නිකිණි අව් රශ්මියෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්රය දැවෙන මොහොතක වෙනදාට උදාසීනව සහ කිළිටි පාටින් පසු බා සිටින පුස්තකාල ශාලාව උදාරම් ලෙසින් බැබලෙමින් තිබිණ. "එව ! බලව!" යි මුස්පේන්තු පුස්තකාල ශාලාව අප වෙත අභියෝග කළ බැවින් එයට ගොඩ වැදී දෙකක් කතා කරන්නෙමුයි සිතා විජිතපුර සටනට යන ගැමුණු කුමරුන් සේ කඩා පැන්නෙමු. නමුත් එහි වෛවර්ණව පැවතියේ සිතුවම් ප්රදර්ශනයකි. ඒ වරුණි කොඩිතුවක්කු ගේ "එක තිතක් එතැන් සිට" ය.
බිත්තියෙහි එල්ලී විලාප දෙන සිතුවම් රැසක් ය. වගේ වගකට නැතිව නරඹන්නන් හා දොඩන වරුණී ය. පසුබිමෙන් ඇසෙන සංගීතය ය. බිමෙන් ඇදෙන රතු පලස ය. ඉදින් අපි කිල්ලටත් කොටහළුවටත් නැතිවම බැරි පීතර තිසරණගේ කැමරාවට විටෙක ඉඟි කරමින් ,තවත් විටක සැඟවෙමින් සහ ඔරවමින් ඒ සිතුවම් සමඟ සංවාදගත වීමු.
"වරුණි අපිව අඳින්නේ අවුරුදු දෙකක ඉඳන්" කොණ්ඩයට පිච්ච මල් ගැසූ දමිළ නාටිකාංගනාව අනෙක් පස බලාගෙනම කීවා ය. "එයාට මළ සමයං. එක දිගට අඳින්නේ නෑ" ඇය කෝපය පිට කළා ය. "ඒක තමයි. දැන් රස්සාවට යන නිසා එයැයිගේ හරි ගණං" රතු පැහැති ගවුමක් හැඳි යුවතිය ද අහක බලාගෙන අගුල් තැබුවාය. ඇයට එහා පැත්තෙන් කුරුල්ලෙක් සමග සිටි යුවතිය ද වරුණිගේ තරහකාරියක් හැඩ ය. "ඔෆිස් යන්න පැයයි යන්නේ. ඔය සෝබනේට අනේ බිසී කියන්නේ" ඇය නිතරම චිත්ර නොඅඳින වරුණිට දෙහි කැපුවාය. මේ මාගම් සෝලි වලින් මිදෙම් යැයි සිතූ මම මකුළුවා ද කම්බි වැට ද පසු කර සමනළුන් ගැවසෙන අන්ධකාර යුවතිය ළඟට ගියෙමි. "එයා කැම්පස් ඉන්න කාලෙත් එක ප්රදර්ශනයක් තිබ්බානේ" ඇය පැවසුවා ය. අනතුරුව "අර සුදු පාට මල ලස්සනයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?" යි ඇසුවා ය. සුදු පාට මල ලස්සන බවත් ඊට එහා පැත්තෙන් ඇති අක්ෂර සහ රූපාක්ෂර සිතුවම නොතේරෙන බවත් කියන විට බළලුන් යුවළක් මා එන්නේදැයි බලමින් දැවටෙනු පෙනෙන්නට විය. "ඔයා හිතං ඉන්නවා නම් අපි බළල්ලු කියලා , ඒ වැරැද්ද මුලින්ම හදාගන්න ඕනේ" ඔවුන් ඝන රැවුල් ගස් විලිස්සමින් උපදෙස් දෙන්නට විය . "වරුණි අපිව ඇන්දේ මෝස්තරේට ඇඳුම් අඳින කිටීලා විදියට මිසක් ඔයාලගේ දිහා ඉන්නවා වගේ වැලි ගොඩවල් අස්සේ ජරා කරන වල් පූසෝ විදියට නෙමේ. හරිය !" ඔවුන් තර්ජනය කරන්නට වූ බැවින් පහුරු ගාන්නට පෙර මම එතැනින් පැන ගතිමි. කාල වර්ණ යුවතියක දේදුණු පැහැ පියාපත් සමඟ විළියෙන් මුහුණ වසං කරගත්තේ මට සිදු වූ අකැරතැබ්බය දැක සිනාව නවත්වාගන්නට බැරි නිසා විය හැකි ය. ඇයට එහා පැත්තෙන් තාවර වන , ඉඟි කරන යුවතියකි. ඉන් එහාට එක වචනයක් හෝ නොකියන එක මගේ තීරණය ය.
"එක තිතක් එතැන් සිට" හෙට (සිකුරාදා) දිනයේ පෙ.ව. 9.00 සිට කොළඹ මහජන පුස්තකාල ශාලාවේ දී පැවැත්වෙන අතර සිත්තරිය, වරුණි කොඩිතුවක්කු ද එහි වන්නීය. සවස 3.00 ට ගයාන් ඉන්දුල කොඩිතුවක්කු ගේ කවි පොත ජනගත කිරීමය.
සිතුවම් මදිවාට කවි ද එක වර හිස මත කඩා පාත් වීම වෙහෙසකර ජීවිතයකට ගෙනදෙන ඉතා සුන්දර, වර්ණවත් හිරිහැරයකි.
- සහන් කසීර වික්රමසිංහ -