lan englan tam

සිද්දු මුසේ වාලා : ඉන්දියාවේ ජනප්‍රිය ම හිප්-හොප් තරුව ඝාතනය කිරීමේ හේතුව ගැන ඇසෙන ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එය ඉන්දියාව කම්පනයට පත් කළ ඝාතනයක් විය. පන්ජාබි හිප්-හොප් තරුවක් වූ සිද්දු මුසේ වාලා (Sidhu Moose Wala), ඔහුගේ Thar රථයේ ඉදිරිපස වීදුරුව හරහා කුලී තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය.

Sindhu Moose Walaසිද්දු මුසේ වාලා 2022 වසරේදී සාහසික ලෙස වෙඩි තබා ඝාතනය කෙරිණි

පැය කිහිපයක් ඇතුළත, 'ගෝල්ඩි බ්‍රාර්' නම් පන්ජාබි මැරවරයෙකු ෆේස්බුක් භාවිත කරමින් මෙම ඝාතනය සිදු කළේ තම අවශ්‍යතාව අනුව බව පවසමි එහි වගකීම භාර ගත්තේ ය.

මෙම සිදුවීම සිදු වූයේ 2022 වසරේදීයි.

නමුත් ඝාතනයෙන් වසර තුනකට පසුවත් (2025), කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිණි. ගෝල්ඩි බ්‍රාර් තවමත් නීතියේ රැහැනින් මිදී සිටින අතර ඔහු සිටින ස්ථානය නොදනී.

BBC Eye විසින් ගෝල්ඩ් බ්‍රාර් සම්බන්ධ කර ගැනීමට සමත් වූ අතර සිද්දු මුසේ වාලා ඉලක්කයක් වූයේ කෙසේ ද සහ ඇයි ද යන්න පිළිබඳව ඔහුගෙන් ඍජුව ප්‍රශ්න කළේ ය.

ඔහු ලබා දුන් ප්‍රතිචාරය පැහැදිලි නමුත් වරදකාරී හැඟීමකින් තොර විය.

"අහංකාරකම නිසා, එයා [මුසේ වාලා] සමාව දෙන බැරි වැරදි කිහිපයක් කළා," බ්‍රාර් බීබීසී ලෝක සේවයට පැවසීය.

"අපිට එයාව මරනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ. එයා කරපු දේවල්වල ප්‍රතිවිපාකවලට එයාට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක සරලයි.

2022 මැයි මාසයේ උණුසුමින් පිරී ගොස් තිබුණු සැන්දෑවක, සිද්දු මුසේ වාලා උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ තම ගම්මානය අසලින් වැටී ඇති දූවිලි සහිත මංතීරු ඔස්සේ සිය කළු පැහැති Mahindra Thar SUV රථය සුපුරුදු පරිදි පදවාගෙන ගියේ ය. ගත වූයේ මිනිත්තු කිහිපයකි. මෝටර් රථ දෙකක් ඔහු පසු පස හඹා එන්නට විය.

සීසීටීවී දර්ශනවලින් පෙනී ගියේ, ඔවුන් පටු වංගුවලින් පවා ගමන් කරමින්, ඔහුගේ රථයට සමීපව සිටීමට උත්සහ කරන ආකාරයයි. ඉන්පසුව, මාර්ගයේ ඇති වංගුවකදී, එක් වාහනයක් ඉදිරියට ගොස්, මුසේ වාලාගේ SUV රථය තාප්පයක් අයිනට වන ලෙස හරස් කළේ ය. ඔහු කොටු විය. මොහොතකින්, වෙඩි තැබීම ආරම්භ විය.

ජංගම දුරකතන දර්ශනවල සිද්ධියෙන් පසු තත්ත්වය සටහන් විය. ඔහුගේ SUV රථය වෙඩි උණ්ඩවලින් පිරී තිබිණි, ඉදිරිපස වීදුරුව බිඳී ගොස් තිබිණි. එහි බොනට්ටුව සිදුරු වී තිබිණි.

වෙව්ලන හඬින්, අසල සිටි පිරිස් එම සිදුවීමෙන් තමන් කම්පනයට පත් වූ ආකාරය සහ සිය කනස්සල්ල ප්‍රකාශ කළහ.

"කවුරු හරි මෙයාව කාර් එකෙන් එළියට ගන්න."

"වතුර ටිකක් ගන්න."

"මුසේ වාලාට වෙඩි තියලා."

නමුත්, ඒ වන විටත් ප්‍රමාද වී තිබුණි. රෝහලට ගෙන එන විටත් ඔහු මිය ගොස් සිටි බවට ප්‍රකාශ කෙරිණි. පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව හෙළි වූයේ ඔහුට වෙඩි උණ්ඩ 24ක් වැදී තිබූ බව ය. නූතන පන්ජාබයේ ජනප්‍රිය ම සංස්කෘතික නිරූපකයෙකු වූ 28 හැවිරිදි රැප් ගායක සිද්දු මුසේ වාලා මහ දවාලයේ වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මුසේ වාලා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටි ඥාති සහෝදරයෙක් සහ මිතුරෙක් තුවාල ලැබූ නමුත් දිවි ගලවා ගත්හ.

අවසානයේ තුවක්කුකරුවන් හය දෙනෙකු හඳුනා ගැනිණි. ඔවුන් සතුව තිබුණු AK-47 ගිනි අවි සහ පිස්තෝල මගින් වෙඩි තැබීම සිදු කර තිබිණි. ඝාතනයෙන් පසු සති කිහිපය තුළ, පුද්ගලයින් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගන්නා ලද අතර, ඉන්දීය පොලිසිය "වෙඩි හුවමාරු" ලෙස විස්තර කළ දෙයකින් සැක සහිත සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක් මිය ගියහ.

සැකකරුවන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනුණ ද, ඝාතනයේ අරමුණ අපැහැදිලි විය.

ප්‍රහාරයට අණ දුන් බව කියන ගෝල්ඩි බ්‍රාර්, ඝාතනය සිදුවන අවස්ථාවේ ඉන්දියාවේ සිට නැත. ඔහු කැනඩාවේ සිටි බවට විශ්වාස කෙරේ.

ඔහු සමග අප සිදු කළ සංවාදය පැය හයක් පුරා දිග හැරුණු අතර, හඬ සටහන් (voice notes) හුවමාරු කර ගනිමින් එය සිදු විය. මුසේ වාලා ඝාතනය කළේ ඇයි ද යන්න සොයා ගැනීමටත්, ඝාතනයේ වගකීම භාරගත් මෙම පුද්ගලයාගේ අභිප්‍රායන් ගැන ප්‍රශ්න කිරීමටත් එය අපට අවස්ථාවක් ලබා දුන්නේ ය.

f48a00f0 453a 11f0 bace e1270fc31f5e.jpg2021 සැප්තැම්බර් මාසයේ ලන්ඩනයේ පැවති Wireless Festivalහිදී මුසේ වාලා ඉදිරිපත් කිරීමක් කරමින්

සිද්දු මුසේ වාලා, පන්ජාබයේ ග්‍රාමීය ප්‍රදේශයක ජාට්-සික් පවුලකට දාව ශුබ්දීප් සිං සිද්දු ලෙස උපත ලැබූ අතර, 2016දී ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා කැනඩාවට ගියේ ය. එය පන්ජාබි ඩයස්පෝරාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට හුරුපුරුදු ගමනකි.

නමුත් ඔහුගේ රැප් නාමයට ආභාෂය සැපයූ මුසා ගම්මානයෙන් බොහෝ දුරින් පිහිටි එරටදී ඔහු පන්ජාබි සංගීතයේ වඩාත් ම බලගතු කලාකරුවෙකු ලෙස තමාව නැවත ගොඩනගා ගත්තේ ය.

මුසේ වාලා ඔහු තුළ වූ සුවිශේෂී අහංකාර ස්වභාවය, ආකර්ෂණීය විලාසය සහ ගීතවල තිබුණු තියුණු බව ද පෙරදැරි කරගෙන අනන්‍යතාව සහ දේශපාලනය, ගිනිඅවි සහ පළිගැනීම ගැන විවෘතව ගායනා කළ අතර, පන්ජාබි සංගීතයෙන් සාමාන්‍යයෙන් පැවසීමට කැමති වූ දේවල්වලින් ඔබ්බට යමින් ගායනයේ යෙදිණි.

1996දී ඝාතනයට ලක් වූ ඒ වන විට 25 වන වියේ පසු වූ රැප් ගායක ටූපක් ෂකූර් පිළිබඳව ඔහු තුළ දැඩි ඇල්මක් තිබිණි. "පෞරුෂය අතින්, මට ඔහු වගේ වෙන්න ඕන," මුසේ වාලා වරක් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "ඔහු මිය ගිය දවසේ මිනිස්සු ඔහු වෙනුවෙන් ඇඬුවා. මටත් ඒක ම ඕන. මම මැරුණා ම, මම ත් මෙහෙම කෙනෙක් කියලා මිනිස්සුන්ගේ මතකයේ තියෙන්න ඕනේ."

කෙටි නමුත් කැළඹීම් ඇති කළ වෘත්තීය ජීවිතයක් තුළ, ඔහු ඉන්දියාවේ පන්ජාබ් කලාපයේ අඳුරු පැතිකඩ, එනම් මැර සංස්කෘතිය, විරැකියාව සහ දේශපාලනික පරිහානිය ඉස්මතු කළ අතර ග්‍රාමීය ජීවිතය පිළිබඳ ගැඹුරු අතීතකාමී හැඟීම් මතු කළේ ය.

මුසේ වාලා ගෝලීය බලවේගයක් ද විය. යූටියුබ්හි සිය සංගීත වීඩියෝ සඳහා බිලියන පහකට වඩා නැරඹුම් වාර ඇති, එක්සත් රාජධානියේ ගීත දර්ශකවල ඉහළ ම 5 රැඳෙමින් සහ බර්නා බෝයි ඇතුළු ජාත්‍යන්තර හිප්-හොප් කලාකරුවන් සමග සහයෝගීතාවයෙන් මුසේ වාලා ඉන්දියාව, කැනඩාව, එක්සත් රාජධානිය සහ ඉන් ඔබ්බට විහිදෙන රසික පිරිසක් ඉක්මනින් ගොඩනගා ගත්තේ ය. ඔහු තමාව පරමාදර්ශී චරිතයක් ලෙස සහ කැරලිකරුවෙකු ලෙස දුටු ඩයස්පෝරාවකින් බල ගැන්විණි.

නමුත් එම කීර්තිය පැමිණියේ ගැටලු රැසක් ද සමග ය. ඔහු නැගී එන තරුවක් වුව ද සහ ඔහුගේ ගීතවල සමාජයීය වශයෙන් සවිඥානික පද රචනා තිබුණ ද මුසේ වාලා භයානක කලාපයකට ක්‍රමයෙන් තල්ලු වෙමින් සිටියේ ය. ඔහුගේ එඩිතර හැසිරීම, කැපී පෙනීම සහ වර්ධනය වන බලපෑම පන්ජාබ්හි වඩාත් ම බියකරු මැර කල්ලිවල අවධානයට ලක් විය. මොවුන් අතර ගෝල්ඩි බ්‍රාර් සහ ඒ වන විටත් ඉන්දියාවේ අධිආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි බ්‍රාර්ගේ මිතුරා ලෝරන්ස් බිෂ්නෝයි ද වූහ.

