කාලාන්තරයක් තිස්සේ මෙරට පොදු ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු සහනදායී තත්ත්වයක් උදාකරමින් ක්‍රියාත්මක වූයේ සුබසාධක ආර්ථික ක්රමයකි. 1977 වසරේ රාජ්‍ය බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන නම් පාලකයා විසින් එතෙක් පැවැති සංවෘත ආර්ථික පිළිවෙත උඩු යටිකුරු කරමින් ආර්ථිකය විවෘත කරවීමට කටයුතු යෙදීය.
මෙහි ප්‍රතිඵලය ලෙස එතෙක් මන්දගාමීව පැවැති බොහෝ ක්ෂේත්‍ර අධි ශීඝ්‍රගාමී වූ අතර ප්‍රධාන වූයේ මුදල් හම්බ කර ගොඩගසා ගැනීමට වූ අන්‍යෝන්‍ය තරගයයි. මේ තරගයෙන් ජයග්‍රහණය කරන්නට සියල්ලන්ම යොමුවූ බැවින් හා එසේ යොමුවන්නට උදාවූ තත්ත්වය හමුවේ බලකෙරුණු බැවින් බල්ලන් මරා හෝ සල්ලි සෙවීම සැමගේ එකම පරමාර්ථය වූ බව නොරහසකි. අහිංසක හාවුන් මෙන්ම බියකරු සිංහයන්ද එකම ධාවන පථයක තරග වදින්න බවට පත්වූ මෙම ආර්ථික පෙරළියේදී ගුණධර්ම, සාරධර්ම, චර්යා ධර්ම ආදිය මෙන්ම ලැජ්ජාව බිය, හිරිය, ඔත්තප්පය ආදී වටිනාකම්ද නොවටිනා දේ බවට පත්විය
ඒ සියල්ලෙහි පරිහානිය එපරිදි ඉෂ්ට සිද්ධ වන අතර මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කළ විවිධාකාර උපභෝග පරිභෝග වස්තු කෙසේ හෝ තමන් සතු කරගැනීමේ තෘෂ්ණාවෙන්ද ජනී ජනයා පෙළෙන්නට විණ. ඇති හැකියවුන් එම භාණ්ඩ සුවසේ හා පහසුවෙන් අත්පත් කර ගනිද්දී නැති බැරි එවුන් ඒවාට හිමිකම් කීමේ හීනමානයෙන් දැඩිව ප්‍රලයව තෝන්තුවාවෙන් කල් ගෙවූහ.
මේ බහු භාණ්ඩික උන්මාදය වැලඳුණු නැති බැරි එවුන්ට මුදල් උපයා ගැනීම සඳහා විවර වූ එකම මඟ වූයේ මැදපෙරදිග වහල් සේවය සඳහා පිටත්ව යෑමය. වහල් මෙහෙය සඳහා තොග ගණනින් තරුණ, තරුණියන්, මවුවරුන්, පියවරුන් මැදපෙරදිගට පැටවීම එක් පිරිසකගේ ජාවාරමක් විය. රැකියා ඒජන්සි හතු පිපෙන්නාක් මෙන් මතුවූ අතර වත්මනෙහි අප රටට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වී ඇත්තේද වහල් මෙහෙයයි. ඒජන්සිකරුවන් හා උන්ගේ තැරැව්කරුවන් ගම්බද කතුන් රට පැටවීම අරබයා කරන දහදුරාකම් කොතෙක්දැයි මාධ්‍යවල නිතර වාර්තා වීම හේතුවෙන් අද ඒවා සාමාන්‍යකරණය වී හමාරය.
ආරම්භයේදී නගරබද ලුම්පන් පන්තියේ පවුල් අතර මැදපෙරදිග වහල් මෙහෙයට යෑම සඳහා දැඩි ඉල්ලුමක් වූ අතර ඔවුන්ගේ ලුම්පන් සංස්කෘතිය හේතුවෙන් පවුල් කැඩී විසිරී යෑම, අඹුවන් මැදපෙරදිග බාබාලාගේ ලිංගික වහලුන් වීම, ස්වාමි පුරුෂයන් වෙනත් කතුන් හා විසීම, දුරාචාරය, දරුවන් අනාථයන් ලෙස හා සමාජ විරෝධීන් පරිදි සමාජයට බරක් වීම ආදිය සැලකුණේ ගණනකට නොගත යුතු දෙයක් ලෙසය. එහෙත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්වූයේ ගම්බද, අසරණ, අහිංසක ගැමි පවුල්වල මවුවරුන්ද ස්වකීය විමුක්තිය පවතින්නේ මැදපෙරදිග බවට විශ්වාස කරන්නට වූ බැවිනි.
මේ විශ්වාසය ප්‍රබල අයුරින් ගම්බද තහවුරු වූයේ කවර ආකාරයෙන්දැයි අප මෙහි විස්තර කළ යුතු නැත්තේ එම කර්තව්‍ය චන්ද්‍රසිරි කළුබෝවිල විසින් මනාව ඉටු කර ඇති බැවිනි. ඔහුගේ 'මාතාභාරි' නිර්මාණය මේ අලකලංචියේ සියලු අංග ප්‍රත්‍යංග මැනවින් විදාරණය කරයි.
'මාතාභාරි' යටි වියමන පෙර සඳහන් කරුණු කෙතරම් දැඩිව ග්‍රහණය කරන්නේදැයි කිවහොත් කුසුමාවතීට සිදුවූ විපත්තිය තමාට අනන්‍ය කරගන්නා පාඨකයාගේ මනස මෙන්ම මසැස ද කඳුළින් දෝවනය වේ.
පාඨක ජනයා එපරිදි සංවේදී වන්නේ 'මාතාභාරි' නිර්මාණය තුළ පවතින ඥානකාරක අගය විස්මිත බැවිනි. සැබෑ කලාවේ ඥානමය ගුණය අඩංගු විය යුතු බව ස්ථීරව පැවැසූ 'ප්ලෙහානව්' නම් රුසියානු චින්තකයා මෙහිදී මතකයට නැඟේ.
'මාතාභාරි' නිර්මාණයේ සුවිශේෂිතාව වන්නේ එහි එන සියලු චරිත, බාල, මහලු වශයෙන් නොබෙදී ප්‍රාණවත්ව, විශ්වාසීව හැසිරවීමට අවශ්‍ය පසුබිම මනාව සකස් කොට තිබීමයි.
මේ හේතුවෙන් බණ්ඩයියාද, කුසුමාවතීද, නිලමේද, ලී මුදලාලිද, ගුණපාලද, සිරියාවතීද, මුදිලතාද සමඟ පමණක් නොව මැද පෙරදිග කාන්ති, ලලිතා වැනි චරිත සමඟද සම සිතින් ඇසුරට පාඨකයාට අවස්ථාවක් ලැබේ. නිෂ්පාදන සම්බන්ධතා අති සංකීර්ණ වීම හේතුවෙන් බොහෝ අවුල් වියවුල් මනුෂ්‍ය ජීවිතය විපරීත කරවන බව වටහා දෙන්නට චන්ද්‍රසිරි කළුබෝවිල සමත්ව තිබීම ඔහු සාහිත්‍යයෙන් ඉටුවිය යුතු හා ඉටු කළ යුතු යුතුකම මනාව වටහා ගත් ලේඛකයෙක් බව තහවුරු කරයි.
"රට ගියා නං අක්කටත් සැප සම්පත් විඳින්ඩ පුළුවන්. සල්ලි එව්වාම බණ්ඩයියට ළමයි එක්ක කාල බීල සන්තෝසෙං ඉන්ඩ පුළුවං, නැද්ද මං කියන්නෙ"
සිරියාවතී ටිකෙන් ටික කුසුමේ ගේ සිත ආක්‍රමණය කරමින් තිබිණි.
"මට නං සැප සම්පත් නැතිවට කමක් නෑ. ළමයි ටික දුක් නොවිඳ තුන් වේල කාල ඉන්නවනං" ඇය සුසුමක් හෙළුවේ පපුව තුළ වූ සියලු බර සෝදා හරින්නට වගේය.
"එහෙමම කියන්ට එපා, අපිත් මනුස්සයෝනෙ. අර මනුස්සය දුක් විඳිනව නොසෑහෙන්ඩ, ඒකයි මං හිතුවෙ"
මාතාභාරි/98 පිටුව
"අනිත් එක අයියෙ, මෙහෙ වාගෙ මිරිස් අඹරන්ඩ, තුනපහ කොටන්ඩ, පොල් ගාන්ඩ කියල දෙයක් තියෙනවයැ. දර ටික ළිපට දමාගෙන දුමාරෙ කකා කඳුළු වැක්කෙරෙනකං පිඹින්ට ඕනෑද. නෑනෙ. උයනව කියන එක හරි ලේසියි"
"එහෙනං කොහොමද ලතෝ උයන්නෙ"
"අඹරන්ඩ කරන්ඩ මැසිං තියෙනව. ළිප් ඔක්කෝම ගෑස් ඕං..."
මුදිතලතා යටිතොළ නොපිට පෙරළා ඔළුව හෙල්ලුවේ ඔජ වඩන්නට වගේය.
මාතාභාරි/පිටුව 157
කුසුමාවතී වැනි ගම්බද මවුවරු මැදපෙරදිග වහල් මෙහෙයට යනවා නොව ඉබේ එහි තල්ලු කර දමන්නට සමත් වටපිටාව සමාජයෙන් මතුව එන්නේ කිසිසේත්ම ප්‍රතික්ෂේප කළ නොහැකි අයුරෙනි. ඔවුන් එතැනට ඇද දමන්නට අවශ්‍ය සියලු තත්ත්වයන් ගෝලීය ධනේශ්වර ආර්ථිකය විසින් නිර්මාණය කොට තිබිණි.
එබැවින් බණ්ඩයියලා එකෙක් නොව ලක්ෂයක් විරුද්ධ වූවත් කුසුමාවතීලා වහල් මෙහෙයට යෑම අනිවාර්ය කරුණක් විය. මැද පෙරදිග ගොස් පැමිණි සිරියලතා ලා මෙන්ම මුදිතලතාද කුසුමාවතී හමුවේ කරන්නේ රඟපෑමක් බව ඔවුන්ද කුසුමාවතීද ආත්මිකව වටහා නොගැනීම මෙහි උත්ප්‍රාසයයි.
කුසුමාවතී මැද පෙරදිග යෑම හා බාබාගේ ලිංගික අතවර ප්‍රතික්ෂේප කිරීම, ඒ හේතුවෙන් මානසික කම්පනයට ගොදුරුව යළි පැමිණීම, මානසික රෝහල්ගත වීම යනාදී සියල්ල පවතින ධනේශ්වර නිෂ්පාදන ක්රමයේ අතිරික්ත පල ලෙස නිර්ධනයන්ට මුහුණ පෑමට සිදුවන ඛේදජනක සිද්ධීන්වල එකතුවකි.
සාහිත්‍යය මඟින්, සාහිත්‍ය නිර්මාණකාරයා විසින් මේ සිද්ධි දාමයන් අලංකරණයට ලක් කරනු ලැබීමෙන් සිදුවිය හැක්කේ අතිරික්ත පල සියල්ල පෞද්ගලිකත්වයෙන් වැසී යෑම පමණකි. වඩාත් සෘජුව කියන්නේ නම් 'මොන තත්ත්වයක් යටතේ වුව කුසුමාවතී රට නොගොස් සිටියා නම් ඇයට මේ තත්ත්වය උදා නොවන්නේය. යන අතිශය පෞද්ගලික සිතිවිල්ලට පාඨක ජනයා ඇද දැමීමකි.
එනමුත් ස්වාර්ථයම තකමින් සිටි නිලමේ කුසුමාවතීගේ ව්‍යසනය හමුවේ වෙනස් වෙයි. එයින් මූර්තිමත් වන්නේ පවතින යථාර්ථයට මුහුණ පෑමේ සූදානම් සහිතව ඔහු අනාගතයට පියනඟන බවය. යථාර්ථය වටහා ගන්නා බවය.
'මාතාභාරි' වියමන අරබයා චන්ද්‍රසිරි කලුබෝවිල ප්‍රශංසා ලැබිය යුතු වේ.
මව්බිම