"මගෙ ජීවිතේ පුදුම නීරසයි" නරියා කීවේය.
"මම කුකුල්ලු දඩයම් කරනවා, මිනිස්සු මාව දඩයම් කරන්න හොයනවා. මට ඔය දෙගොල්ලගෙම කිසිම වෙනසක් පේන්නේ නෑ. ඉතින් ඔය නිසා මට දැනෙන්නේ වස කම්මැලිකමක්.
හැබැයි ඔයා මට ආදරේ වෙන්න ගත්තොත් මගෙ ජීවිතේ ආලෝකෙන් පිරේවි. මේ ලෝකේ හැම කෙනෙක්ගෙම අඩි සද්ද අස්සෙන් එක්කෙනෙක්ගේ අඩි සද්දයක් විතරක් විශේෂ කරලා ඇඳිනගන්න මට අවස්ථාවක් ලැබේවි.
අනිත් හැම අඩි සද්දයක්ම කොහේ හරි ගිහින් හැංගෙන්න මාව පොළඹවන අතරේ ඔයාගේ අඩි සද්දෙට විතරක් මාව ඒ හැංගිලා ඉන්න තැනකින් එලියට ගන්න පුළුවන් වේවි. ඒක හරිම අගේ ඇති දෙයක් නෙවෙයිද??"
"...එතකොට ඔයාට පේනවද අර තියෙන තිරිඟු යාය?? දන්නවනෙ මම පාන් කන්නේ නෑ. ඉතින් මට ඔය තිරිඟුවලින් සත පහක වැඩක් නැහැ වගේම ඕවගේ කිසිම විශේෂයක් පේන්නෙත් නෑ. ඒ වුණත් ඔයාට තියෙන්නේ කැරළි ගැහුණ රත්තරන් පාට කොණ්ඩයක්.
දැන් ඔයාට තේරෙනවද ඔයා මට ආදරේ වුණොත් වෙන්න පුළුවන් දේ? හොඳට පැහුණු තිරිඟුත් රත්තරන් පාටයි. හරියටම ඔයාගෙ කොන්ඩේ පාට වගේමයි. ඒ නිසා තිරිඟු දකින වාරයක් වාරයක් ගානේ මට ඔයාව මතක් වේවි. ඒ විතරක් නෙවෙයි තිරිඟු යාය මැද්දෙන් හුළඟ හමන සද්දෙටත් මම ආදරේ කරන්න පටන් ගනීවි.."
කතාව මොහොතකට නැවැත්වූ නරියා ඉතා දිගු වෙලාවක් පුංචි කුමාරයා දෙස බලා සිටියේය. අනතුරුව,
"අනේ මට ආදරේ වෙන්න.." ඌ අයැදුවේය.
(The Little Prince)
පරිවර්තනය - නදී කම්මැල්ලවීර