දිනක් වයෝවෘද්ධ ජපන් සෙන් ගුරුතුමෙක් දිය කඩිත්තක් අසල හිඳගෙන සිටි දරුවකු වෙත ගොස් පසෙකින් හිඳ ගත්තේ දරුවාගේ මුහුණෙහි රැඳී තිබූ කුහුල ද සියුම්ව නිරීක්ෂණය කරමිනි.
"මොකද දරුවා දියකඩිත්ත දිහෑවෙ ඔහොම බලන් ඉන්නෙ?"
මඳක් නො සන්සුන් වූ දරුවා මෙසේ පිළිවදන් දුනි.
"නෑ... ගුරුතුමනි. මං මේ දියකඩිත්තෙ වතුර පල්වෙලා තියෙන්නෙ ඇයි කියලයි හිතමින් උන්නෙ. අනික් ඇල දොළවල වතුර වගෙ පිරිසිදු නැත්තෙ ඇයි කියලයි මං කල්පනා කළේ."
දරුවාගේ පිළිතුරෙන් උද්දාමයට පත් සෙන් ගුරුතුමාගේ දෑස් ප්‍රඥාවේ ආලෝකයෙන් විකසිත විය.
"මෙහෙමයි දරුවා. වතුර හුඟක් කාලයක් එක තැන රැඳිලා තියෙන කොට පල් වෙනවා. වතුර කියන්නෙ ගලාගෙන යන දෙයක්, ඒක එක තැන රැඳෙන්න ඕන දෙයක් නෙමෙයි. ටිකක් හිතන්න මං මේ කියපු දේ අපේ ජීවිතේට සම්බන්ධ කරගෙන බලන්න.
අපේ හිතත් මේ වතුර වගේ. එක තැන නැවතුනොත් හිතටත් වෙන්නෙ මේ දේමයි. අයහපත් දුක්බර සිතිවිලිවලින් හිත පිරෙනව. ගඟ වගෙම හිතත් ගලාගෙන යනව නම් තමයි වටින්නෙ. එතකොට අපිට අලුත් මානයන් පේන්න ගන්නවා. එතකොට අපේ හිත නැවතුන හේතුවට අපි නො හිතන අපූරු විසඳුම් ලැබෙනවා. ඒ නිසා ජලය අපිරිසිදු නො වීමට නම් ගලා යා යුතුමයි. අපේ හිතත් ඒ වගෙයි."
සරල කෙටි පැහැදිලි කිරීමෙන් දරුවා සෑහීමටත් ඉමහත් සතුටටත් පත් වූ බව වටහා ගත් සෙන් ගුරුතුමන් එතැනින් නැගිට සිය ආරාමය දෙසට පිය නැගී ය.
ජපන් කතාවක් ඇසුරිනි. : පරිවර්තනය : SanNil.