එච්. එම්. ජයවර්ධනයන් පිළිබඳ සැම තැනෙක තම තම නැණ පමණින් නැගෙන කතා බහ ය. දිග හැරෙන අතීත මතක සමුදායන් ය. යමෙක් ජීවිතයෙන් සමුගත් පසු ව ඔහු විසින් තම ජීවිත කාලය තුළ නිහඬව , හුදෙකලාව කළ කී දෑ යළි යළිත් ස්මරණය වනු ද , උත්කර්ෂයට නැගෙනු ද දැකීම පවා ආනන්දයකි. පිරිවර සෙනඟ වටලා , පෙරහැරින් ආඪ්‍යව දිවි ගෙවූ මිනිසුන් පවා මෙලොවින් සමුගත් පසුව ඔහු හෝ ඇය නමින් පසසන්නට එකදු විශේෂතාවක් හෝ ආයාසයෙන් වත් සිහිපත් කරගන්නට නොහැකි ; හඬා වැළපෙන්නට පවා කුලියට ගෙන්වන්නට සිදු වන සමාජයක එච්.එම් ගතකර ඇත්තේ නිශ්ක්‍රීය වාසනාවන්ත ජීවිතයකි. එච්. එම් ජයවර්ධන ජීවත් වූයේ එක් ජනතාවකගේ දුෂ්ටයා සහ තවත් ජනතාවකගේ වීරයා වූ වේලුපිල්ලේ ප්රභාකරන් පමණක් නොව පොදු ජනතාවගේ අගමැති වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ද පොදු ජනතාවගේ ජනපති වූ රණසිංහ ප්‍රේමදාස ද මිය ගිය විට පවා රබන් ගැසූ ; රතිඥ්ඥා දැල්වූ ; කිරිබත් පිසූ රටක ය. එවන් බිමක දේශපාලනයෙන් වියුක්තව ; දේශපාලනය පිළිකෙව් කළ ; සප්ත ස්වරය අතික්‍රමණය හැරෙන්නට වෙනත් කිසිම විජීගීසාවක් නොතිබූ කලාකරුවෙක් ජීවිතයෙන් සමුගන්නා මොහොතේ දී හැම මිනිසෙක්ම ඔහු වෙනුවෙන් කතා කරන්නට තෝරා ගන්නේ හදේ ගැඹුරුම තැන ය. එච්. එම් ! ඒ ටික ම මදි ද ?
ලූෂන් බුලත්සිංහල තම "සෙවණැලි නොමැකේ නම්" ගීත සංග්‍රහයේ එක් පිටුවක මෙලෙස අතීත කතාවක් දිග හරියි. මාලනී බුලත්සිංහල තම පළමු ගුවන් විදුලි සරල ගී වැඩසටහනට සිංදුවක් ඉල්ලා සිටින්නේ ලූෂන් බුලත්සිංහලගෙනි. "රජ මැදුරක ඉපදී සිටියා නම්" යනු එම ගීතය බව පවසන ලූෂන් මෙසේ විග්රහ කළේය.
"රජ මැදුරක ගීයට මාලනී වගේම එච්. එම් ජයවර්ධනත් ආදරය කළා. හැමවෙලාවෙම ඒ ගීතයට ඔහුගේ ඇති ආධ්‍යාත්මික සමීපතාවය ගැන උද්දාම වුණා. දුප්පත්කම අපි තුන්දෙනාගේම ජීවිත වලට විශාල ආලෝක දහරාවක් එල්ලකොට තිබීම මේ උද්දාමයට හේතුවයි. අපේ බාල සංදියේ දී දුප්පත්කම එක්ක අපි සෙල්ලම් කළ හැටි තමයි මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙන්නේ"
මාලනී බුලත්සිංහල එදා තම මේසය ළඟට පැමිණ ළදැරියක සේ ඇවිටිලි කළ ආකාරය අදටත් සිහි කරන්නේ නෙතගට කඳුළක් පුරවාගෙනයැයි ලූෂන් ලියා තිබිණ.
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ
ලූෂන් ! අද සිට ඔබේ නෙතගට තවත් මතක කඳුළක් වෙන් ව ඇත.
