"ඝරසර්ප" විශිෂ්ඨ නිර්මාණයකි.... එය මා කියන්නේ එහි රංගනය විග්රහ කර නොව, එහි ජයන්ත චන්ද්‍රසිරි සාධකය ක්‍රියාත්මක වී ඇති ආකාරය හොඳින් පරීක්ෂා කිරීමෙන් පසුවය.......
ඝරසර්ප සිනමා පටයේ සමස්ථ කථාව පිටු පහක් ආයාසයෙන් පිරවිය හැකි "පත්‍රිකාවකි" ..... නමුත් එම පත්‍රිකාව ඔස්සේ මනස මෙහෙයවා එහි ගැඹුරු බව රස විඳින්නට ඔබට දැනුම සහ අත්දැකීම් තිබිය යුතුය....ඒ දෙකම ඇති කෙනෙකුට ඕනම කුඩා පත්‍රිකාවක ඇති ආඛ්‍යානයක් එන්සයික්ලොපීඩියාවක් කර ගත හැක...... යමෙකුට එය කළ නොහැකි නම්, එම පුද්ගලයාට ලැබෙන දුෂ්පෝෂිත රස වින්දනය ඔහුගේ හෝ ඇයගේ මනසේ වරදක් සහ පරිකල්පනයේ දුර්වලතාවයක් විනා, වින්දන මූලාශ්‍රයේ වරදක් නොවන බව දත යුතුය.....
වෘත්තය හැර, ජ්‍යාමිතියේ අනෙක් සියළු හැඩතල බිහිවන්නේ කවර හෝ දිශාවකට අඳින ලද සරල රේඛාවකිනි......ජයන්ත චන්ද්‍රසිරි කරන්නේ අපට සංකීර්ණ හැඩතල මවා ගන්නා ලෙස ඇරයුම් කරමින්, මෙන්න මේ සරල රේඛාව ඇඳ දීම පමණි.....එයින් බිහිවන පංචාස්‍ර, ෂඩාස්‍ර සියල්ල අප විසින් නිර්මාණය කර ගන්නට සමත්විය යුතුය......ඝරසර්ප නම් කථා පිංච බැලු බැල්මට "ෆිල්ම් හෝල් එකකට ගිහින් සල්ලි දීලා බලන්න වත් නොවටිනා පුංචි කථා පොඩිත්තකි"..... එතන ඇත්තටම කථාවක් නැත......ඒ "බැලු බැල්මට " තත්වයයි..... බැලු බැල්ම පසෙක ලා, බැල්ම වෙනස් කරගෙන බලන්නේ නම්, ඒ කොළ පහක විතර කථා පොඩිත්ත ඉතාම ගැඹුරින් රස විඳිය හැකිය.
ඝරසර්ප සම්පූර්ණයෙන් රස විඳින්නට නම්,
- අවිඥාණික ප්‍රකාශයක් යනු කුමක්දැයි දැන සිටිය යුතුය,
- කථා ආඛ්‍යානයේ සෑම කොටසක්ම සිය පෞද්ගලික ජීවිතය තුළ අත්විඳ, ඒ හා සමාන අත්දැකීම් වලින් පරිපූර්ණව සිටිය යුතුය
- අසංතෘප්ත ආදරයක් යනු මොන අවිනිශ්චිතතාවයක්ද ? ඒ අවිනිශ්චිතතාවය මොන වගේ වේදනාවක්දැයි දැන සිටිය යුතුය..
සංතෘප්ත ආදරයක් යනු හැමවිටම සුඛාන්තයක් ඇති ආදරයක් නොවේ.......වෙනත් වචන වලින් කියතොත්, ආදරයේ "ජයග්‍රාහී කඩඉම " ලෙස සමාජ සම්මත "විවාහය" හෝ "ලිංගික සුරතාන්තය" සමග ලැබෙන දිගු කාළීන "හිමිවීම" නොවේ.... ( යේසුස් වහන්සේගේ ආදරය හැර අනෙක් සෑම ආදරයක්ම ලිංගික හෝ ප්රයෝජ්ය සුරතාන්තයන්ගෙන් සහ ඒ සමග එන හිමිවීම් වලින් සමන්විත බව දොස්තොව්ස්කි සයිබීරියාවේ සිරගතව සිටි සමයේ ක්‍රිස්තු ආත්මයේ විඳවීමට සමීප වෙන්නට දරන ලද උත්සාහය ගැන පසු කළෙක ලියන ලද ලියවිල්ලක ඇත ) ....
