ජාතිය උදෙසා කරන ලද ප්‍රශංසනීය ස්වභාවයේ විශිෂ්ඨ සේවය සඳහා ශ්‍රී ලංකා ජනරජය විසින් ප්රදානය කරනු ලබන “දේශබන්ධු“ සම්මානයෙන් ආචාර්ය කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා ඊයේ පිදුම් ලැබීය. එවකට “ජන විඥාපනය“ යනුවෙන් හැඳින්වූ අප්‍රකට විෂය ක්ෂේත්රය දෙහිවල ලංකා කනිෂ්ඨ විශ්ව විද්‍යාලයේ දී 1969 වසරේදී “ජන සන්නිවේදනය“ ලෙස නාමකරණය කොට, වෘත්තීය අභිමුඛ විෂයයක් ලෙස පළමු වරට උසස් අධ්‍යාපන විෂයය ධාරාවට එක් කිරීමේ අත්‍යන්ත ගෞරවය හිමි විය යුත්තා ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ය.
ඉන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, රුහුණ විශ්ව විද්‍යාලය සහ විවෘත විශ්ව විද්‍යාලය යන සරසවි හතරක සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන උපාධි / ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම පෞද්ගලික සන්නිවේදන ආයතන 29 ක පාඨමාලා සංයෝජක වරයා වූවා පමණක් නොව, ජනසන්නිවේදන ඉතිහාසය, රූපවාහිනීකරණය, සිනමා, ගුවන් විදුලි, පුවත් පත් කලාව, ඡායාරූප ශිල්පය, ජාත්‍යන්තර ප්රවෘත්ති වැනි විෂයයන් අරබයා සාරවත්ම දේශනය පවත්වන ගුරුවරයා වූයේද එතුමාය. නවයුගය, සිළුමිණ ආදී පුවත් පත් වල කතුවරයා වශයෙන්ද, ඉංග්‍රීසි, සිංහල උභය භාෂාත්‍රයෙන් පර්යේෂණ ලිපි දස දහස් ගණනක් ලියූ, සිය ගණනක් ග්රන්ථයන්හි කතුවරයෙකුද වන ආරියදාසයන් විසින් සැකසූ, රූපන විවරණ සහිත ධම්ම පදය (Treasury of Truth : Ilustrated Dhammapada) එතුමාගේ පාණ්ඩිත්‍යය ප්‍රකට කළාවූ මුඛ්‍ය ග්‍රන්ථය විය.
1969 ජුනි 21 දා ලෝක ඉතිහාසය වෙනස් කරමින් මිනිසා සඳ මත පා තැබීය. එය සජීවීව සිංහල බසින් ගුවන් විදුලිය ඔස්සේ මෙරට ජනතාව වෙත එදා ගෙන ආවේ එඩ්වින් ආරියදාස මහතා ය. ඒ වන විට මා මෙලොවට බිහිවී හෝ නොතිබිණි. එහෙත් ඒ අසහාය සුරගුරුන් අතින් මාධ්‍ය ක්ෂේත්රයේ අකුර කිරීමටත්, ඔහු ඇසුරේ 27 වසක් ගත කිරීමටත් ලැබීම මා ලැබූ කොතරම් භාග්‍යයක්ද ? මා අද ලබන එම තෘප්තිය මෙරට සන්නිවේදන ක්ෂේත්රයේ බහුතරයකට වෙත්.
ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් කියූ ලෙස ඔබ “Elder statements Media of Sri Lanka” ය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් එය සිංහලට නැගූ පරිදි ඔබ...“ශ්‍රී ලංකා ජනමාධ්‍ය අඹරේ මහානායක“ මය. ඔබ අපේ ගැඹුරුම තැන තැන්පත්ව ඇති පරිදි වෙනත් කිසිදු ගුරුවරයෙකුට ලබා ගත නොහැකි සම්මාන නාමය ලද, “ලොකු සර්“ ය....
උපුල් ගලප්පත්ති