ආදරය,යනු වරක් හෝ දෙවරක් අහසකට හිස ඔසවා සෘජුව දෑසට ග්‍රහණය කරගත නොහැකි වූ දුරස්ථ ග්රහලෝකයකින් ගලා එන අවර්ණ කිරණක් පරිදිය. එහි ඇසට හසුවන කිසිදු පැහැයක් හෝ හැඩයක් නොමැත. නමුත් කිසියම් පරිච්චේදයක් පුරාවටම පොල් කට්ටකින් වසා තැබූ තණකොළ පිඩකට එක්වරම උණුහුම් කිරණ වැටෙන්නාක් මෙන් ප්‍රේමය ආත්ම ගත වන මොහොතේ මිනිසකුගේ හෝ ගැහැණියකගේ හෘදාභ්‍යන්තරයේ ඇතිවන පරිවර්තනය ආශ්චර්යමත්ය.
එය එක්වරම ගහක මලක් පිපී සැලෙන්නාක් මෙන්ද, අදුරු අහසක ප්‍රභාෂ්වර තාරුකාවක් පැන නැගෙන්නාක් මෙන් ද විචිත්‍ර වෙනසක් මනුෂ්‍යයාගේ ජීවිතය තුළ ක්ෂණිකව දල්වයි. නමුත් වඩා වැදගත් වන්නේ ඒ ක්ෂණීක ආලෝකය සදාකාලිකවම ජීවිතය තුළ පවත්වා ගැනීමයි.
ජීවිතය මුහුකුරා ගිය අවදියෙහි ආදරය කරන්නෝ ප්‍රේමය යනු දසත විසිරුණු ජීවිතය පිළිබද සාරගර්භ මූලධර්මවල පුදුමාකාර ඒකරාශීවීමකැයි වහා අවබෝධ කරගනිති.සත්‍ය ප්‍රේමය යනු පතුල සෝද වතුර පුරවන ලද දියබදුනක් පරිදි පැහැදිලි ආකෘතිකමය ශඍීරයකින් යුක්තය.නමුත් බදුනෙහි වූ දිය මේ ආකෘතිය තුළම නොසෙල්වී දිගු කාලයක් පැවතියේ නම් එය පල් වී මහත් සේ දුගද හමනු ඇත.
කෙතරම් පිවිතුරු හැගීමක වුව කැළඹිමක් ගැටීමක් ඇති වී එහි පැවැත්ම තීරණය කරයි. මේ සියල්ලෙන් ඥානවන්තයා තුළ ඇති වන්නේ නිවීමකි. සැබෑ ප්‍රේමය විසින් පුද්ගලයා සැබැවින්ම නිවා දමයි. ආදරය හැම විටම ඉන්ද්‍රීය ගෝචර වන්නේ පැහැයක් හෝ හැඩයක් නැතිව බවත්, කිසියම් ආශ්චර්යමත් මොහොතකදී ඒ ක්ෂණික මනෝමය ස්පර්ෂය විසින් මනුෂ්‍යයා ආත්ම ගත නිද්‍රාවෙන් සදහටම මුදවන බවත් ඔවුහු වටහා ගනිති.
සත්‍ය ප්‍රේමය යනු මරණයෙන් වුව නොමියෙන අපූර්ව බලවේගයකි. එය මලක පැහැය මෙන් සංකල්පනිකව විචිත්රවූත් එමලෙහි සුවඳ මෙන් ඉන්ද්‍රීය ගෝචර වූත් එ සුවද පිස හමන සුළග මෙන් මනෝ ගෝචර වූත් සදාකාලික සුවදකි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -