දේශපාලන කුණු හබ්බ වළින් ෆේස්බුකියෙ බිත්ති ජරා වෙලා . මොහොතකට පෙර බිත්ති කිහිපයක් පසුකොට යද්දි ප්‍රියන්ත කොඩිප්පිලි ගෙ අපූරු කවියක් දැක්කා ජෝ මහත්තයට, එහෙමත් නැතිනම් ජෝ සෙනෙවිරත්න ගැන ලියලා තිබුන... තවත් ටිකක් හොයලා බලද්දි කපිල .එම්. ගමගේත් සුබ ගමන් කියලා ලියලා තිබුනා. මොහොතක් නතර වෙලා බැලුවා. ඔව් ඒ සොඳුරු මිනිසා නික්ම ගිහින්.
ජෝ අයියව මට මුණගැහෙන්නෙ සිරසෙ නිමල් ලක්ෂපතිආරච්චි අයියා මට සුළංකපොල්ල වාර්ථා වැඩ සටහන් කරන්න ආරාධනා කළ වෙලාවෙ.මම අධ්‍යක්ෂණය කරපු වාර්ථා වැඩ සටහන් සියල්ලෙ සංවාද පිටපත ලිව්වෙ ජෝ අයියා... එහෙමත් නැතිනම් ජෝ මහත්තයා.1998 1999 කාලෙ අපි ගබ්සාව නීති ගත කරන්න ඔිනෙ කියන තැන හිටියා... ලිංගික ශ්‍රමික වෘත්තිය නීති ගත කරන්න ඔනෙ කියන තැන හිටියා. අපේ කණ්ඩායම සංක්‍රාන්ති ලිංගික යන්ට සමාජයේ සම තැන ආරක්ෂාව ලැබිය යුතුයි කියන තැන හිටියා. තෙවැනි ලිංගික සමූහයක් මේ රටේ සිටින බවත් ඔවුන්ට මේ සමාජයේ සමතැන ලැබිය යුතුබවත් අපි කිව්වා... ජෝ මහත්තයා ඒ අදහස් එක්ක හිටියා.
එකළ අපි වැනි තරුණ කණ්ඩායමක් එක්ක ජෝ මහත්තයා බොහෝ සාමුහිකව කටයුතු කළා. ඔහු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ක්‍රමසම්පාදන, තරුණ කටයුතු, නිවාස ඉදිකිරීම්, වාරිමාර්ග අමාත්‍ය ධුරය දැරුව නිසා ඔහුට බොහෝ අත්දැකීම් තිබුනා අපි වගේ නාහට නාහන ඇට්ටර පිරිසක් මෙල්ල කරගෙන වැඩ කරන්න. අපි ට ඔිනෙ වුනේ මේ සාමජ අසාධාරණයන් ට කෙළින්ම පොල්ලෙන් පහර දෙන්න වුනත් ජෝ මහත්තයා තමන් කරන ගවේෂණය හරි ලස්සනට විචිත්‍රවත් පිටපතකට ලියලා ගේනවා. නිමල් අයියා නිලේන්ද්‍ර අයියා අපි ඔක්කොමලා ඒකට එකගවෙනවා... සුළං කපොල්ල වාර්ථා වැඩ සටහන් ඒ කාලේ සිරස ට වෙනම ආචම්බරයක් ගෙනාවා. අද වගේ තුට්ටු දෙකේ දේශපාලනයක් නෙමේ සිරස ඒ කාලේ කළේ ජනතාවගේ පැත්තෙ හිටගෙනයි ඒ දේශපාලනය කළේ.
ජෝ මහත්තයත් ජීවිතේ වින්ඳා හරි අපූරු විදිහට. හොඳ රසවතෙක්. කලාකරුවෙක් උගතෙක්... සමාජක්රියා කාරකයෙක්.....මිතුරෙක් සහෘදයෙක්.
"හැමටම වඩා මනුස්සකම ලොකුයි. මනුස්සකමට වඩා වැඩියෙන් ලොකු දෙයක් නෑ. ඒ තුළත් ජාතිවාදයට ඉඩක් නෑ. ජාතිය, භාෂාව,වර්ණය මේව සියල්ලක්ම හිරගෙවල්. මාක්ස්ලටත් ඉස්සර වෙලා අවුරුදු 2500 කටත් පෙරාතුව, බුදුන්වහන්සේ වගේ පඬිවරු ඒ බව කිව්ව.බුදුන්වහනසේත් කිවවේ මේ. බැඳීම් වලින් මිදෙන්න කියලයි. මනුස්සයෙක් වෙලා උපදිනත් මහා පිංකමක් කරල තියෙන්න ඕනැ කියලයි උන්වහන්සේ දේශනා කෙරුවෙ, කෙනෙක් කතා කරන භාෂාව නිසා ඔහු මනුස්සයෙක් නෙමයි කියල කොන් කරන්නෙ කොහොමද?, මගෙ බස කතාකරෙැවොත් තමයි ඔහු මනුස්සය. මගෙ ආගම ඇදහෙව්වො.ත් විතරයි මනුස්සය, කියල හිතන්න පුළුවන්ද? මිනිහෙක් ගෝ ත්රයෙන්වත්, වස්ත්රයෙන්වත්, කුලයෙන්වත් වෙන් කරල හිතන්න කිබෑයන බුද්ධ පණිවිඩය නොදන්න බෞද්ධයො තමයි ජාතිවාදය ගැන කතාකරන්නෙ. මේ ආකල්පය තියන කල් අපේ රටේ බුදුන්ටත් දෙයියන්ගෙම පිහිටයි.වමේ ව්‍යාපාරයටත් දෙයියන්ගෙම පිහිටයි."
ජෝ මහත්තයා එහෙම කියලා තිබුනෙ පුවත් පත් සාකච්ජාවකදි.
කොහාමවුනත් මේ රටේ බුද්දිමත් පරම්පරාව හැමක්ෂෙත්රයක් ඇතුළෙම හිස් වෙමින් යනවා. දේශපාලන ක්ෂෙත්රයෙ හිස් මිනිස්සු ජීවත්වෙනවා.
ගැඹුරු දේශපාලන දැක්මක් තිබුන සිනමා කරුවො සාහිත්‍යකරුවො ජනතාවට ආදරේ කරපු ජනතාව වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු නික්ම යනවා. ජෝ සෙනෙවිරත්නත් ඒ අයගෙන් එක්කෙනකේ. පතී අයියා ගිහින් ඉතා ටික කළෙකින් ජෝ සෙනෙවෙිරත්නත් ගිහින්.
මේ හිස්තැන් කොහොම පුරවන්නද?
නික්ම ගිය සියල්ලෝම සතුටිනි.
මනෝ-