"බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන්ට වෙඩි තියලා මරලා දාන්න ඕනේ. නැත්නම් බඳින්න ඕනේ " දඩයම චිත්‍රපටයේ දසනායක මුදියන්සේලාගේ රත්මලී තමන්ව රවට්ටන්න හදන පෙම්වතා
ජයනාත් ආනන්ද ගොඩගේට එහෙම කියනවා. රත්මලී හිතන විදියට ජයනාත්ව මරලා දාන්න බැහැ. ඒ නිසා එයාව කසාද බඳින්න ඕනේ කියලා හිතුවට දඩාවතේ යන බල්ලන්ව මට්ටු කරන එක ලේසි නැහැ කියන එකත් ඒ තරම් ජයනාත් ඔප්පු කරනවා. රත්මලීටයි නූපන් කළලයටයි අවාසනාවන්ත මරණයක් උරුම වෙනවා. කාවවත් මට්ටු කරන්න හිතාගේන තමන්ගේ ජීවිතේ අනතුරේ තියපු හුඟ දෙනෙක්ට ඔය වගේ සිදුවීම් වලට මූණ දෙන්න සිදු වුණා. කොච්චර වෙනස් කියලා හිතාගෙන ජීවත් වෙන්න හැදුවත් හම මනුස්සයෙක්ම එකම ලේ මස් නහර වලින් හැදිලා තියෙන බව යටපත් කරන්න කාටවත් බැහැ. සුමිත්‍රා රාහුබද්ධගේ "කෙළිමඬල" නවකතාවේ රංජනී කියන්නේ අවිවාහකව දරුවෙක් ප්‍රසූත කරන නිර්භීත කාන්තාවක්. තමන්ව අත ඇරලා සල්ලි තියෙන තැනකින් කසාදයක් බැඳගත්ත පූජිතට රිදවන්න හිතන රංජනී ඒ දෙන්නගේ දරුවට "දිසාලා' කියලා නම දානවා. විජයගෙන් කුවේණියට ලබුනු දුවගේ නම දාන්න තරම් හිත තද වුණත් රංජනී ට ඒ වෙනස් බව හැමදාටම පවත්වාගෙන යන්න බැහැ. දුවගේ අවශ්‍යතා ඉටු කරන්න බැරි වුණාම එයත් බොහොම සාම්ප්‍රදායික රිදී දෝලියක් බවට පත් වෙනවා. පූජිතගේ පළවෙනි විවාහයේ දරුවන්ට ලැබෙන සැප සම්පත් සංසන්දනය කරන්න බලනවා. එදා රත්මලී බල්ලෝ බඳින්න ගිහින් එක දරුවෙක් මේ ලෝකේ තනි කරලා නූපන් කළලයක් එක්ක පරලොව ගියා. මෙතන රංජනී තමන්ගේ පෙම්වතාව රිද්දන්න ගිහිං කිසිදෙයක් නොදන්න දරුවෙක්ව උප්පැන්න සහතිකේ ඉඳන් අපහසුතාවයට ලක් කළා. අන්තිමට පීඩා විඳලා තියෙන්නේ මේ සිදුවීම් වලට අදාල නැති වෙනත් පාර්ශ්වයක් කියලා හිතෙන කොට පෙරහැර ගිහින් ඉවරයි.
"බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ . සැඩොලා වුණත් සුදනෙකු නම් පුටුව දෙනූ " කියලා නන්දා මාලිනී ගයන අපූරු ගීයක් අපි හැමෝගෙම මතකේ තියෙනවා. ප්‍රතිපත්ති ගැන කතා කළාට ක්‍රියාත්මක කිරීම අතින් අපි කොච්චර ප්‍රාථමිකද ? කාලයක් අපරාධකාරයෝ ගංගා නිම්න ආශ්රිත ප්‍රදේශ වල හංගපු ආයුධ පෙන්නන්න ගියා.එකපාරම ගංදියට පැනලා මැරෙන්න ගත්තා.නැත්නම් ඒ අතරේ පොලිසියට බෝම්බ ගහන්න යද්දි මැරුම් කෑවා. "තීන්ත වේලී නැත" කියලා තියෙන දැන්වීම් වුණත් අල්ලලා බලලා ඇත්ත නැත්ත පරීක්ෂා කරන්න කැමති අපි මාංචු දාපු මනුස්සයෙක් බෝම්බ ගහන්නේ කොහොමද කියලා හිතන්න කැමති නැහැ. ඒ වෙලාවට අපි හිතනවා බල්ලන්ට වෙඩි තියලා හරි මරන්න ඕනේ කියලා. බල්ලන්ට වෙඩි තියන්න දෙන නිදහස වල්බූරු නිදහසක් වෙන බව තේරෙනකොට පරක්කු වැඩියි. අඟුලාන පොලිස් ස්ථානාධිපති පුද්ගලික අමනාපයක් නිසා තරුණයන් දෙන්නෙක්ට වෙඩි තියලා මරලා දැම්මා. ගමේ මිනිස්සු එකතු වෙලා පොලිසියට ගල් ගැහුවා. දැන් ඔන්න පොලිසිය ට බමුණාගේ චරිතය අහිමිවෙලා සැඩොලාගේ භූමිකාව ලැබෙනවා. අංගුලිමාල අපරාධකාරයෙක් වුණේ ගුරුවරයාගේ වැරැද්දෙන්මයි කියලා කටපාඩම් කරපු අපිට මේක මහ ලොකු දෙයක්ද? ඒ නිසා ඕනෑම හොරෙක් මංකොල්ලකාරයෙක් මම මෙහෙම වුණේ පොලිසිය නිසා කියලා කිව්වොත් අපි හොරාගේ වැරදි අමතක කරලා පොලිසියේ කන්‍යභාවය හොයනවා. එදා පොලිසිය කියන දේ අහලා අපරාධකාරන්ට හෙන ඉල්ලපු අපි අද අපරාධකාරයෝ කියන ඒවා අහලා පොලිසියට හෙණ ඉල්ලනවා.
- සහන් කසීර වික්‍රමසිංහ -