බ්‍රාර් ගැන එතරම් තොරතුරු නැති නමුත් ඔහු ඉන්ටර්පෝල් රතු නිවේදන ලැයිස්තුවේ සිටින අතර, බිෂ්නෝයි විසින් මෙහෙයවනු ලබන මැර කල්ලි ජාලයක ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි. ඝාතන සැලසුම් කිරීම, තර්ජන කිරීම සහ කල්ලිය දියුණු කිරීමට ඔහු දායක වේ. මුසේ වාලාට වසරකට පසුව එනම්, 2017දී ඔහු කැනඩාවට සංක්‍රමණය වූ බව ත්, මුලින් ට්‍රක් රථ රියදුරෙකු ලෙස සේවය කළ බව ත් සැලකේ.

කලක් පන්ජාබ්හි ප්‍රචණ්ඩකාරී විශ්වවිද්‍යාල දේශපාලනයේ නියැළී සිටි ශිෂ්‍ය නායකයෙකු වූ බිෂ්නෝයි, ඉන්දියාවේ වඩාත් ම බියකරු අපරාධවල මහ මොළකරුවෙකු බවට පත්ව ඇත.

5f786850 4542 11f0 835b 310c7b938e84.jpgලෝරන්ස් බිෂ්නෝයි (මැද) ඉන්දියාවේ වඩා ත් කුප්‍රකට සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පවත්වාගෙන යයි

ඉන්දියානු පුවත්පතක් වන ට්‍රිබියුන්හි (Tribune) නියෝජ්‍ය කර්තෘ ජුපින්දර්ජිත් සිංට අනුව: "ලෝරන්ස් බිෂ්නෝයිට එරෙහිව ගොනු කරන ලද පළමු [පොලිස්] නඩු සියල්ල ම ශිෂ්‍ය දේශපාලනය සහ ශිෂ්‍ය මැතිවරණවලට සම්බන්ධයි... ප්‍රතිවාදී ශිෂ්‍ය නායකයෙකුට පහර දීම, ඔහුව පැහැර ගැනීම, ඔහුට හානි කිරීම."

මෙය සිරගත වීමට හේතු වූ අතර එය ඔහුව තවත් දැඩි කළ බව පන්ජාබ් පොලිසියේ මැර කල්ලි විරෝධී කාර්ය සාධක බළකායේ සහකාර පොලිස්පති ගුර්මීත් සිං චෞහාන් පවසයි.

"එයා හිරේට ගියාට පස්සේ, අපරාධවලට ගැඹුරින් යොමු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා එයාගේ ම කණ්ඩායමක් හදා ගත්තා. ඒක කල්ලි අතර දෙයක් බවට පත් වුණා ම, එයාට පැවැත්ම සඳහා මුදල් අවශ්‍ය වුණා. ඔවුන්ට වැඩිපුර මිනිස් බලය අවශ්‍යයි, වැඩිපුර අවි අවශ්‍යයි. ඒ සියල්ල සඳහා ඔවුන්ට මුදල් අවශ්‍යයි. ඉතින්, මුදල් උපයා ගන්න, කප්පම් ගැනීමට හෝ අපරාධවලට සම්බන්ධ වෙන්න ඕනේ."

දැන් 31 හැවිරිදි වියේ පසුවන බිෂ්නෝයි, ඉන්ස්ටග්‍රෑම් පිටු සහ කල්ට් එකක් වැනි දෙයක සිටින අනුගාමිකයින් පිරිසක් සමග, සිරගෙදර සිටියදී ම ඔහුගේ කල්ලිය මෙහෙයවයි.

"ඉතින් බිෂ්නෝයි හිරේ ඉන්නකොට, බ්‍රාර් තමයි කල්ලි හසුරුවන්නේ," සහකාර පොලිස්පති චෞහාන් පවසයි.

