කලා නිර්මාණ යනු ශිෂ්ටත්වයේ ව්‍යාපෘතිය දෙසට වැටී ඇති තවත් එක් මගකි. කලා කෘති නිර්මාණය මෙන් ම කලා විචාරය ද පහසු දෙයක් නොවේ. කලා විචාරයේ ඉතිහාසය, නිර්මාණ ඉතිහාසය තරම් ම පැරණි ය. ශ්‍රී ලංකාවේ ද කලා විචාරය නොයෙක් හැරවුම් පසුකරමින් ආ එකකි. එසේ ම කලා නිර්මාණයන්ගේ පැහැය සම්බන්ධයෙන් ද විචාරයේ පැහැය සම්බන්ධයෙන් ද අඩු වැඩි වශයෙන් විවේචන අපට තිබේ. එනමුත් වැඩි ශිෂ්ටත්වයක් බලාපොරොත්තු වන විෂය ප්‍රදේශයක දී මතුවන විමතික කරුණක් අරභයා ගමේ චණ්ඩි ඉස්ටැන්ලිලා මෙන් කටයුතු කිරීම නම් කැඩපත් රූපය අපට පෙන්වන්නේ කුමක් ද?
මේ සම්බන්ධයෙන් මෑතකාලීන උදාහරණ කිහිපයක් තිබේ. විවේචනය, විචාරය උහුලන්නට බැරි තරම් ඔවුන්ගේ ඊගෝව දිගින් පළලින් වැඩිය. කොළඹ සන්නිය නම් මෙරට හාස්‍ය සිනමාවේ සලකුණක් බඳු නිර්මාණයක යශෝරාවයෙන් තුට්ටු දෙකක් සොයාගන්නට එය කාබාසිනියා කර දැමීම ගැන පසුගිය දවසක අපිදු ලියා තැබුවෙමු. මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි ලියූ සටහනක් නිසා ගුවන් තොටිල්ල ගස්සා ගත් උක්ත අධ්යක්ෂවරයා කියාගන්නා ගැටවරයාගේ මඳ කිපී ප්‍රියන්තට මරණ තර්ජනය කර තිබේ. ඔහු සහ ඒ හස්ත විකාර මුඛ විකාර රංගයේ පෙනී සිටින්නන් අතිශය කලාවිහීන ප්‍රකාශ කරමින් ප්‍රියන්තගේ අදහස් ප්රකාශනයේ අයිතිය වාරණයට යෝජනා ගෙන එයි. අතිශය ළදරු තර්කවලිනි. කලා සංස්කෘතික හැසිරීමක හය හතරවත් නොදන්නා මෙවැනි අධ්යක්ෂ ලබුකබල් උඩ ඒම පසුපස මහත් දේශපාලන, සංස්කෘතික සහ සමාජ ආර්ථික කාරණා ප්‍රමාණයක් තිබේ. නිසැකව ම මේ දකින්නට ඇත්තේ ගැටලුවේ ප්රකාශනය මිස මූලය නොවේ.
මතුව ඇති තත්වය මත්තේ සමහරු බඩ පිනුම් ගසමින් ප්‍රියන්තගෙන් පරණ ඇරියස් ගනිමිනුත්, අවධානය ගැනීමට සැබෑ ප්‍රශ්නයට යට ගසා ව්‍යාජ ප්‍රකාශ කරමින් සිටිනුත් දකිනා ලැබේ. ඒවා ගැන අනුකම්පා කිරීම වටී.
පසුගිය කාලය පුරාම වාරණය විවිධ ස්වරූපයෙන් පැමිණි බව අපි දිටිමු. සංස්කෘතික ඇමැති ගොබ්බයාගේ නිල මැදිහත්වීම් සේ ම, ආගමික පිස්සන්ගේ තර්ජන, උතුරේ දැඩි මතධාරී සිනමා වාරණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අබබ්බයන්ගේ නීච වාරණ ඒ අතර වෙයි. මෑත ම තර්ජනය මෙයයි. මේවා සම්බන්ධයෙන් නිහඬ වීම සුදුසු වන්නේ නැත. නූතන කලා නිර්මාණ කලාත්මක සේම දෘෂ්ටිවාදී දුගීභාවයේ ගිලී තිබෙනවා මදිවාට සංස්කෘතික භාණ්ඩාගාරය කෙළෙසීම ද දැන් ඇරඹී තිබේ. ප්‍රියන්තට කළ මරණ තර්ජනය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුවා මෙන් ම පවතින නීතියට අනුකූලව ක්‍රියාමාර්ග ගත යුතුය.
එසේ ම සංස්කෘතික භාණ්ඩාගාරය සතු අමිල වස්තු කෙළෙසීම සම්බන්ධයෙන් හදිසි මැදිහත්වීමක් අවශ්‍ය ය.
සඳුන් ප්‍රියංකර විතානගේ