lan englan tam

නික්මගිය නාට්‍යවේදී නිහාල් සුරංජි ගැන මතක සටහනක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Asoka Priyantha-

කොළඹ මරියකඩේ හෙවත් දේවානම්පියතිස්ස මාවතේ ඉපිද ජීවත් වූ නිහාල් සුරංජි අපූර්ව මනුස්සයෙක්.

හද්ද නාගරික කොළඹ උපන්න ද ඔහු ගමට,ගැමියන්ට බෙහෙවින් ආදරය කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහුගේ කලා ජීවිතයත් වෘත්තීය ජීවිතයත් මනාව සමතික්‍රමණය කොට වයස අවුරුදු හැට හතරේදී ජීවිතෙන් සමුගත්තේය.

ආනන්ද විද්‍යාල පන්ති කාමරයේ පසුපස ගැන්සියේ සාමාජිකයෙකු වූ නිහාල් සුරංජි පාසල් වියේ සිටම නාට්‍ය කලාවට නැඹුරුව සිටියේය.

ආනන්ද විද්‍යාලයේ උදෑසන පාසල් රැස්වීමේ විනාඩි පහේ කෙටි නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමට තරම් නිහාල් සුරංජි පාසල් වියේ සිටම ප්‍රතිභා සම්පන්න විය.

නැසී ගිය නාට්‍යවේදී ලයනල් රංවල සූරීන්ගේ අකීකරු ශිෂ්‍යයෙකු ලෙස ඔහු සිය රංගන කුසලතා වර්ධනය කර ගත්තේය.

පසුව කොළඹ ජර්මන් සංස්කෘතික ආයතනය මගින් අසුව දශකයේ සංවිධානය කළ ජර්මාණු නාට්‍යකරුවන් වූ ආචාර්ය ක්ලව්ස්ක සම්භර්ග් නෝබට් මෙයර්, ෆ්‍රිට්ස් බෙනිවිට්ස් විශිෂ්ට විදේශීය නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගෙන් නාට්‍ය අධ්‍යක්ෂණය හා රංගනය පිළිබඳ පුහුණුව ලැබීය.

ඔහු වේදිකාව මත සිය රංගන චාරිකාව ආරම්භ කළේ ඒ පුහුණු වැඩමුළු නාට්‍ය නිෂ්පාදනයක් වූ Every Man පරිවර්තනයක් වූ 'සකල ජන'නාට්‍ය රංගනයෙනි.

නිහාල් සුරංජි සතුව පැවති දේහ ලක්ෂණත් හඬ පෞරුෂයක් නිසා ජර්මානු පුහුණුකරුවෝ ඔහු 'සකල ජන' නාට්‍යයේ 'තර මස්සිනා' චරිතය සඳහා තෝරා ගති.

අසූව දශකය ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍යයේ දීප්තිමත් යුගයක් විය.

දේශීය නාට්‍ය කලාවේ චූල සම්ප්‍රදායත් මහා සම්ප්‍රදායක් අතර ජනතාවාදී නාට්‍ය කලාවක් කෙරෙහි නිහාල් සුරංජි යොමු වන්නට ඇත්තේ බර්ට්‍රොල් බ්‍රෙෂ්ට් පරම්පරාවේ ජර්මානු නාට්‍යකරුවන්ගේ බලපෑම නිසා බව ඔහුගේ පසුකාලීන නාට්‍ය නිෂ්පාදන දෙස බැලීමේදී අවබෝධ කරගත හැක.

කාලය ගත වෙද්දි වෙද්දී ඔහු වේදිකා නාට්‍ය රංගනයේ,අධ්‍යක්ෂණයේ තාක්ෂණය වෙනුවට එහි ශාස්ත්‍රීය අංශ පිළිබඳ පිපාසාවකින් පෙළුණේය.

එකල මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් කොළඹදී පවත්වනන ලද 'කලාව හා ජීවිතය' දීර්ඝ දේශන මාලාව නිසා ඔහුගේ කලාව පිළිබඳ දෘෂ්ටිය මුවහත් කරගත් බව මගේ අවබෝධයයි.

නිහාල් සුරංජි පළමු ව මට හමුවූයේ ද 1990 ඒ දේශන මාලාවේදීය.

ඔහුගේ හදවත මානව සමාජය පිළිබඳ දයාර්ද හැඟීමකින් පිරී තිබිණ.

නාගරික මධ්‍යම පාන්තික කාසි හා ලාභාංශ මත රැඳී සරුව පිත්තල බැබලීම රැඳී ජීවිතයක් වෙනුවට ඔහු අල්පේච්ඡ ජීවිතයක් පිළිබඳ විශ්වාස කළේය.

