුට එය ආඛ්‍යාන ශෛලිය Narrative යැයිද කිව හැකිය. ඇතැම් විට චිත්‍රපටයක මිශ්‍ර දෙමුහුන් ශෛලීය ලක්ෂණද දැකිය හැක්කේ සාහිත්‍ය මූලාශ්‍ර පාදක කර ගැනීමේදී මූලාශ්‍රවලදී මෙන්ම තිර රචනාවේදීද ප්‍රබන්ධ ආදේශ වන බැවිනි. ප්‍රජාපතී ගෝතමියගේ මෙහෙණවර පිළිබඳ යථාර්ථවාදී කියැවීම ශානරයේදීද දෙමුහුන් තෙමුහුන් වී ඇති බව හඳුනාගත හැකිය. එහිදී බෞද්ධ සාහිත්‍ය, ජාතක කථා දෑ විවිධ පර්යේෂණ මූලාශ්‍ර ගවේෂණයේදී ප්‍රජාපතී දේවියගේ ඒකායන අභිප්‍රාය ගෙනහැර දැක්වීමේදී සිදුහත් යශෝධරා ප්‍රේමය Romance වන අතර සුද්ධෝදන රජ පෙළපත අද පුවත් ඓතිහාසික බෞද්ධ තොරතුරු හා සමපාත වීම නිසා මෙය ශානර කීපයක මුසුවක් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව චිත්‍රපටය කියවා ගත යුත්තේ ප්‍රාථමික පාදක මූලාශ්‍ර ඔස්සේ සිනමා නිර්මාණය කෙසේ කර ඇත්දැයි යන්න විමසීමටය.
බොහෝ විට අපට සිදුහත් චරිතය තුළ නොඇසූ පුවත් ලෙස නාටිකාංගනාවන් අන්තඃපුර ස්ත්‍රීන් ලෙසත් ප්‍රජාපතී දේවිය වියපත් නොවන්නේ ඇයිදැයි යන්නත්, සිදුහත් යශෝධරා පෙම් පුවතක් ලෙසත් දැකීම පිළිබඳව බොහෝ දෙනෙකු කතා කරනවා ද දැක්කෙමි. නමුත් තිර රචකයා පාදක මූලාශ්‍ර ඔස්සේ නිර්මාණය කරන්නේ බෙහෙවින් පරෙස්සමෙනි.
ඒ අනුව කර්තෘවාදී විචාරය මීට එක් කරන අනෙකුත් සාධක වන්නේ අධ්‍යක්ෂවරයාගේ පිළිබිඹුව බිම්බා දේවිය හෙවත් යශෝධරා, උත්පලවන්නා, පත්තිනි, කදිරදිව්‍යරාජ, ක්‍රිස්තු චරිතය තුළින් තම අනන්‍යතාව දැනටමත් පසක් කර ඇති බැවිනි. එහිදී ජන විඥානයේ න්‍යෂ්ටියේ පවතින ඇදහීම හා වන්දනීය කතා හා චරිත තෝරාගෙන ඇත්තේ ඒ අනුව අධ්‍යක්ෂවරයා සිය කර්තෘවාදීත්වය සනාථ කරමිනි. කැමරාව පෑනක් ලෙස භාවිත කොට ඇත්දැයි තවත් විචාර සිද්ධාන්ත කීපයක් ඔස්සේ හඳුනාගත හැකිය. කෙනෙකුට මෙය ස්ත්‍රීවාදී න්‍යාය ඔස්සේද විග්‍රහ කළ හැකිය. ස්ත්‍රීවාදී සිනමා සිද්ධාන්තය හඳුන්වා දුන් ලෝරා මල්වේ වැන්නන්ගේ විග්‍රහයට අනුව නම්, ස්ත්‍රිය පිරිමියාගේ ලිංගික භාණ්ඩයක් ලෙස භාවිත වන බව පෙන්වා දීම වෙනුවට බමුණු මතවලින් ස්ත්‍රීත්වය ලඝුකොට දැක්වූ පැරැණි බමුණු මතවලට එරෙහිව සිද්ධාර්ථ ගෞතම බුදුන්ගේ දැක්ම මතුවන සේම ප්‍රජාපතී දේවිය දෙවතාවක් බුදුන්ගෙන් ප්‍රතික්ෂේප වූ මෙහෙණවර ලබාගන්නා තෙක් කළ වීර්යය අරගලයක් තරම් බලවත් ලෙස දැක්වීම ඔස්සේ වෙනත් මුහුණුවරකින් එය හඳුනාගත හැකිය. එහි වන්දනීය බව රැක ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වේ.
සංඥාර්ථවේදී න්‍යායේ පිහිටන්නකුට සිද්ධාර්ථ, මහමායා, ප්‍රජාපතී, සුද්ධෝදන, චරිත ඉන්දියානු දේහ ලක්ෂණවලින් දැක්වීමටත්, පසුබිම් ඉන්දියානු භෞතික ලෝකය දැක්වීමටත් වඩා සංගීතය ඊට දායක කර ගැනීම උදෙසා කර ඇති දායකත්වයත් සාකල්‍ය සංශ්ලේෂණාත්මක එළඹුමක් Holistic Approach – ඔස්සේ දැකගත හැකිය.
ගෞතම බුද්ධ චිත්‍රපටය නැරඹීමට යන ප්‍රේක්ෂකයා තම පූර්ව මතවලින් සිටියද ඒවා ප්‍රතිපූර්ණය කිරීමට අධ්‍යක්ෂවරයා සමත්වී ඇත. බුද්ධ චරිතය හා බැඳෙන වන්දනීය ස්වභාවය චිත්‍රපටය පුරා රැකගැනීමට සංස්කරණය දායක වී ඇත. සංගීතය දායක වී ඇත. චරිතවල නාටකීය බව දායක වී ඇත. අරමුණ උදෙසා වූ වියමන එකිනෙක සමපාත වේ.
සිනමාව තුළ රැකෙන සිනමාලංකාරය නැති වුවහොත් ප්‍රේක්ෂකයාගේ අනන්‍ය වීම බැහැරට යනු ඇත. ඒ කෙරෙහි දක්වා ඇති අධ්‍යක්ෂවරයාගේ සුපුරුදු කර්තෘවාදී හැකියාවන් ඊට ද සමපාතවූ බව පෙනේ.
මනෝ විශ්ලේෂණවාදීව බලන්නකුට මෙහි එන සෑම චරිතයකම මනෝභාවයන් එකිනෙක හා බැඳෙන ආකාරය හඳුනාගත හැකිය. යශෝධරා, මහමායා, සුද්ධෝදනගේ චර්යාවන් හා ජීවන පරිචයන් බුද්ධත්වය වෙනුවෙන්ම කැපවීම සිද්ධි වාචිකව පෙන්වා දී තිබේ. ආරම්භයේ පටන්ම චිත්‍රපටය සමාන්තර මාර්ග දෙකක් වෙත ප්‍රේක්ෂකයා ගෙන යයි. එකක් බුද්ධත්වයේ ගමනයි. ඊට සමගාමීව භික්ෂුණී ශාසනයේ ආරම්භක ගමනද සමාන්තර රේඛීය වූවන් වන අතර අරගලයක් තරම් වූ භික්ෂුණී ශාසනයේ ගමන පූජනීය තලයකට ගැනීමට අධ්‍යක්ෂවරයා සමත්වී ඇත.
ගෞතම බුද්ධ කියවිය යුත්තේ ඊට පාදක කරගෙන ඇති ජාතක කතා හෝ වෙනත් බෞද්ධ මූලාශ්‍ර ඔස්සේ නොවේ. ඒවා කියවීමට නම් ජාතක පොත හෝ වෙනත් බෞද්ධ පොතපත කියවිය හැකිය. බොහෝ දෙනා චිත්‍රපටයකින් පොත් කියවීමට යාම නිසා චිත්‍රපටයක් කියවීම වෙනත් පසෙකට ගොස් ඇත. ඒ නිසා විචාරවාදීව කියවිය හැක්කේද කීප දෙනෙකුට මිස සියල්ලටම නොවේ. විචාරයක වටිනාකම කෙමෙන් බැහැර වන මෙවන් තාක්ෂණික යුගයක යළි පැමිණ ඇති පාරනූතනත්ව යුගයේ මීළඟ පරපුර එහි යථා ස්වභාවය හඳුනාගත යුතුමය. බොහෝ විචාරවලදී පිරිමි වීරයන් ප්‍රමුඛ වුව ප්‍රේක්ෂකයා අනන්‍ය වන්නේ කතාවේ හරය සපුරා ගැනීමටය. එහිදී සිද්ධාර්ථයන්ගේ බුද්ධත්වය තරමට ප්‍රජාපතී දේවියගේ මෙහෙණි සස්න පිහිටුවීම යන අරමුණු සඳහා කර්තෘවාදී විචාර න්‍යාය ඔස්සේ මේ සිනමාපටය කියවූ මා දකින්නේ එහි සුනිල් ආරියරත්න නම් වූ අධ්‍යක්ෂවරයාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අජන්තා හපුආරච්චි විසිනි (පසුගිය 'දිනමිණ' පුවත්පත පළ විය.)