ඉතිහාසය පුරා බොහෝ කතා එච්.එම් නමින් ලියැවී තිබේ. නමුත් ඒ බොහෝ තැන් වල ඔහු නිහඬ ය. ඔහු හෘද සාක්ෂ්යයට එකඟව භාරගත නොහැකි යැයි පවසමින් 1983 වසරේ හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා වූ ජනාධිපති සම්මානය ප්‍රතික්ෂේප කළේ ය. ඒ තම "මුහුදු ලිහිණි" චිත්‍රපටයේ සංගීතය ට වඩා ප්‍රේමසිරි කේමදාසයන් ගේ "තුන්වැනි යාමය" සංගීතය විශිෂ්ඨ බව පවසමිනි. එහෙත් එය එක්තරා සරල සිදුවීමක් ලෙස සැලකූ එච්.එම් හැමදාටම එච්. එම් ලෙස ම ජීවත් විය.
අසූව දසකය මැද භාගයේ දී වෘත්තීමය මතභේදයක් මත මහා ගායිකාවකට මින් මතු සංගීතය සපයන්නේ නැතැයි අනෙක් සංගීතඥයින් සම්මුතියකට එළැඹිණ. එතෙක් කල් ඇය වෙනුවෙන් ඉමිහිරි තනු නිමැවූ එච්.එම් ද ඔවුන් සමඟ යමින් එම ප්‍රතිපත්තියේ පිහිටා සිටියේ ය. මේ ලියන මා නිවැරදි නම් ; අද අප දකින්නේ නොකඩවා ම ඒ ප්‍රතිපත්තියේ රැඳී සිටි සංගීතඥයාගේ මෘත දේහය ය. අනෙක් සංගීතඥයන් අනූව දසකයේ මුල භාගය වන විට යළිත් මහා ගායිකාව වෙනුවෙන් සංගීතය සපයන්නට ගත් හ. එච්.එම් නොමැති ක්ෂේත්රයේ අණසක නිතරගයෙන් ම පවරාගැනීමට සමත් වූහ. ප්‍රතිපත්ති රැකි මිනිසා නිහඬ සහ වැඩි උවමනාවක් නැති පාඩුවේ සිටින සංගීතඥයෙක් යැයි අප වටහා ගත්තෙමු. 1982 වසරේ දී Arosa Sri Lanka දකුණු අප්‍රිකානු සංචාරය ට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩක බන්ධුල වර්ණපුර ව සිහි නැගෙන්නේ මන්දැයි නොදනිමි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය පමණක් නොව වසර විසි පහකට ක්‍රීඩාව අහිමි වූ වර්ණපුර ට නම වසරකට පසුව තහනම ඉවත් වුවද ඔහු නැවතත් කිසි දිනෙක ක්‍රීඩා කළේ නැත. එච්. එම් ජයවර්ධන ද හැමදාටම එච්. එම් ලෙස ම ජීවත් විය.
2015 වසරේ මැයි මස 31 වැනි දා මාගේ මිතුරිය කාංචනා අමිලානි තම මුහුණුපොතේ මෙසේ ලීවා ය.
"සිටි එෆ්.එම් එකේ එකෙක් ඉන්නවා 'ඔබට මා ආදරය කළ බව මෙතරම්' සින්දුවට හොඳටම ලව්. ඒකනේ මේ තුන්තිස් පැයේම ඒක ප්ලේ කරන්නේ"
අනතුරුව ඇය අප නැගූ ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු සැපයුවා ය. "මෙහෙමයි; මං ඒ සින්දුවට මාර ආසයි. හැම තිස්සෙම ගියාම ඒකෙ ලස්සන නැති වෙනවා.ඒකයි මට තියෙන ප්‍රශ්නේ."
වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ
මාලනී බුලත්සිංහල නැති තැන මේ පද කසුන් කල්හාර ද මන්ද්‍ර ලයෙන්; මහත් හැඟීමෙන් ගායනා කරනු ඇසුවෙමි. කොතරම් මිහිරි වූව ද මාලනී තරම් මිහිරි නැතැයි සිතා කෝපයට පත් වුණෙමි.
නිතර වාදනය කර සිංදුවේ ලස්සන නැති වෙනවාට වඩා සිත් රිදෙන බොහෝ දෑ මෙලොව ඇති බව කාංචනා අමිලානි ට සහ මට පසක් වන්නට වසර දෙකක් ම ගත විය. අප අද මේ ගත කරන්නේ ඒ මොහොත ය.
ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ
ඔබට මා ආදරය කළ බව මෙතරම් !
- සහන් කසීර වික්‍රමසිංහ -