එනිසා ඔහු තුළ වැඩෙමින් තිබුණේ මාක්ස්වාදී දේශපාලන නැඹුරුවයි.

1986 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට පිලිපන් හේ ඊයේ මිය යන තෙක්ම එම දේශපාලන වැඩපිළිවෙළෙහි රැඳී සිටියහ.

ජනතාවාදී නාට්‍ය කලාවක් ගැන බරපතළ ලෙස විශ්වාස කළ නිහාල් සුරංජි ට පසුව විශ්ව විද්‍යාලය වූයේ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්ය ආචාර්ය ගාමිණි හත්තොටුව මහතාගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමයි.

නිහාල් සුරංජි ඇදහූ විශ්වාස කළ සමාජය නිර්මාණය කිරීමට ඔහු ඒ මඟින් අති මහත් උත්සාහයක් ගත්තේය.

කොළඹින් බැහැර ඈත ගම්මාන වල ජනශ්‍රැති නාට්‍ය ගැන පර්යේෂණ ආරම්භ කළේය.නාට්‍ය වැඩ මුළු සංවිධානය කළේය.

1986 දී මහනුවර ඈත ගම්මානයක් වූ පදියපැළැල්ලට ගොස් සිංහලේ කංකාරිය නමින් ජන නාට්‍යයක් ඔහු නිෂ්පාදනය කළේය.

වයඹ ප්‍රාදේශීය නාට්‍යකරුවන් සමග අරකාවිල හටන නැමති වාර්තා රංගය නිෂ්පාදනය කළේය.

නාට්‍ය අත්දැකීම් වලින් ඔහු බහුල වීමත් සමඟ ඔහු ලංකා වේදිකාවේ මහා සම්ප්‍රදාය අතපත ගාන්නට විය.

ඒ යටතේ ප්‍රොමිතියස්,ප්‍රොමිතියස් බන්ධනය, හෙන්රික් ඉබ්සන්ගේ Enemy of the People විජිත ගුණරත්නගේ නාට්‍ය පරිවර්තනය ජනතා ද්‍රෝහියා නමින්ද නිෂ්පාදනය කළේය.

මේ අතර තවත් නිෂ්පාදනයක් වූ හිල් වීදිය ඔහුගේ නාට්‍ය ගමන් මගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි.

රංගනයෙන් නාට්‍ය අධ්‍යක්ෂණයටත් ඉක්බිති ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් බට නිහාල් සුරංජි වට මේසයේ කතන්දර නමින් මාලා නාට්‍ය නිෂ්පාදනය කළේය.

වේදිකාව,රූපවාහිනී නිෂ්පාදනය නිර්මාණශීලී ලෙස සමතික්‍රමණය කළ නිහාල් සුරංජි සිය රංගන හැකියාව සිනමා නිර්මාණ කීපයකටද සිය රංගන ප්‍රතිභාවෙන් දායක විය.

ඉතා දීර්ඝ නිර්මාණ චාරිකාවේදී ඔහුට - ඇය ජීවිත වේදිකාවේ සහය නිළිය හමුවිය.

ඒ නර්තනාචාරිනි පද්මා අයිරාංගනී ඔහුගේ ආදරණීය බිරිඳයි.

ඔහුගේ මුළු ජීවිත කාලයෙන් අඩකටත් වඩා ලංකාවේ නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු කැප කළේය.

ජීවිතයේ ඉතා දුෂ්කර අවදි රැසක දුර්භාග්‍ය කාලය පසු කළ නිහල් සුරංජි තරග විභාගයකින් කොළඹ නගරයේ ග්‍රාම නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක්විණ.

ඒ අතරතුරදී පවා ලංකාව පුරා වීදි නාට්‍ය වැඩමුළු මෙහෙයවීය.

කුරුණෑගල ජනතාව වේදිකාව වීදි නාට්‍ය කණ්ඩායම, හබරාදුව සුභාවී වීදි නාට්‍ය කණ්ඩායම, හොරණ මහනුවර පොළොන්නරුව ත්‍රිකුණාමලය අම්පාර ආදී ප්‍රදේශවල වීදි නාට්‍ය වැඩ මුළු, වීදි නාට්‍යකරුවන් පෝෂණය කළේය.

වාණිජ අරමුණු පසෙකලා කලාව හා රසාස්වාදය මානව හිතවාදී නාට්‍ය කලාවක් කෙරෙහි ඔහු තුළ වූයේ බලවත් අභිප්‍රායෙකි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නාට්‍ය නිෂ්පාදනය සඳහා වූ ණය විශ්‍රාම ලැබීමෙන් පසුවද ගෙවා දැමීමට සිදුවූ බව කණගාටුවෙන් සටහන් කල යුතුය.

එතුමන් සෙවන හිඳ බොහෝ තරුණයෝ රංගන ශිල්පීන් නාට්‍ය අධ්‍යක්ෂකවරු බවට පත්වූහ.

ඔහු තම සෙවනැල්ල යට වැඩෙන ශාක නොවැඩෙන සේ භූමිය වසාගත් දැවැන්ත වෘක්ෂයක් නොව තම සෙවණේ පැල වලට ආලෝකය ලබාදීමට ඕනෑම අත්තක් කපා දැමීමට සූදානම් සිරිසගබෝ වෘක්ෂයක් වූහ.

පරිත්‍යාගශීලී මානව හිතවාදී නාට්‍යකරුවකු වූහ.

රංගන ශිල්පී කුමාර තිරිමාදුරගෙන් ආරම්භ වන සුරංජිගේ ශිෂ්‍ය පරම්පරාව කුරුණෑගල ජනතාව වේදිකාව කණ්ඩායමේ අමරදාස හිනුක්වැව, රංජිත් කවිසිගමුව, ප්‍රේමසිරි ගමගේ, එඩ්වඩ් කාලිංග, හසිනිකා කරළියද්ද සහ කොලඹ රංග කලා කවය - ප්‍රැන්සිස් සේවියර්, උපුල් මායාදුන්නේ, තරංග ගුණවර්ධන, ඉන්දික දර්ශන, රසික හපුරච්චි, බුද්ධික වික්‍රමතුංග, දීප්ති වීරසූරිය, අනුෂ පෙරේරා ඔහුගේ සෙවනේ වැඩුණු අංකුර වු වර්තමාන වෘත්තීය කලාකරුවෝය.

විවිධ කලා කටයුතු සඳහා ලංකාවේ දුර බැහැර ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන බොහෝ ආධුනික නාට්‍යකරුවන් රසිකයන් ගේ නවාතැන්පල වූයේ සුරංජිගේ නිවසයි.

ඔහු කිසිම ප්‍රතිලාභයකින් තොරව ඔවුන්ට කොට්ට පැදුරුත් බතබුලතත් තේ කහටත් අරක්කුත් දී ඔවුන් රැක බලා ගත්හ.

මරදානේ නිවස ගිගුම් දුන් සංවාද වලදී ඔහුගේ නාට්‍ය භාවිතාවත් දේශපාලන දර්ශනයත් පිළිබඳ අපගේ බරපතල විවේචන හා පරිභව උපේක්ෂා සහගතව අසා සිටීමේ උත්තුංග ගුනයක් ඔහු තුළ විය.

රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල ග්‍රාපික නිර්මාණ ශිල්පියෙකුවූ සසංක සුගීශ්වර, රජරට විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ ආචාර්ය නිෂාදි ප්‍රසාදනි දෙ දරුවෝද මානවවාදී දරුවන් ලෙස සමාජයට ඉතුරු කොට ඔහු අපෙන් සමු ගත්තේය.

වසර කීපයක් අධ්‍යයන කටයුතු සඳහා විදේශගතව සිට පැමිණි සිය ආදරණීය දියණිය ලංකාවට පැමිණි දින ඇගේ අත්ල අල්ලාගෙනම ඊයේ කොලඹ ජාතික රෝහලේ දී ඔහු අවසන් හුස්ම හෙළීය.

නව රජය බලයට පත්වීමෙන් ඔහුගේ දේශපාලන අභිප්‍රාය ජයග්‍රහණය කළේය යන ආඩම්බරයකින් හා නිරන්තර ප්‍රීතියකින් ඔහු මෑත කාලයේ ජීවත් විය.

ඔහු පැතූ ආකාරයට පැතූ වාමාංශික දේශපාලන අභිප්‍රාය ද පවුල් කුටුම්භයේ අභිප්‍රායද විජයග්‍රහණය කොට ජීවිතය හැරගිය මානව හිතවාදී අහිංසක, නාට්‍යවේදියෙක්, සහෘදයෙක්, සැමියෙක්,පියෙක් වූ නිහාල් සුරංජි ඔබට නිවන් සුව පතමු.

ඒත් නිවන ගැන විශ්වාස නොකළ භෞතිකවාදියකු වූ නිහාල් සුරංජි සහෝදරයාට අපේ ලෙන්ගතු උපහාරය පතමු.

නිහාල් සුරංජි ගේ වියොව වෙනුවෙන් කිවිවර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ ලියා එවූ පද පෙළින් සටහන අවසන් කරමි.

රැය ගෙවී ගිය විගස

අපෙන් සමුගත් මිතුර

වියෝගය පමණක් ද

අපට හිමි දිව මතුර  (රත්නශ්‍රී විජේසිංහ)

 

සටහන - අශෝක ප්‍රියන්ත

(මෙම සටහන 'Asoka Priyantha' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom