මේ දවස්වල අපේ රටේ පොඩ්ඩන්ට වගේම ලොකු අයටත් අපූරු ආදර්ශයක් ගත හැකි චිත්‍රපටයක් ලංකාව පුරා තිරගත වෙනවා. ඒ තමයි 'සමත්' කියන පුංචි පුතෙක් තමන් මූණපාන සියලු දුක් කරදරවලට මුහුණ දීලා අන්තිමේදී තමන් ජීවත් වන ගමට ආලෝකයක් ලබා දෙන හැටි ගැන කියැවෙන '5 සමත්' චිත්‍රපටය.
රසික සුරවීර ආරච්චිගේ කතාවක් ඇසුරින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අපූර්වත්වයක් ඇති නිර්මාණ කිරීමට නම් දැරූ අධ්යක්ෂවරයකු වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්.
දිය ඇලි, කෙත් වතු, කඳු වැටි, ගල් තලා ආදියෙන් සමන්විත හෙවිලි කන්ද නම් මනරම් ගම්මානයේ ගොවිතැනින් ජීවත් වන මවුපිය යුවළකගේ බාල දරුවා වන සමත් තම සම වයසේ පසුවන තිසුල් සහ සයුති සමඟ කෙළිදෙළෙන් කාලය ගත කරනවා. දිනපතාම කුඹුරු අස්වැද්දීම සඳහා තම මව සහ පියා අෑතක සිට කළවලින් දිය අදින අන්දම බලා සිටින සමත්ගේ අපේක්ෂාව මීට විසඳුමක් සොයා ගැනීමයි.
මේ අතරතුරදී පියා අනතුරකට මුහුණ පා ආබාධිත තත්වයකට පත්වන පසුබිමක පවා 5 ශිෂ්‍යත්වයට මුහුණ දී ඉන් සමත්ව නගරයේ පාසලකට යෑමට වරම් ලබන සමත් එහි සිසුන් කණ්ඩායමකගේද අඩන්තේට්ටම්වලට ලක්වී අවසානයේ සියල්ල ජය ගන්නා අයුරු මේ චිත්‍රපටයෙන් දැක්වෙනවා.
5 සමත් නිර්මාණය කිරීමේදී ඔබ නොදුටු ඊට පසුබිමින් ඇති කතාද තවත් චිත්‍රපටයක් වගේ ආකර්ෂණීයයි. ඉන් එක කතාවක් තමයි සමත්ගේ චරිතය රඟපාන අමිරු කෝරලගේ හොයා ගත්ත ආකාරය. ඒ ගැන චිත්‍රපටයේ කතාව සහ දෙබස් නිර්මාණය කළ රසික සුරවීරආරච්චි සඳහන් කළේ මේ අන්දමිනුයි.
"අමිරුගේ චරිතයට සුදුසු ළමා නළුවෙක් රට පුරාම හෙව්වත් හොයාගන්න පහසු වුණේ නැහැ. දවසක් මම ලුනාව පැත්තෙ ළමයි කට්ටියක් සෙල්ලම් කරමින් ඉන්න තැනක් පසු කරන විට මගේ වාහනයට බෝලයක් වැදුණා. මං ඒ වෙලාවේ බෝලෙ ආපු පැත්ත දිහා හැරිලා බැලුවා. එතකොට තමයි මං අමිරුව දැක්කෙ. මට හිතුණා සමත්ට ගැළපෙන නියම කෙනා මෙයා තමයි කියලා. පස්සෙ අමිරුව අධ්යක්ෂ සිවා අයියට මුණගස්සපු වෙලාවෙ ඔහුගෙ තීරණය වුණෙත් සමත්ට ගැළපෙනම කෙනා අමිරු කියලයි.
ඒ වෙනකොට අමිරුලගෙ පවුලෙ අය මාස තුනක නිවාඩුවකට ඕස්ට්‍රේලියාවට යන්න සූදානමිනුයි හිටියෙ. පස්සෙ ඒකත් කල් දාලා තමයි 5 සමත් චිත්‍රපටයෙ සමත් හැටියට රඟපාන්න අමිරු එකතු වුණේ."
එක වතාවක් දොළ පාරක් උඩින් වැටිලා තිබුණු පාලමකින් එගොඩ වෙද්දී සිවාට සෑහෙන ඇබැද්දියකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. කිතුල්ගල ඉඳලා මේ පාලමෙන් එගොඩ වෙලා තමයි, රූගත කිරීම් කළ පරවලතැන්න කියන කැලෑ ගම්මානයට යන්නෙ. ඒ අත්දැකීම ගැන සිවා විස්තර කළේ මෙහෙමයි.
"මේ පාලමෙන් ඉස්සරහින්ම කැමරා අධ්යක්ෂ තුසිත. ඊළඟට මම. මට පස්සෙන් උද්දික එගොඩ වෙමින් හිටියා. තුසිත එගොඩ වුණා විතරයි, එක පාරටම පාලම කඩාගෙන වැටුණා. වාසනාවකට වගේ මාවයි උද්දිකවයි පහළ පස් කණ්ඩියක හිරවුණා. එහෙම වුණේ නැත්නම් දෙන්නම පහළ දොළට වැටෙනවා."
5 සමත් චිත්‍රපටයෙ එක තැනක තියෙනවා, සමත්ගෙ පියා හැටියට රඟපාන උද්දික ගහකින් වැටිලා කකුල කැඩිලා ඔහුව පුටුවක තියලා ඒ පුටුව හරස් අතට තියෙන ලීයක බැඳලා ගම්මු කර තියාගෙන එන දර්ශනයක්. කොහොම හරි මේ පුටුව හැබෑවටත් පාවිච්චි කරන්න සිද්ධ වුණාලු. ඒ සමත්ගෙ අම්මා හැටියට මේ චිත්‍රපටයෙ රඟපාන දිල්හානි අශෝකමාලාට හැදුණු තුනටියෙ අමාරුවක් හින්දා. එදා දිල්හානිව රූගත කිරීම් කළ ඉසව්වට අරගෙන ගිහින් තියෙන්නේ ලීයක බැඳපු මේ පුටුවෙ ඉන්දලා කීප දෙනෙක් කර තියාගෙනයි.
ගැමුණු රත්නායක