හරි ලස්සනයි කියලා කියන්න පුළුවන් තරමට සිරියාව වෑහෙන්නේ නැති වුණත් පවුලක් කියලා කටපුරා කියන්න පුළුවන් සංස්ථාවක් මතුපිටින් නඩත්තු කරන ගමන් හැංගිච්ච රියැලිටියක් තිරයට ගේන්න ඇතුලාන්තයෙන් උත්සාහ දරන චිත්‍රපට කාරයෙක්. එක අතකට නිර්මාණකරුවා කියන්නේ මහ පුදුමාකාර ජීවියෙක්ට. හැම විටම ඇත්ත හොයන, ඒ ඇත්ත නිර්මාණාත්මකව එලියට දානගමන් බොරුවත් පුළුවන් හැටියකට නඩත්තු කරන ජීවී විශේෂයක් ලෙස මේ නිර්මාණය ඇතුලේ නිර්මාණකරුවාව මම හඳුනාගන්නවා. බොරුව කියලා අදහස් කළේ පවතින සමාජ ප්‍රවාහය එක්ක යන ගමනට. ඒ ගමන බාධාවකින් තොරව යන්න උත්සාහ දරන අතරේ රියැලිටිය කියලා එකක් හොයන අධ්යක්ෂවරයෙක් මේ කතාවට ආරම්භය දෙනවා.
˝දවසකට ගෑනු තුන් හතරදෙනෙක් කතා කරනවා එයාලගේ ජීවිත කතාවෙන් චිත්‍රපටයක් කරන්න කියන්න˝
කාලෙකට පස්සේ පාසැල් කාලයේ මිතුරියකගෙන් එන ඇමතුමට අධ්යක්ෂවරයාගෙන් ලැබෙන්නේ ඒ වගේ උත්තරයක්.
˝සාමාන්‍යයෙන් ගොඩක් ගෑනු ආසයි එයාලගේ කතාව චිත්‍රපට කාරයෙක්ට හරි නවලිස්ට් කෙනෙක්ට හරි කියන්න˝
දුරකථන ඇමතුමකින් පවා හොල්ලන්න පුළුවන්, ගෙදර ගෑනිගේ විචිකිච්ඡාධික හිත බැලන්ස් කරන ගමන් අධ්යක්ෂවරයා තමන්ට ආපු ඇමතුමේ පූර්වාපර සන්ධි ගලපනවා.
˝මම ගෑනු තුන්දෙනෙක්ව මැරුවා. මැරුවාමත් නෙමෙයි, මරන්න හවුල් වුණා˝
එතැනින් පස්සේ තමයි අධ්යක්ෂවරයා තමන්ගේ පාසැල් කාලයේ මිතුරියගේ කතාවට සවන් දෙන්න තීරණය කරන්නේ. චිත්‍රපට කාරයෙක් කියන්නෙ හරියට ගොදුරක් හොයන වෙඩික්කරුවෙක් වගේ මිනිහෙක්ට. ඇය හොයන්නේ සවන් දෙන්නෙක්. ඒත් චිත්‍රපටකාරයා හොයන්නේ ගොදුරක්. ඔහුට ඒ ගොදුර මුණගැසුන නිසා අපිට අසන්ධිමිත්තා කියන සිනමා නිර්මාණය මුණගැහෙනවා. ඒත් මේ කතාවේ අසන්ධිමිත්තාට පාසැල් මිතුරා කියලා මුණගැහුණේ ˝අපූර්ව අනුභූතීන්˝ නමැති ගොදුරු සොයන අධ්යක්ෂවරයෙක්.
කොහොම වුණත් අසන්ධිමිත්තාගේ කතාව නිමාවෙන්නේ අවසානයට හුඟක් කලින්.
කියා අවසන් නොවූ රාත්තල් තුන්සියක් බර ආදර කතාවක් අපේ හිස මත තැබූ අසන්ධිමිත්තා ප්‍රේක්ෂාගාරය වෙත හෙලන්නේ ´තොපිට ඇද්ද` කියන්නා වාගේ අසමජ්ජාති හිනාවක්. ඈ ඒ සැහැල්ලුවෙන්ම සිරස්ව එල්ලෙන ඉලිප්සාකාර තොණ්ඩුව අසලට ගොස් යළිත් වරක් අප දෙස ඔලොක්කුවෙන් බලා වියරු සිනාවකින් සංග්‍රහ කරනවා. දන්වාද ඒ බැල්ම කොයිතරම් බරයිද කියලා? ඒක රාත්තල් තුන්සියයකටත් වඩා බරයි.
අවසානය දක්වා සවන් නොදුන් කතාවක් හැම ගැහැනියකටම තියෙනවා. අසන්ධිමිත්තා නිරූපණය කළේ ඒ අසරණකමටත් වඩා එහා ගිය එකක්. අපි හැමෝම කරන්නේ කිසියම් ආකාරයක අනුගත වීමක්. ඒ අනුගත වීමට සරල සිංහලෙන් කියන්නේ ජීවත් වෙනවා කියලා. අසන්ධිට පිරිමියෙක් අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න.
˝හොඳ බබා වගේ ඔය ටික අතුගාලා දාලා අර කුස්සියේ තියෙන වළං ටිකත් හෝදන්න. මට ඕන මිනිහෙක් කියලා රූකඩයක්. හැබැයි රජෝ මට රෝන්දේ යන්න ඕනේ වුණොත් මම යනවා. ඔයාට ඒක ප්‍රශ්නයක් නෑනේ˝
අසන්ධිගේ ජීවිතයට තුන්වැනි වතාවටත් ආ පිරිමියාගෙන් අසන්ධි බලාපොරොත්තු වන්නේ මොනවාද? උඩ පැන පැන තලන යකඩය මුවහත් වෙනවා වගේ ගෑනු හිතත් පීඩාවට පත් කරන්න පත් කරන්න මුවහත් වෙනවා. ඒ මුවහත විනාශය අත්පත් කරලා දෙන්නේ දෙපාර්ශ්වයටම.
˝මමත් වෙන ගෑනු එක්ක ගියාට ඔයාට ප්‍රශ්නයක් නෑනේ˝
අවසන් වතාවට ඇගේ ජීවිතයට පැමිණි පිරිමියා පෙරලා ඇයට යොමු කරන ප්‍රශ්නයෙන් ඔහුගේ යටිහිත නිරාවරණය වෙනවා. ඔහු වක්‍රාකාරයෙන් ඇයට කරන්නේ තර්ජනයක්. වික්‍රම කියන්නෙත් අනියම් ගෑනි වුණත් පිට යනවට අකමැති විවාහක පිරිමියෙක්. ගැහැනු පිරිමි බේදයකින් තොරව ආත්මාර්ථය සමසේ බෙදී යන බව ඒ අනුව අපි තහවුරු කරගන්නවා.
ඔහු වික්‍රම. අඹු සැමි කාරණාව පිළිබඳ පූර්ව අවබෝධයක් ඇතුව සිටියත් වික්‍රම අසන්ධිගේ තරබාරු සිරුර ඉදිරියේ වංචනික පෙම්වතෙක් බවට පරිවර්තනය වෙනවා. ඒත් වික්‍රම කරන වංචාව අනුකම්පා සහගතයි. අසන්ධි වික්‍රම ඉදිරියේ විවෘත වන තරමටම වික්‍රම අසන්ධි ඉදිරියේ සංවෘත වෙනවා. විවාහක පිරිමි ආදරය කියන කාරණයේ දී, විවාහය සඟවන්නේ අනාගත ආයෝජනයක් ලෙස සළකලා. අසන්ධි විවෘත වෙද්දී වික්‍රමට සංවෘත වීමට හේතුවක් ඇත්තේම නැති තරම්. නමුත් අනාගතයේ ඇය ඉදිරියේ ස්වාභිමානයෙන් පෙනී සිටීමේ දී අවශ්‍ය වේ යැයි සිතා ඔහු වටිනාකම් ටිකක් එකතු කරගන්නවා. වරක් නෙවෙයි දෙවරක්ම විවාහ වී, ඕනෑ තරම් පිරිමින්ට යහන සැදූ රාත්තල් තුන්සියයක් බරැති සිරුරක් ඉදිරියේ කිසිදු ආකාරයේ වංචාවක් කිරීමේ හේතුවක් මුණගැහෙන්නේ නැහැ. වික්‍රම තමන්ගේ විවාහක බව සඟවන්නේ එවන් වටපිටාවක. පිරිමි හැම තිස්සෙම සෙල්ලම් කරන්නේ තමන්ගේ අතේ තුරුම්පු තියාගෙන. තුරුම්පු එකක්වත් නැත්නම් වංචාවක් කරලා හරි තමන් සතුව තුරුම්පු ඇති බව ඔවුන් පෙන්වනවා.
˝මේ මම කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරපු දේ˝ ගෑනු හම්බ කරද්දි පිරිමි ගේ දොර බලාගන්න එක වරදක්ද...˝
මෙහෙම අහන්නේ ගෙයක් එක්ක ගෑනිත් අතහැරලා මස් පර්වතයක් අස්සේ හැංගිලා තියෙන රැකවරණයක් හොයාගෙන ආපු වික්‍රම. හැමදේම අහිමි කරගත්ත ගෑනියක්ව හැමදේම රැකගත්ත පිරිමියෙක් භාරගන්නවා කියන්නේ මාර කැපකිරීමක්. ඇත්තටම ඔහු මාර පිරිමියෙක්. අන්න ඒ මාර හැඟීමට වික්‍රම විතරක් නෙමෙයි හුඟක් පිරිමි ආසයි. ඒ නිසා වික්‍රම ඔහුගේ අවිවාහක බොරුව රකිනවා.
ආදරය පහසු දෙයක් වෙද්දි විවාහය අසීරු දෙයක් බවට පත් වෙලා. අසන්ධි වගේම වික්රමත් ඒ අසීරුතාවය, අභ්‍යාස කරලා තියෙනවා. අලුත් ජීවිතය ඇතුලෙත් ඒ කටුක බව ඔවුන් උපරිමයටම භුක්ති විඳිනවා. රාත්තල් තුන්සියයක් බර මස් පර්වතයක් වුණත් ඒ පර්වතය පුරාම සැරිසරන්නේ ගෑනු හිතක්. ඒ නිසා ඇය වික්‍රම සම්බන්ධයෙන් ලිංගික මාතසර්යය උපදවා ගන්නාගමන් ජීවන ගමනෙදි මුණගැහෙන මදාරලා සමදරාලා වගේ ගෑනුන්ගෙන් වික්‍රමව බේරගන්නත් මහන්සි වෙනවා. කොන්දොස්තර මල්ලී වැනි බාහිර පිරිමින් ඉදිරියේ වික්‍රම වික්‍රමාන්විත පෙම්වතෙකු සේ පෙනී සිටිද්දී අසන්ධි වික්‍රමව වික්රමගෙන් බේරාගෙන තමන් සතු කරගැනීමේ අරගලයක නියැලෙනවා. දෙදෙනාම කරන අයිති කරගැනීමේ අරගලය දිහා පුරා හෝරාවකට වැඩි කාලයක් තිස්සේ අපි බලාගෙන ඉන්නවා. ඒත් අපි මෙතෙක් බලා සිටි සහ අසන්ධිමිත්තා තමන්ගේ අධ්යක්ෂ මිතුරාට කී කතාවේ යථාර්ථය තිබුණේ බොහොම පොඩ්ඩයි.