ආදරයක් "සංතෘප්ත වීම" යනු ගැමි වහරෙන්ම කියතොත්, "දෙකෙන් එකක් සිදුවී" නිශ්චිතව අවසන් වීමය..... ඒ නිසා සිය ප්‍රේමයේ ලිංගික ප්‍රමෝදය සහ හිමිවීම කරගැනීමට එකිනෙකාගේ අදහස් සහ ආත්මයන් නොගැළපීම බාධාවක් වීමෙන් හෝ පවුල්, ආගම්, සංස්කෘතික පසුබිම් ආදිය නිසා සිදුවන බලපෑම් නිසා නොහැකි වූ අයද, සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උනුන්ගෙන් වෙන්ව ගොස්, කඳුලැලි සලා, හැඟීම් අතර අතරමං වී, නොයෙකුත් දුක් විදනා විඳ, පසුව නිශ්චිතවම එම ආදරණීය හැඟීම "අවසන් කර" දැමීමද ආදරය සංතෘප්ත වීමකි......
මෙසේ සංතෘප්ත වූ ආදරයන් වලට වඩා අසංතෘප්තව අවසන් වූ ආදරයන් අතිශය භයානකය..... ඒවායේ විඳවීම සහ වේදනාව මුළු සියොළඟම විනිවිද, ඇට මිදුළු වෙව්ලවමින් නහර, ස්නායු අස්සේ භූ කම්පනයක කම්පන තරංග මෙන් ගමන් කරයි.......
තමා ආදරය කළ පෙම්වතා, පෙම්වතිය "දැන් කොහිද? ඇය / ඔහු තවම ආදරය කරනවාද? ජීවතුන් අතරද? කුමක් සිදුවූවාද? ඒ ආදරය එසේ අවසන් වූයේ ඇයි? " යන ප්‍රශ්ණ සහ ඒ සියල්ලටම වඩා භයානක ප්‍රශ්ණය වන " මා දැන් කරන්නේ කුමක්ද? " යන සියොළඟ වෙව්ලන ප්‍රශ්ණය මොන තරම් බිහිසුණු වේදනාවක්දැයි තේරුම් ගන්නට එවැනි අසංතෘප්ත ආදරයක Suspense එක ජීවිතයේ එක් වරක් හෝ විඳවන්නට සිදුවීමේ අත්දැකීම් තිබිය යුතුය...... මට එවැනි එක් අත්දැකීමක් නව යොවුන් වියේදී ලැබී තිබේ.... ඒ නිසා මේ නිර්මාණය මට සෑහෙන දැනීමකි.......
ගතවන සෑම මොහොතකම තමන්ගේ අසංතෘප්ත නොවිසඳුණු ආදර කථාවට සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටීමේ භයානක හිස් බව මා භුක්ති විඳ ඇත්තෙමි.... එසේ හෙයින් විද්‍යා කැනඩාවට ගෙන යෑමෙන් පසුව සඳරැස් ගත කළ වසර තිස් හතට මට පහසුවෙන් සමවැදිය හැක.....
කලුකුමාර යක්ෂ දිෂ්ඨිය කියා වාස්තවික වූ යම් ප්‍රාණයක් ඇති බව කියමින් ජයන්ත චන්ද්‍රසිරි චිත්‍රපටය අවසන් කරයි......ඒ ගැන හෝ ඔහු එහිදී සන්සන්දනය කරන ලෙස අපට ඇරයුම් කරන දැනුම් පද්ධති ගැන මා කිසිවක් නොකියන්නේ, ඒවා මෙතනට අදාළ නොවන නිසාය..... ඒ වනාහි චන්ද්‍රසිරිගේ සංස්කෘතික අතරමං වීමයි......."බටහිර විද්‍යාවට විකල්ප" ලෙස වෙනත් දැනුම් පද්ධති ගැන කථා කරන බොහෝ අය ඉන්නේ සංස්කෘතික අතරමංවීමක සහ අනන්‍යතා අර්බුදයකය......
නමුත්, මට මෙම සිනමාපටයේ ආඛ්‍යානය මෙසේ කියවා ගැනීමේ නිදහස තිබේ.....
කළු කුමාර යක්ෂ දිෂ්ඨිය යනු මෙරට තරුණියන්ගේ ( අවිවාහක ) ලිංගික අහේණියේ අවිඥාණික ප්‍රකාශය නියෝජනය කරන මනෝ රූපයයි.....වෙනත් වචන වලින් කියනවා නම්, ලිංගික අහේණිය, විරුද්ධ ලිංගිකයන්ගේ ස්පර්ශය පතන අයුරින් නොලැබීම සහ ඒ නිසා ගොඩනැගෙන අසහනය ඔවුන්ව කෙතරම් Desperation එකකට ගෙන යනවාද යත්, " මාත් එක්ක බුදියන්න මිනිහෙක් එන්නෙ නැත්තන්, අමනුෂ්‍ය පාරභෞතික ආත්මයක් හරි කමක් නෑ ඇවිත් මට හුකලා යනවා නම්" කියන හැඟීම් සමාලෝචනය කලු කුමාර දිෂ්ටිය නම් මනෝරූපය හරහා මෙරට අවිවාහක තරුණ කාන්තාවන් වෙත එයි......එය සමාජ සම්මත තත්වයයි.....
එහිදී ලිංගික තෘප්තිය ආගම් විසින් වාරණය කරන ලද පසුතලයක, මේ අමනුෂ්‍ය ආත්මයට දේවත්වයක් ආරෝපණය නොවී, යක්ෂයෙකු හරහා නිරූපණය වේ.....
නමුත් "ඝරසර්ප" හි කලු කුමාර දිෂ්ඨිය පිරිමින්ගේ අවිඥාණික ප්‍රකාශයක් ලෙසද අපට කියවා ගත හැක..... එවිට,
අසංතෘප්ත ලිංගික ආශාවන් නිසා අසහනයෙන් පෙළෙන කාන්තාවකගේ ඩෙස්පරේෂන් එකේ උපරිමය පාරභෞතික අමනුෂ්‍ය ජීවියෙක් ලෙස පැමිණ ලිංගික එක්වීම වෙනුවට,
අසංතෘප්ත ආදරය නිසා භයානක වේදනාවක් විඳවන පිරිමින්ගේ ඩෙස්පරේෂන් එකේ උපරිමය අමනුෂ්‍යයෙකු ලෙස ඒ අසංතෘප්ත ආදරය පූර්ණය කරන්නට ඉදිරිපත් වීම ලෙස අර්ථ දැක්විය හැක......( " යකෙක් හරි කමක් නෑ, මට ඒකිව මුණ ගස්සනව නම් " )
ඒ යකා විසින් වසර 37 කට පසුව විද්‍යා ව මුණ ගස්වන ලද විට, සඳරැස් ඇය සමග කරන සංවාදය පුරාවට "දැන් දැන් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ආදර කථාව නිශ්චිත අවසානයකට ගෙන එනු ඇත" යන ආතතියෙන් ප්‍රේක්ෂකාගාරය ඔවුන් දෙස ඇසිපිය නොහෙළා බලා සිටිති.....නමුත් සඳරැස් ඇයට ඒ ගැන වචනයක් වත් නොකියා කාමරයේ දොර දෙසට නික්ම යනවිට ප්‍රේක්ෂකයන්ද ඊට සමගාමීව විඳවන අසංතෘප්ත, අසම්පූර්ණ බව, නැවත හැරී එන සඳරැස් විද්‍යා ව තරයේ වැළඳ ගැනීම සමග අවසන්වේ......විද්‍යා ව තරයේ වැළඳගන්නා සඳරැස්, ඒ අවුරුදු 37 ක් පැරණි අසංතෘප්ත ආදර කථාවට සංතෘප්ත නිශ්චිත අවසානයක් ගෙනෙයි..... ඉන් පසුව විද්‍යා සමග අනියම් පෙමක් පටන් ගන්නට හෝ, සිය බිරියගෙන් දික් කසාද වී විද්‍යා ව විවාහ කරගන්නට සඳරැස්ට උවමනා නැත.....ඔහුට ඕනෑ වූයේ අවසන් නොවූ ආදරයේ වේදනාවෙන් මිදීමටය.....වැළඳ ගැනීමෙන් පසුව "අහිමිවීමෙන්" හෝ ඒ ආදරය අවසන් වීම සමග ඔහු ඉමහත් සැනසීමකට පැමිණේ........ඉන් පසුව හෙදියකට ආවේෂ වන යක්ෂ දිෂ්ඨිය "සඳරැස් ඔන්න මගේ පොරොන්දුව ඉෂ්ඨ කළා" කියන විට ඔහු " බොහොම ස්තූතියි ! දැන් ඔය ඇති !" කියන්නේ ඒ නිසාය......ඒ අසම්පූර්ණ ආදරය "නිශ්චිතවම අහිමිවී ඇති බව" වටහාගැනීමෙන් සම්පූර්ණ වූයේ ඒ අවසන් වැළඳ ගැනීමත් සමගය.....
මට මේ කුඩා, සිල්ලර කථා ආඛ්‍යානය මෙතරම් දීර්ඝව විග්රහ කරන්නට සිතුනේ මේ සියල්ල මගේ පෞද්ගලික අත්දැකීම් ආසන්නයෙන්, පෘතුවියට ඉතාම අවදානම් සහගත ලෙස ආසන්නයෙන් ගමන් කරන ග්‍රාහකයක් සේ, ගමන් කරන නිසාය........
ජයන්ත චන්ද්‍රසිරි ඇඳ ඇත්තේ සරල රේඛාව පමණි.......ඒ සරල රේඛාවෙන් ෂඩස්‍රයක්, අෂ්ටාස්රයක් මවා ගැනීම ප්‍රේක්ෂකයාගේ මනසේ සහ මනස පිටුපස ඇති අත්දැකීම් ගබඩාවේ තරමටය.......
- පසුවට -
අප විවිධ ක්‍රම වලින් යකුන් එළවා දමන්නෙමු.....ඒ එළවා දැමීම අපේ දෘෂ්ඨි කෝණයෙන් විග්රහ කරන්නෙමු.....එහෙත් ඒ එළවනු ලැබීම යකාට කොහොම දැනෙනවාදැයි අප සිතන්නේ නැත......මට මුළු චිත්‍රපටියටම වඩා එහි අවසන් ජවනිකාව වටින්නේ ඒ නිසාය..... හෙදියකට ආවේෂ වූ කළු කුමාර යකු " යාලු කළු යකු හට" ආදී ලෙස පටන් ගන්නා තොවිලයේ පැන්නුම් කවිය කියමින් පිනුම් ගසමින් සඳරැස් වෙතින් ඉවතට යයි......තමන්ව එළවා දමන්න කියන කවිය යකාටම කටපාඩම්ය......අප ශරීරයට එන ජීවී රෝග කාරක විනාශ කරන්නට දෙන ප්‍රතිජීවක ඖෂධ වලට සමහරවිට ඒ ජීවී රෝගකාරක අනුවර්තනය වේ ... ඉන් පසුව එම ප්‍රතිජීවක ඖෂධ වලින් ඵලක් නැත......එයට අප සරල බසින් " බෙහෙත් අහන්නේ නැතුව යනවා" යැයි කියන්නෙමු....... මේකත් ඒ වගේය.... යකා එළවන්න ශත වර්ෂ ගණනාවක් තිස්සේ කියන කවි යකාටම කටපාඩම්ය.......දැන් යකා යයිද?... නැත්තන් අලුත් කවි කියන්නට වෙයිද?......
( මෙය මට මේ චිත්‍රපටිය පෞද්ගලික අත්දැකීම් සමග දැනෙන ආකාරයය.....මේ ලියවිල්ල ඒ වින්දනයේ ප්‍රකාශයයි... එය ඔබට දැනෙන්නේ සාපේක්ෂව "සිල්ලර" විදියකට නම් ඔබට මා වන්නට නොහැකි බවත්, මට ඔබ වන්නට උවමනා නැති බවත් මතක තබා ගන්න )
By Damith Kethaka