ලෝකයේ සෑම රටක ළමා සිනමාවන් බිහිවේ. එලෙසම ඒ තුලින් ළමා නළුවන්ද බිහිවේ. ඇතැම් විට, ළමා චිත්රපට නොවන සිනමාපට වලද, ළමා නළුවන්ට චරිත තිබේ.
ලාංකේය සිනමාව තුල නම් එසේ සිදුවීම් සුලබය. 50 -60 දශක තුල බොහෝ චිත්රපට පවුල මූලික කරගනිමින් නිෂ්පාදනය කෙරුණි. එහෙයින් අනිවාරයෙන්ම ළමා චරිත කීපයක් එයට ඇතුලත් විය.”අදට වැඩිය හෙට හොදයි” “මංගලිකා” “උඩ රට මැණිකේ”, “සත පනහ””වෙසතුරු සිරිත” වැනි චිත්රපට සුළු උදාහරණයකි. එම චිත්රපට සියල්ලේම ළමා නළුවන්ට හොද රංගන පරාසයක් තිබුණි.
මෑත භාගයේදී ලාංකේය සිනමාව තුලද, ළමා නලුනිලියන් සැලකිය යුතු ප්රමාණයක් බිහිවූ අතර,එයින් වඩාත්ම ආකර්ශනීය ළමා නළුවා වුයේ “සිරි පැරකුම්”චිත්රපටය තුලින් හදුන්වාදුන් පැරකුම් කුමාරයාට රගපෑ ප්රමුදිත උදයකුමාරය . සෝමරත්න දිසානායකගේ අපුරුවූ සොයාගැන්ම වූ මෙම කුඩා නළුවා නම් අතීශයෙන්ම විශ්මිතය. කුඩා වුවද මේ ළමයාව හසුරුවා තිබු ආකාරයත්, ඔහු හැසිරුණු ආකාරයත් අදහා ගත නොහැක. “සිරි පැරකුම්” යනු දැවන්ත වියාපෘතික සිනමාපටයකි. විශාල පිරිවැයක් යට කර,තැනු දැවැන්ත තලයේ චිත්රපටයකි. එම මුළු චිත්රපටයේම බර කර පැටවුනේ මේ කුඩා ළමයා මතය.
“මම රාජකුමාරයෙක් නෙමෙයි,මම ගමේ කොල්ලෙක්” යන දෙබස මුළු චිත්රපටය පුරාම ජීවයක් විය. ප්රමුදිත ගේ ආකර්ශනීය රූපය , දැවැන්ත තිරයට සප්තවර්ණ කළේය .චිත්රපටය පුරාම ප්රතිභාපූර්ණ .එමෙන්ම,ජනප්රියම නලුනිලියන් විශාල,ප්රමාණයක් සිටියද, ප්රේක්ෂකයන්ගේ ඇස රැදුනේ ප්රමුදිත උදයකුමාර වෙතමය. එතරම් හුරුබුහුටි, හුරතල්,අතිශයෙන්ම සුන්දර රූපයකි මේ කුඩා දරුවාට තිබුනේ . සිරි පැරකුම් චිත්රපටය පුරාම දැවැන්ත එසේම විචිත්ර වුත් ආකර්ශනීය වුත් චරිතය නම් මේ පුංචි කුමාරයා ප්රමුදිතය .
සිරි පැරකුම් තුලින් අන්තිමයට ප්රේක්ෂකයන්ට මතක තිබුනේ ගමේ කොල්ලාවූ රාජ කුමාරයාවය. නොහොත් මේ ප්රමුදිතවය . ඔහු එක රැයකින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප්රිය විය. ඒ ජනප්රියත්වය කොතරම්දයත් හැම රුපවාහිනි සේවයකින් තම ළමා වැඩසටහන් කරන්නට ගෙන්වා ගත්තේ ඔහුවය.
සුගත් සමරකෝන් “ඇහැලේපොළ කුමාරිහාමි “චිත්රපටය කරන්නට විය. එහි මද්දුම බණ්ඩාරගේ චරිතයට ප්රමුදිත හැරෙන්නට වෙන කිසිවෙක් ගැන සුගත්ට සිතාගත නොහැකි විය . ප්රමුදිත උදයකුමාර කුඩා සිරි පැරකුම් වී, දැන් මද්දුම බණ්ඩාර විය. “මම රජකුමාරයෙක් නෙමෙයි,මම ගමේ කොල්ලෙක්” කී ඔහු දැන් “අයියණ්ඩිය බිය නොවන්න,මැරෙනා හැටි මම පෙන්වන්නම්” යයි කියන්නට විය. “ඇහැලේපොළ කුමාරිහාමි”හි මද්දුම බණ්ඩාර ද සිරි පැරකුම් මෙන්ම ජනප්රිය විය. ප්රමුදිතගේ හුරුබුහුටි පෙනුම, හුරතල් එහෙත් ශබ්ද නගා කරන හඩ,ප්රබල රගපෑම කාගේත් සිත්ඇද බැද ගති.
ශ්රීපාල හෙට්ටිආරච්චි තම චිත්රපටය වූ “සුජාත පුත්ර ” හි ප්රධානම චරිතයට ප්රමුදිත තෝරාගන්නා විට, ඔහු තරමක් වැඩි තිබුණි.”සුජාත පුත්ර ” හි ප්රධාන චරිතය ගොතා තිබුනේ ප්රමුදිතගේ චරිතය වටාය . ඔහු එය ඉතාමත් සාර්ථක ලෙස රගපා තිබුණි. ඔහුගේ හුරුබුහුටි ආකර්ෂණය තවත් වැඩි දිදුලමින් තිබුණි. දිනනෙන් දින උස් මහත් වන ප්රමුදිතට තවත් කැපී පෙනෙන චරිතයක් ලැබුනේ, ලෝකප්රකට චිත්රපටයක් වූ “ද සවුන්ඩ් ඔෆ් මියුසික් ” හි අනුසාරයෙන් නිපදවූ සෝමරත්න දිසානායකගේ “සරිගම” චිත්රපටයෙන්ය . එහි සිටි දගකාර ළමයින් හත්දෙනා ගෙන් එක ළමයෙකුට පන දුන්නේ ප්රමුදිතය.ඔහු ” තල නම් තෙලට වෙලෙයි ,ඒත් මී බෙටි ?” කියමින් “ගුඩ් නයිට් ” ගීතයේ අතර මැද ඇති දෙබස අතීශය ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීමෙන් මුළු ප්රේක්ෂකගාරයම තමන් වෙතට හරවා ගනී
හැම ළමයෙක්ම ලමාවියේම සිටින්නේ නැත . එහෙත් ප්රමුදිත උදය කුමාර නම් ආකර්ශනීය ළමා නළුවා ළමාවිය ඉක්මවීමට ප්රථම තව චිත්රපට හතර පහකවත් රගපාන්නේ නම්.........
ශෝන් මැක්ස්මස් දිසානායක