`අසන්ධිමිත්තා´ හි අපට යථාර්ථය මුණගස්වන චරිත අතර අධ්යක්ෂ බිරින්දෑත් ලාල් මල්ලීත් ඉන්නවා. වික්‍රම, අසන්ධිමිත්තා, මදාරා , සමදරා සේම මෙම අක්කා නගෝ දෙන්නාගේ වයෝවෘද්ධ අම්මාත් අපටත් නොදැනෙන්න යථාව අපෙන් ඈතට ගෙන ගිය මේ කතාවේ සංවෘත චරිත. නමුත් හරිම පුදුමය වන්නේ ඇත්තම ඇත්ත කතාවේ අසන්ධි කෙනෙක් සිටියද අසන්ධිට දාව උපන් දරුවන් නොසිටීමයි. අසන්ධි ගේ අසමමිතික සිරුර සොයා යන එන පිරිමින් ඕනෑ තරම් සිටියද වික්‍රම නමැත්තෙක් නොසිටීමයි.
විටින් විට අසන්ධි ඉදිරියේ පෙනී සිටින ආවේශයන් දෙකක පිරිමි වේශයන් දෙකක් ඇයගේ ජීවිතය ඇතුලේ හොල්මන් කරනවා. පිරිමින්ගේ වේශයෙන් ඒ පෙනී සිටින්නේ අසන්ධිගේ ගෑනු හිත බව ඒ අනුව මම ලාල් මල්ලීගේ උපකාරයෙන් නිගමනය කරනවා. අසන්ධි අවස්ථානුරූපව මේ වේශයන් දෙකටම ආස කරනවා. හරිහම්බ කරන කාර්යයෙන් ඈත් වූ විට වික්‍රමට ජංගි අන්දවන්න යෝජනා කරන අසන්ධිමිත්තා රේස් තුන්ඩුවෙන් හෝ අතට කීයක් හරි උපයා දෙන කලින් සැමියාගේ පිරිමි වේශයට ළං වෙනවා. නමුත් පිරිමියෙක් සමඟ නිදාගැනීමට ආස කරනා සෑම අවස්ථාවකම පාහේ ඇයගේ පෙර සැමියාගේ වේශයෙන් එන මනෝභාවය පිළිකුල් කරනවා.
අසන්ධිගේ චංචල හිත පුරා හොල්මන් කරන නරුම පිරිමි වේශය නිරූපනය කරන්නේ ඩබ්ලිව් ජයසිරි. ඔහුට සිය නරුමත්වය පවත්වාගෙන යාමට උපකාර කරන්නේ ආගම. වික්‍රම කියන්නේ අසන්ධි දකින කෛරාටික පිරිමියා. ඔහුටත් ඔහුගේ වංචනික ඇවැතුම් පැවතුම් අස්වසාගන්න පිහිට වෙන්නේ ආගම.
වික්‍රම දරුවන්ට නූල්සූත්තර සාත්තරේ හෙවත් ගණන් සාත්තරේ උගන්වද්දි අසන්ධිගේ පෙර සැමියා දරුවන්ට උගන්වන්නේ ආගම. ආගමෙන් සැඟවෙන්න උදව් කරනවා. ගණන් සාත්තරෙන් පළායන්න උදව් කරනවා. දෙකම වංචාව අස්වසන්න පාර කියනවා. පිරිමින් ලෙස අසන්ධිමිත්තා හඳුනගෙන සිටි මනෝභාවයන් ද්විත්වය ඇයගේ මනස ආක්‍රමණය කරන්නේ මේ ආකාරයට.
යථාව ඇතුළේ දරුවකු හෝ සැමියකු අහිමි ගැහැණියක් එය එසේ නොවන බව පෙන්වන්න දරන ප්රයත්නය තුළින් කියන්නේ ගැහැනියකගේ අනිවාර්ය අවශ්‍යතාවක්. ගැහැනියකට බාහිර පීඩාවකින් තොරව ජීවත් වෙන්න නම් රැකවරණයක් අවශ්‍යම වෙනවා. රාත්තල් තුන්සීයක් බර ගෑනු ශරීරයක සැතපෙන්න ඕනෑ තරම් පිරිමි හිටියත් ඒ ගෑනු ආත්මය ආරක්ෂා කරන්න එක පිරිමියෙක් නැහැ. ඒ නිසා ඇය රැකවරණය උදෙසා ඇගේ ජීවිතය ඇයට රිසි සේ ලස්සනට ගෙත්තම් කරනවා. අපූර්ව අනුභූතීන් නමැති ගොදුරු සොයන අධ්යක්ෂවරයා ඉදිරියේ අසන්ධිමිත්තා විවෘත කරන්නේ එලෙස මානසිකව වියූ ගෙත්තමක් මිසක ඇයගේ සැබෑ ජීවිතය නෙමෙයි. ලාල් මල්ලී නොසිටින්න අසන්ධිමිත්තාගේ කතාවේ ඇත්තම ඇත්ත, අධ්යක්ෂවරයා අතින් සහමුලින්ම කණපිට පෙරලෙනවා.
අවසානයේ අසන්ධිමිත්තාගේ ද උදව්වෙන් ගෑනු පරාණ තුනක් මිය පරලොව යනවා. ඒ ලෙස ගෙල සිර වී අවසන් ගමන් යන්නේ ස්වරූප තුනක ගැහැනු ආත්ම තුනක්. ජිවත් වන්න පිරිමියෙක්වම සොයන මදාරාත් එකම පිරිමියකුට වෛර බඳින අම්මාත් පිරිමි ඇතැත් නැතැත් එකයි සේ සිටින සමදරාත් යනු අසන්ධිමිත්තාගේ විසල් ශරීරය පුරා පැළපදියම් වී සිටි ගෑනු මනෝභාවයන් තුනක්. ගෑනු හිත් තුනක්.
˝මම කැමතියි පිරිමි රොත්තක් එකතුවෙලා රාත්තල් තුන්සියයක් බර ගෑනියක්ව එල්ලන්න දඟලන හැටි බලන්න˝
ඒ අසන්ධිමිත්තා පිරිමියි කියනා සමූහයම කරමුනින් අල්ලා එකවර එල්ලා දමන අවසාන ප්‍රකාශය. ඊට පසු ඇය මා ඇතුළු ප්‍රේක්ශකාගාරය වෙත හෙළන වියරු සිනහව රාත්තල් තුන්සියයම හිස මත තබා ගත්තා සේ හිත බර කරනවා.
ඒ තරම්ම බර නැති, රාත්තල් තිහ හතලිහේ කෙසඟ සිරුරක වුණත් ඊටත් වඩා බර ආදරයක් තියෙන්න පුළුවන්. අසරණියන්ගේ ආරාම අවශ්‍යම වන්නේ ආදරයේ බර වැඩිවන තරමට. චිත්‍රපටයේ අවසානය විසින් මට කියන්නේ ඒ වැනි අදහසක්.
අශෝක හඳගමගේ අලුත්ම සිනමා නිර්මාණය වන අසන්ධිමිත්තා සම්බන්ධයෙන් ලියැවුණ නරකම කියවීම මෙය විය යුතුයි. ඒ ගැන හරියටම විස්තර කරනවා නම් අසන්ධිමිත්තා නමින් අප අතට පත්වුණේ නූල්බෝලයක්. එය ලිහා ගැනීමේ කෑදරකමමයි මෙම නිර්මාණයේ ඇති සාර්ථකත්වයත්. සාත්වික අභිනයෙන් පෙළහර පානා නිල්මිණී සිගේරාටත් අසන්ධිමිත්තා කෙටි නවකතාව ලියූ සමන් වික්රමාරච්චිටත් සමාචාර කිරීමෙන් මතු මේ සටහනට නිමාව තබමි.
වාසනා සුරංගිකා