කලා වාරණයේ ප්‍රමුඛයා රැගුම් පාලක මණ්ඩලය විතරක් නෙමෙයි. අපි අතරම ඒක තියෙනවා.
රැගුම් පාලක මණ්ඩලය කියන්නෙ අපි අතරම තියෙන වාරණයේ සංස්ථාපිත ආයතනය.
අසංක සායක්කාරගේ නාට්‍ය තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රැගුම් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද ලිපියට අනුව අසංක සායක්කාර පිටපතේ නැති දෙබසක් වැරදීමකින් භාවිතා කර ඇති බව පිලිගැනීමෙන් පසුව ඔහු එම දෙබස ඉවත් කිරීමට එකඟ වීම නිසා තහනම ඉවත් කළ බවයි. දැන් ගැටලුව ඇත්තෙ කොහිද? රැගුම් පාලක මණ්ඩලයේද ? අසංක සායක්කාරගේද ? අපගේ ද? නැත්නම් වෙනත් කොතැනකද ?
නාට්‍යක් යනු සජීවි දර්ශනයකි. නාට්‍යක පිටපතේ නැති දෙබසක් කීමට නොහැකි නම් එම කලාව මොකටද? නොකිය යුතු දේවල් ගැන අපගේ රහසිගත එකඟතවය කුමක්ද? මෙන්න මේක තමයි වාරණය කියන්නෙ. නොකිය යුතු දේවල් ගැන අපට තියෙන රහසිගත එකඟතාවය. කලාව විප්ලවීය වෙන්නෙ මෙන්න මේ රහසිගත එකඟතාවය බිඳ දැමීම. මේ රහසිගත එකඟතාවය තමයි සමස්ත සමාජයේ තියෙන ඊනියා සදාචාරයේ එකඟතාවය. රැගුම් පාලක මණ්ඩලයට මෙම රහසිගත එකඟතාවයෙන් ගැලවෙන්ඩ බෑ. මොකද ඔවුන්ට තීරණයක් ගත යුතු තීරණාත්මක අවස්ථාවේදී ඉන්නෙ මෙන්න මේ රහසිගත එකඟතාවයේ. ඔවුන්ට බෑ කලාව ලග හිට ගන්ඩ. අපි එහෙම ඉල්ලනවා ඒක තමයි ලොකුම විහිලුව. කලාකරුවාට විතරයි මේ රහසිගත එකඟතාවය බිඳ දැමිය හැක්කෙ. ඒ නිසයි අපි ඒකට ප්රකාශනය කියන්නෙ.
නාට්‍ය කලාව මරා දමා ඇත. පිටපතටම අනුව නාට්‍යක් කරන්ඩ නාට්‍යකරුවා එකඟකර ගැනීම යනු රාජ්‍ය ප්රචණ්ඩත්වය නාට්‍ය කලාවට එරෙහිව ක්‍රියාත්මක වන එක ආකාරයක්. නාට්‍ය කලාවේ සජීවි ගුණයට එරෙහි සෑම තැනකම එය සිදු වෙයි. පිටපත් නොමැතිව නාට්‍ය කළ නොහැකිද ? ඒ මොහොතේ ක්ෂණිකව රඟ දක්වන නාට්‍ය ගැන ලෝකය අත්හදා බැලිම් සිදු කර ඇත. එවැනි ශානරයන් ඇත. එවැනි දේවල් මෙහි සිදු විය නොහැක. අපට ඇත්තෙ මිනිය පුංචි තියටර් එක වටේට පැදකුනු කරලා බොරැල්ල කනත්තට අත ඇරලා එන එක. කලා ප්‍රකාශකයන්ට ස්වයං වාරණය ක්‍රියාත්මක කරන ප්‍රධාන පෙළේ රටක් ලංකාව. මෙම ස්වයං වාරණය නිසා ලංකාවේ තිබෙන්නෙ මිය ගිය අවුරුදු දහස් ගාණක් වයස නාට්‍ය මළ මිනියක්. සායක්කාර ඔයා එකග වුනේ මේ මළ මිනිය කර තියාගෙන යන්ඩ බව මම ආදරයෙන් මතක් කරන්ඩ කැමතියි.
නදීකා බංඩාර