සිංහල වේදිකා නාට්‍ය කලාවේ යුග පුරුෂයා වූ මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ නාටකය තුළින් මෙරට සිංහල නාට්‍ය කලාවේ විප්ලවීය වෙනස සිදු කළේය. එතුමා මනමේ නාටකය නිර්මාණය කිරීම සඳහා සාම්ප්‍රදායික දෙමළ නාට්‍ය විශේෂයක් වූ කූත්තු නාට්‍ය සම්ප්රදායේ ආභාසයද ලබා ගත්තේය. මනමේ නාටකයේ සාර්ථකත්වය දෙමළ නාට්‍යකරුවන් කෙරෙහිද කිසියම් බලපෑමක් ඇති කරන්නට සමත් විය. . මහාචාර්ය විද්‍යානන්දන්, මහාචාර්ය එස් සිවතම්බි, මහාචාර්ය කේ. කයිලාසපති වැනි එවක සිටි දෙමළ නාට්‍යකරුවෝ ඉන් ලද පන්නරය ඔස්සේ තම වාර්ගික සම්ප්‍රදායික නාට්‍ය කලාවේ අක්මුල් සොයා යන්නට උනන්දු වූහ. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ මහාචාර්ය විද්යානන්දන්ය. කූත්තු නාට්‍ය සම්ප්රදාය වර්ධනීය නාට්‍ය කලාවක් බවට පත් කිරීමට අනෙකුත් මහාචාර්යවරුන්මෙන්ම මහත් සේ කැපවීමෙන් කටයුතු කළ තවත් පුද්ගලයෙකි මහාචාර්ය සින්නයියා මෞනගුරු.
දෙමළ නාට්‍ය කලාව උදෙසා මහඟු දායකත්වයක් සැපයූ මහාචාර්ය මෞනගුරුගේ ප්‍රථම වේදිකා නාට්‍ය වූයේ ‘කර්ණන් පෝර් “නමැති නාට්‍යයයි. එය සාම්ප්‍රදායික වඩමෝඩි ශෛලියෙන් නිර්මාණය කෙරිණි.ඔහු කූත්තු නාට්‍ය සම්ප්රදාය පිලිබඳ පර්යේෂණ පවත්වමින් දෙමළ ජනතාව අතර ග්‍රාමීය වශයෙන් පැවැති එකී සම්ප්රදාය පිළිබඳ සියලු තොරතුරු එක්රැස් කළේය.
වඩමෝඩි ශෛලියේ අඩවුංගල් නොහොත් සංචලන 48ක් ඇති බවද,තෙන්මෝඩි ශෛලියේ විවිධ සංචලන 80ක් පමණ ඇතැයි ඔහු පවසයි.
මහාචාර්ය විද්‍යානන්දන් කූත්තු සම්ප්රදාය ඇසුරින් නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කළේය. එහි අග්‍රඵලය වූයේ රාවනේසන් නාටකයයි. රාවණාගේ පුවත ඇසුරින් වූ කම්බ රාමායනන් නමැති කතාව ඇසුරින් නිර්මාණය වූ රාවනේසන් නූතන දෙමළ නාට්‍ය කලාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකේ.අවුරුදු 17 සිට කූත්තු නාට්‍යවල රඟපෑ මහාචාර්ය මෞනගුරු රාවනේසන් නාට්‍යෙය් මුලින්ම රඟපාන විට වයස අවුරුදු 22කි.එවක ඔහු විශ්වවිද්‍යාල සිසුවෙක් විය.
එතැන් සිට 2016 දක්වා දසක 6ක් පුරා ඔහු රාවණා චරිතයට පණ පොවයි. 1969දී පළමු වරට කුත්තු නාටකයක් කොළඹ ලුම්බිනි රඟහලේ රඟදැක්වූයේ මහාචාර්ය මෞනගුරුය. එයට ඔහුට සිංහල හා දෙමළ ප්‍රජාවෙන් විශාල ප්‍රතිචාරයක් ලැබිණි.
2008 දී මහාචාර්ය මෞනගුරු රාවනේසන් නාට්‍ය පිටපත සංස්කරණය කළේය. 2015 වසරේ ඔහු රඟපෑ රාවනේසන් නාටකය යාපනයේදී දැක බලා ගන්නට මට අවස්ථාව උදා විය. මා ඒ සඳහා මා එක්කරගෙන ගියේ මිත්‍ර පරාක්‍රම නිරිඇල්ලය. 76 හැවිරිදි වුවද කිසිදු ආයාසයකින් තොරව දසක 6ක් පුරා රාවණා වූ මහාචාර්ය මෞනගුරු එදිනද කඩිසර තරුණයෙකු මෙන් රඟපෑවේය. ඔහු වේදිකාවේ රාවණාගේ තේජස අපූරුවට ප්රතිනිර්ණමාණය කළේය. මේ සමඟ පළවන්නේ එදා එම දර්ශනයේදී මා විසින් ගන්නා ලද ඡායාරූපවලින් කිහිපයකි.
