සති කිපයකට පෙර අප මුහුණ දුන් මහා ඛේදවාචකය හමුවේ ‘එය සිදුවුණේ කොහොමද හෝ ඊළගට මොනව වේවිද’ කියා ඇසීම පමණක් ප්‍රමාණවත් යයි මා හිතන්නේ නෑ. අප ඊට වඩා පතුලට ගොසින්, වඩාම මූලික ප්රශ්නය - එනම් ‘අපි කවුද’ යන්න විමසිය යුතුයි. පහසු පිළිතුර එක රටක පුරවැසියන් වන අප ශ්‍රී ලාංකියෝ වෙමු යන්නයි. නමුත් මා සිතන්නේ අප මෙතැන ඉක්මවා යා යුතු බවයි.
මට ඉලංදාරි වියේදී, එකල ලංකාවේ ක්‍රියාත්මක වුණු ප්‍රධානතම වෘත්තිය සමිතිය එනම් CMU හි ප්‍රධාන ලේකම් බාලා තම්පෝ ඇසුරු කිරීමේ භාග්‍යය ලැබුණා. ඔහු එදා කියපු යමක් අද දක්වාම මගේ ජීවිතේට කා වැදී තියෙනවා. ‘’අපි අපේ සාමාජිකයන්ට උගන්වන්නෙ මුලින්ම මනුෂ්‍යයෙක් හැටියටත්, දෙවනුව වැඩකරන ජනතාව හැටියටත් තමන් ගැන හිතන්න, ඊට පස්සෙ තමයි ඔබ CMU සාමාජිකයෙක් වෙන්නෙ’’ මේ වචනවල බලපෑම නිසා මං කවදාවත් ජාතිය, ආගම පමණක් නොවේ රට ගැන මුල් කරගෙනවත් මං ගැන හිතුවෙ නැහැ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ හැම තැනින්ම ඇහෙනවා මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ කියලා. එවැනි අදහස් මේ වැනි මොහොතක අප තුළ හෘදයංග බවක්, දිරියක් ඇති කරනවා තමයි. නමුත් ඒවා අපව දිගින් දිගටම එකිකෙනාගෙන් බෙදන අනන්‍යතාවන් වලට රුකුල් දෙනවා. අපි අපේ පුංචි මුළු වල ඉදන් මේ අර්බුදයට ප්‍රතිචාර දක්වනවට වඩා, ඉතාම සරළ විදියට, මනුෂ්‍යයන් හැටියට අපිට එකතු වෙන්න බැරිද? තමන් අති මහත් වූ සුවිසාල සමස්තයක ඉතා ක්ෂුද්‍ර කොටසක් පමණිය යන පුළුල් අවබෝධය අපේ ඊළග පරම්පරාව තුළ වගා කළ නොහැකිද? මා විශ්වාස කරන හැටියට මේ අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කරන ආකාරයේ පුළුල් මනුෂ්‍ය ප්‍රජාවක් බිහි කර ගත හැක්කේ ඒ තුළින්ම පමණයි.
මේ රටේ ප්‍රධානතම සහ බහුලවම ව්‍යාප්ත වූ සංස්කෘතිය බුද්ධාගම බව මෑතක පැවති සාකච්ඡාවකදි කාදිනල් මැල්කම් රංජිත් කියා සිටියා. ඒ ගැන තවදුරටත් කතා කරමින් ඔහු කිව්වා ‘ බෞද්ධයො තමයි අපේ වැඩිමල් සහෝදරයා’ කියලා. මම නම් මේ කාරණය මේ වචන වලින් මේ විදියට කියන්නෙ නෑ. කොහොම වුණත් කාදිනල් තුමාගේ උපමාව මගින් රට කියන්නෙ එක තනි පවුලක් කියන පින්තූරය අපේ ඔලුවට එනවා. එහෙම හිතුවාම, ‘පවුලක් ඇතුළෙ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙ කාර්යයභාරය මොකක්ද ‘ කියන ප්‍රශ්නෙ නැගෙනවා. වැඩිමල් සහෝදරයෙක් කිව්වාම මගේ පවුලෙ නං කැප කිරීම් කිරීම කියන එකත් අනාවාර්යයෙන් ඒකට යා වෙලා තිබුණා. මට වයස අවුරුදු හතරෙදි මගේ තාත්තා මැරුණා. කිසිම ආදායමක් නැතුව දොළොස් දෙනෙක් හිටපු පවුලත් එක්ක අම්මා අසරණ වුණා. එතනදි තමන්ගෙ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය බලාපොරොත්තු කැප කරලා ඉතාම දුෂ්කර අවධියක අපිව රැක බලාගෙන පවුල පෝෂණය කිරීමේ වගකීම බාරගන්න ලොකු අයියල අක්කලට සිද්ද වුණා. විශේෂයෙන්ම මගේ ලොකු අයියා මට කන බොන අදින දේ සපයල දුන්නා විතරක් නෙමෙයි, මගේ ආධ්‍යාත්මික සහ දේශපාලනික මගපෙන්වන්නා බවටත් පත් වුණා. එයා ආයතනගත කතෝලිකවාදයෙන් මාව මුදවලා, සමාජ යුක්තිය ප්‍රධාන සාරය ලෙස ගත් ක්‍රිස්තියානි ආගමේ විමුක්ති දේවධර්මවාදය මට හදුන්වලා දුන්නා. ඉතිං කාදිනල් තුමාගේ උපමාව ඔස්සේ තව ටිකක් දුර යනවනං, බලසම්පන්න තත්ත්වයක ඉන්න කෙනෙක් හැටියට නෙමෙයි, නිහතමානී මාර්ගෝපදේශකයෙක් හැටියට වැඩිමල් සහෝදරයා කියන කෙනා දිහා අපිට බලන්න පුළුවන්.
සැබවින්ම මේ අපට මාර්ගෝපදේශකත්වයක් අත්‍යවශ්‍යම කාලයක්. අපේ රටේ එක ආගමකට පමණක් නොවෙයි, සැම ආගමකටම මූලධර්මවාදය ඔඩු දුවා ඇති බවයි මගේ අදහස. මේ රටේ පවතින සෑම ආගමික සම්ප්රදායක් තුළම ඇති, අන් කිසිදු ධර්මතාවකට වඩා මනුෂ්‍ය නිදහස උත්තරීතර ලෙස සලකන සාරය වෙත ආපසු ගමන් කිරීමේ හදිසි අවශ්‍යතාවක් වෙන කවරදාටත් වඩා දැන් මතු වී තිබෙනවා. දෙවියන් වහන්සේ වැඩ වසන්නේ විසල් බලකොටු හෝ මහා දේව මන්දිර තුළ නොව අප තුළම බව, අපගේ හදවත් ඇතුළාන්තයෙහිම බව ලියූ සුෆි කවිවර රූමි තරම් සුමටව මේ අදහස ඉදිරිපත් කළ වෙනත් කෙනෙකු නැතුව ඇති. මේ මොහොතේ රූමි ගැන සිහිපත් කිරීම හද කම්පා කරවන්නක්. මන්ද, නැගෙනහිර වෙරළේ සුෆි ප්‍රජාව තමයි පැලවීගෙන එන මොහොමඩ් සහරාන්ගේ අන්තවාදයෙන් මුලින්ම බැට කෑවෙ. ඒවගේම සහරාන්ගේ දේශනා වල තිබූ ප්‍රචණ්ඩකාරී මතවාද වලට එරෙහිව මුලින්ම නැගී සිටියෙත් ඔවුන්මයි. ඔවුන්ගේ ඒ නිර්භය ප්රයත්නය දේශපාලන සහ ආගමික අධිකාරීත්වය විසින් මුළුමනින්ම නොසලකා හැරියා.
රූමිගේ කාව්‍යය මා මෙහි සටහන් කරන්නේ ඒ වදන් පළමුව අප තුළින්මත්, අනතුරුව විසල් සමාජය -එනම් පතළ මනුෂ්‍ය ප්‍රජාව තුළිනුත් පිළිතුරු සෙවීමට සහ සොයාගැනීමට අප සියලු දෙනා තුළම පෙළඹවීමක් ඇති කරනු ඇතැයි බලාපෙරොත්තුවෙන්.
මක්කම වන්දනා කිරීම
ශුද්ධ භූමිය වදින්නට යන වන්දනාකරුවාණ
මම ඔබට වැලිකැටක ස්වර්ගය පෙන්වන්නම්
සදාදරණීයයාණන්ගේ අරූප රූපය
ඔබ ඇතුළත ලැගුම් ගෙන ඇති නම්
කුණාටු මැද, කතර ගෙවා යනු කුමට?
හදවතෙහි වසත් නම් උන්වහන්සේ නුඹේ
වන්දනා ගමන ඇරඹූ තැනම නිමාවේ
ඉදින් නුඹ, නෙලා ගෙන ආවාද
රෝස කුසුමක් ඒ උද්‍යානයෙන්
සිතන් මොහොතකට
දෙවියන්ගේ නිවහන දුටුවෙම්යැයි
එළඹුමෙන් නිවැසියන් නැති නිවසකට
නොනිවේය වන්දනාකරුවාගේ සා පවස
හාජි මා මිතුර, සිහියේ දරාගනුව
සැරිසැරූවද කොයි කොතැන ඔබ
ඔබ් හදවත
උන් වහන්සේගේ ප්‍රේමයේ නිවස්නය විය යුතු බව
- • හාජි යනු මක්කම වන්දනා කළ මුස්ලිම් බැතිමතෙකු ඇමතීමට යොදන වචනයකි.
පීටර් ද අල්මේදා
සිංහලට පරිවර්තනය කළේ - නදී කම්මැල්ලවීර