රාහුල ද වෙනදාට වඩා වේලාසනින් අවදි වූ බව යසෝධරාවට නොවැටහුණේ ඇය දෙනෙත් පියා ගෙන සිත එක් තැන් කොට සිටි බැවිනි. ඈ ධ්‍යාන වැඞීම ප්‍රගුණ කළ අයෙක් නොවේ. නමුත් මෙවැනි වේලාවන්හිදී ඇගේ මනස එක් තැන රඳවාගත හැකි කමටහනක් ඇය සතුව තිබේ. ඈ සැමදාම අරමුණු කරන්නේ එය ම ය.
‘මා ද සිද්ධාර්ථ ද අතර ඇති නොබිඳෙන බැඳීම හේතුවෙන් ඔහුට ලොව්තුරා බුද්ධත්වය ලැබීමට මගේ මේ ප්රාර්ථනයන් ඉවහල් වේවා’යි ඈ අරමුණු කරන්නී ය.
ඇය ඉදිරිපිට එරමිණියා ගොතාගෙන වාඩිවී හුන් රාහුල විමසිල්ලෙන් මවගේ ඉරියව් පරීක්ෂා කරන්නට වුණි. සුදු වතින් සැරසී කිසිඳු කණකර අභාරණයකින් තොර ව පිරිමියෙකු සේ කොටට කැපූ හිස කේ සහිතව තාපසිකාවක් ලෙස වැඩ සිටින මව ඔහුගේ කුඩා සිතට අමුතු හැඟීම් මුසු කළා ය. ඇගේ ශාන්ත සුන්දර වත ඔහුගේ මනස ප්‍රබෝධයෙන් මුසපත් කරන්නට වුණි. ලොව්තුරා බුද්ධත්වයට පත් ව ඇතැයි කියන පියාගේ අඩි පාරේ මව ද යන්නේ යැයි ඔහු මොහොතකට සිතුවේ ය. ඊළඟ ක්ෂණයේදී දෙනෙත් විවර කරන යසෝධරාව දකින්නේ ඈ ඉදිරිපිට වාඩි වී ඇසි පිය නොහෙළා ඈ දෙස බලා සිටින කුඩා පුතණුවන් ය.
”මෑණියනි... ඔබත් බුදු වෙනවා ද?”
කුඩා රාහුල විචාළේ සැබෑ කුකුසක් සිත්හි දරාගෙන ය. ඔහුගේ මුව දොකොන දෙතුන් වරක් නැටවුණේ හදවතේ ගැබ්වුණු කණගාටුව ප්‍රදර්ශනය කරන්නට මෙනි.
”පුත... රාහුල... දැන් අපට බුදු කෙනෙකුන් ඉන්නවා... මා ඔබට කියා දීලා තියෙනවා නේද ඔබේ පියා අප හැර යාමට හේතුව... මේ ජීවිතයේ අප්‍රයෝජනවත් බව වටහා ගැනීමට ඔබ තවමත් කුඩායි කියලා මං දන්නවා... ඒත් ඔබ එක දෙයක් දැනගත යුතු යි... කොපමණ පූජකයින් අප දැක තිබුණත් ජීවිතය කියන්නේ කෙබඳු එකක් දැයි අපට කියා දීමට ඔවුනට නොහැකි යි... බුදු කෙනෙකුන් ලොව පහළ වන්නේ අපට එය කියා දීමටයි... මේ හැම දේ ම කියලා දෙන්න දැන් අපට බුදු කෙනෙකුන් ඉන්නවා”
හුන් ඉරියව්වේම සිටිමින් යසෝධරා විස්තර කරන්නට වූවා ය. රාහුල එකවරම ඇයට බාධා පැමිණවූයේ ඔහුගේ බුද්ධිමත් බව විදහා පාමිනි.
”ඒක මට වැටහෙනවා... අප මාළිගයට පැමිණෙන අනෙකුත් සාධූනුත් මා පියාණන්ගෙන් ධර්මය හදාරණු ඇතැයි සීයා කීවා... බුදුන් ලොවටම අගතැන්පත් බව මං අසා තියෙනවා”
”එය සැබෑවක්... එහෙව් එකේ බුදු වීමට මා කුමට වෙහෙසිය යුතු ද?”
”ජීවිතය තේරුම් ගැනීමට ඔබත් බුදු විය යුතුයි!”
”නෑ පුතා, බුදුන් සරණ යෑම... ඒ මඟ යෑම ප්‍රමාණවත්”
”එහෙනම් ඉතිං අපත් බුදුන් සරණ යා යුතුයි නේද?”
”යා යුතුමයි මා පුත... ඒ සඳහා නිසි වේලාව පැමිණෙනු ඇති... එතකල් ඉවසලා ඉඳිමු”
විදුලි වේගයෙන් නැඟී සිටි රාහුල එතැනින් ඉවත්ව දුව ගියේ මුළු ලොවට ජයගත් විලසිනි.
රාහුලයෙක් උපන්නා
අජන්ත සෙනෙවිරත්න