කුත්තු යනු කිසියම් වීරකාව්‍යයක් පාදක කර ගනිමින් නැටුම් ගැයුම් වැයුම්වලින් සමන්විතව රඟ දැක්වෙන සාම්ප්‍රදායික දෙමළ නාට්‍ය විශේෂයකි. එහි ප්රභවය අතීතයේ තමිලක්කම් නමින් හැඳින්වුනු වත්මන් තමිල්නාඩුව,කේරළය, පොන්ඩිචෙරි සහ දක්ෂිණ කර්ණාටක සහ ආන්ද්‍ර ප්‍රෙද්ශ් ආශ්‍රිතව සිදු වූ බැව් පැවසේ. කූත්තු තෙරිකූත්තු හා කට්ටායිකූත්තු නමින්ද වර්තමානයේ හැඳින්වෙයි. තෙරිකූත්තු යනු පෙරහරින් ගමින් ගමට ගොස් රඟදක්වන නාට්‍ය විශේෂයක් වන අතර කට්ටායිකුත්තු රැය පුරා නිෂ්චිත ස්ථානයක රඟදැක්වෙන්නකි. බොහෝ විට කුත්තු නාටකයට පාදක වනුයේ රාමායනයේ හෝ මහාභාරතයේ හෝ එන කතාවක් හෝ වෙනත් වීර කාව්‍යයක ඇතුලත් කතාවකි.දෙබස්වලින් තොර එහි ඇත්තේ ගීත පමණි. ඒවා ගැයෙනුයේ උච්ඡ ස්වරයෙනි. විවිධ තද වර්ණයන්ගෙන් යුතු ඇදුම් හා තද වර්ණයන්ගෙන් යුත් අංග රචනා ඒ සදහා භාවිත කෙරේ. අතීතයේ පිරිමින් පමණක් සහභාගී වූ කූත්තු නාටකයට පසු කාලයේ කාන්තාවෝද එක්වූහ.
කූත්තු නාට්‍ය ශෛලි කිහිපයක් තිබේ.නාට්ටු කූත්තු, කුරවෙයි කූත්තු වල්ලි කූත්තු විවිධ ප්‍රෙද්ශවල රඟදැක්වේ. තමිල්නාඩුවේ විවිධ පළාත්වලද විවිධ වර්ගයේ කූත්තු නාටක දැකිය හැකියි. ආගමික කතා පාදක කරගත් සමය කුත්තු මෙන්ම පොර්කාල කුත්තු, පෙයි කුත්තු, තුනන්ගායි කූත්තු වැනි ශෛලීන්ද දැකිය හැකිවේ. තුනන්ගායි කූත්තු යුද්ධ හා ආත්මාරක්ෂක සටන් මූලික කරගත් රංග ශෛලියකි. කේරළයේ වඩාත් ජනප්‍රිය චක්යාර් කූත්තුය.ඒවාට සිලප්පදිකාරම්හි එන කතා පාදක වේ.
ශ්‍රී ලංකාවේ කූත්තු නාටකය යාපනය, මඩකලපුව, මුලතිව්, කල්මුනේ, අක්කරපත්තු හා වතුකරයේ දෙමළ ජනතාව අතර රඟදැක්වෙන්නකි.
මඩකලපුවේ කුඩා ගම්මානයක උපත ලද මහාචාර්ය මෞනගුරු ගමේ සුන්දරත්වය මනාව අත්වින්දේය. බටහිර සංස්කෘතියේ බලපෑම නොලද එම ගම්මානයේදී ඔහුගේ සවන වැකුනේ ගැමියන් වැයූ උඩුක්කු සවනිකා සහ සිලම්බු නාද මාලාවන්ය. එය ඔහුගේ ජීවිතයට සංගීතය හා කලාව ඇතුලු වූ මුල්ම අවස්ථාව විය.
.
මහාචාර්ය මෞනගුරු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා හා සංස්කෘතික පීඨයේ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කර දැන් විශ්‍රාම ලබා සිටී. එහෙත් ඔහු තවමත් නාට්‍ය කලාව පෝෂණය කරමින් දරුවන්ට දැනුම ලබා දීම අත්හැර නැත. මඩකලපු නගරයේ කුඩා කලායතනයක් පවත්වාගෙන යමින් සිය සේවය නොමිලයේ ලබා දෙන්නේ දෙමළ ජනයාගේ සංස්කෘතික අනන්‍යතාව අනාගතයට දායාද කිරීමේ පරමාර්ථයෙනි.
නාට්‍ය හා සාම්ප්‍රදායික නර්තනය පිළිබඳ විඩියෝ පට 500කට අධික ප්‍රමාණයක් ඔහු සතුය. සිව් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද ඔහු ග්රන්ථ 23 පමණ රචනා කර තිබේ. නාට්‍ය 20ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර. දරුවන් සඳහා ද නාට්‍ය හතරක් නිර්මාණ කළේය.ඉන් තප්පි වන්ත ආඩු, පසායතුම්, පුතියාතුම් වඩාත් ජනප්‍රිය විය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා