හොඳින් දන්නා කතාවක් අලුත් කතාවක් ලෙස කියවීම වෙනම ආතල් එකක්
අප හොඳින් දන්නා කතාවක්, අලුත් ම කතාවක් සේ හිතාගෙන නැවත කියැවීම `වෙන ම ආතල් එකකි`. කතාව `කූඹියෝ`ය. පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස්කළ `කූඹියෝ`ය. පෙර දිනෙක `ටෙලිවිෂන්` අත්දැකීමක් වූ කූඹියෝ `ප්‍රින්ටඩ්` අත්දැකීමක් ලෙස යළි අභිමුඛ විය. එහෙයින් ලියමි. තැනින් තැනින් නතර වෙමි. මුල මැද අග පටලමි. අග මැද මුල ගැටලමි. නාටකයේ නැති ඒවා පොතේ ඇත. පොතේ නැති ඒවා නාටකයේ තිබුණේද?
පොත පෙරළු රාත්‍රිය
කූඹියෝ නමින් ම පළ කරන ලද (එනමින් විකාශය වූ ටෙලි නාට්‍ය කොටස්වල) තිර රචනය සහිත ග්‍රන්ථය ද රැගෙන ලක්මාල් ධර්මරත්න (Laka Darmarathna) ITN වෙත ආවේ පසුගිය 25 වැනිදාය. වෙනත් කතාබහක් වෙනුවෙන් පැමිණි ඒ ගමනේදී මා අත පත් කළ මේ පොත පෙරළා බැලීමට සිත් වූයේ 26 රාත්‍රියේය.
මරු විකල්ලෙන් දුවන්නා
කතාව ඇරඹෙන්නේ මරු විකල්ලෙන් දුවන මිනිසකුගේ දර්ශනයකිනි. ආයුධ සන්නද්ධ පිරිසක් ඔහු ලුහුබඳිනු දැක්ක හැකිය. මේ දෙස බලා සිටින්නා අයිස් ක්‍රීම් එකක් කයි. එහි අන්තිම කොටස බිම දමා අතකට පිහිදා ගෙන බසයකට නගියි. ලුහු බඳින්නා පසුපස මරණය ලුහු බඳින්නේ පොතේ අන්තිමටය.
ගං කෑල්ල
``උඹ ඉස්සෙල්ලාම කරන්න ඕන ඔය මහත්තය කෑල්ල හලන එක... ඊළඟට උඹ කරන්න ඕන ඔය උඹේ ගං කෑල්ල හලන එක`` . උපායෙන් තම තිප්පොළට කැටුව ආ ගැමියා අමතා ජෙහාන් එසේ කීව ද ප්‍රියන්ත මහඋල්පතගම ඒ `ගං කෑල්ල` කිසිදා හලාගත්තේ නැත. දේශපාලන ඉනිමගේ ඉහළට යන විට පවා, සෙරෙප්පුවක ඇලවුණු සෙලෝ ටේප් කෑල්ලක් සේ එය ද ඔහු යන යන තැන ගියේය.
ඇයි අයියෙ අපි බොරු කරන්නෙ
බොරු කීම හොඳ නැති බව උගන්වන්නේ පොඩි කාලේ සිටය. `බොරු` හොඳ නැතත් `සම්ය ප්‍රයෝග` හොඳ බව ධර්මය කියයි. පොඩි ළමයි නොකරන - ලොකු ළමයි කරන සෙල්ලම දේශපාලනයය. ``අන්තිම වෙලාවේ සද්ධාතිස්ස රුවන්වැලි සෑයේ හදපු නැති කෑල්ල සුදු රෙදිවලින් වහලනේ දුටුගැමුණුට පෙන්නුවේ.. ඒක බොරුවක් නෙමේද? ඉතින් ඒක නරකද ?`` ජෙහාන් උගන්වයි. ප්‍රියන්ත ඉගෙන ගනියි. උගත් පාඩම් නාටකීයය.
ඔබ ඔබේ පැලේ
අතුරු චරිත සමග අතුරු කතා මතුවෙයි. තෙන්නකෝන් මෙසේ කියයි. ``ධනපති පන්තියේ ප්රතිවිරෝධය හටගන්නේ ඒක තුළින්මයි``. සමාජය සංයුක්ත එකකි. මේවා දක්ෂිණාංශික අර්බුද කියා මිනී වලේ ගැට්ටේ බජව් දැමිය හැකිද යන්න ප්රශ්නයකි. අවකාශයන් අරගලයට සාපේක්ෂය. කූඹියෝ පිටු අතර කූඹියෝය.
බිල්ඩිම කොහොමටත් condemn !
කූඹියෝ පිටපත ආයෙත් කියවමු. අකුරු අතර පේළි අතර ඉතිහාසය හමුවිය හැකිය. කට උත්තර නැති නිමේෂයන් පසු කර යාමට සිදු වන්නේ විශ්ලේෂණයේදී දුප්පත් වූ විටය. ඔස්ටින් අයියා මෙසේ කියයි. ``පොලිසිය බලාගෙන ඉන්නව මල්ලිගෙන් කට උත්තරයක් ගන්න. අර බිල්ඩිම අයිති අසූ තුනේ පැනල ගිය දෙමළ මිනිහෙකුට. බිල්ඩිම කොහොමටත් condemn. ඒක නිසා ගිනි තිබ්බට ප්‍රශ්නයක් නෑ !``
විමල් කැටිපේආරච්චි