BBC Eye සඳහා බ්‍රාර් සමග ඍජුව සම්බන්ධ වීමේදී වසරක් පුරා මූලාශ්‍ර පසුපස හඹා යාම, ඔහු හා සම්බන්ධ වීමට උපකාර කළ හැකි පුද්ගලයින් සමග විශ්වාසය හා සබඳතා ගොඩනගා ගැනීම, පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටීම, ක්‍රමයෙන් ඔහුට සමීප වීම වැනි අවධි පසු කරන යන්නට විය.. නමුත් අප බ්‍රාර් වෙත සමීප වූ විට, ඔහු සහ බිෂ්නෝයි මුසේ වාලා සතුරෙකු ලෙස දුටුවේ කෙසේ ද සහ ඇයි ද යන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ආරම්භ විය.

d7e9e040 4559 11f0 bace e1270fc31f5e.jpgගෝල්ඩි බ්‍රාර් (දකුණේ) ලෝරන්ස් බිෂ්නෝයි සමග

පළමු හෙළිදරව් කිරීම්වලින් එකක් වූයේ බිෂ්නෝයි සහ මුසේ වාලා අතර සම්බන්ධතාව ඔහු ඝාතනය කිරීමට බොහෝ කලකට පෙර සිට පැවත එන බවයි.

"ලෝරන්ස් [බිෂ්නෝයි] සිද්දු [මුසේ වාලා] සමග සම්බන්ධකම් පැවැත්වුවා. මම දන්නේ නැහැ කවුද ඒ අයව එකිනෙකාට හඳුන්වලා දුන්නේ කියලා. මම කවදාවත් ඇහුවෙත් නැහැ. හැබැයි එයාලා කතා කළා," බ්‍රාර් පැවසීය.

"සිද්දු ලෝරන්ස්ට මූනිච්චාවට වගේ, 'good morning' සහ 'good night' මැසේජස් යැව්වා."

නිර්නාමිකව කතා කළ මුසේ වාලාගේ මිතුරෙකු ද අපට පැවසුවේ, බිෂ්නෝයි 2018 තරම් කාලයක සිට ඔහු සමග සම්බන්ධ වී සිටි බවත්, සිරගෙදර සිට ඔහුට කතා කර ඔහුගේ සංගීතයට කැමති බව පැවසූ බවත්ය.

මුසේ වාලා නැවත ඉන්දියාවට ගිය පසු ඔවුන් අතර "පළමු ආරවුල" ඇති වූ බව බ්‍රාර් අප හා පැවසීය. එය ආරම්භ වූයේ, පන්ජාබි ගම්මානයක පැවති සාම්ප්‍රදායික දකුණු ආසියානු කණ්ඩායම් ක්‍රීඩාවක් වන කබඩි තරගයකින් බව පෙනේ.

f29acf50 45e3 11f0 bace e1270fc31f5e.jpgකලාපයේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන කබඩි, මුසේ වාලා සහ බිෂ්නෝයිගේ කල්ලිය අතර ගැටුමක් ඇති කිරීමට හේතු විය

බිෂ්නෝයිගේ ප්‍රතිවාදීන් වන බම්බිහා කල්ලිය විසින් සංවිධානය කරන ලද තරගාවලිය මුසේ වාලා විසින් ප්‍රවර්ධනය කරනු ලැබ ඇති බව බ්‍රාර් අප වෙත පැවසීය. කබඩි යනු, තරග පාවාදීම් සහ මැර කල්ලි බලපෑම බහුලව පවතින ක්‍රීඩාවකි.

"ඒ අපේ ප්‍රතිවාදීන්ගේ ගමක්. එයා අපේ ප්‍රතිවාදීන්ව ප්‍රවර්ධනය කළා. ඒ වෙලාවේ තමයි ලෝරන්ස් ඇතුළු පිරිස එයා එක්ක තරහ වුණේ. "එයාලා සිද්දුට තර්ජනය කළා, එයාව ඉතුරු කරන්නේ නැහැ කියලා කිව්වා," බ්‍රාර් BBC Eye වෙත පැවසීය.

එහෙත් මුසේ වාලා සහ බිෂ්නෝයි අතර ඇති වූ ආරවුල අවසානයේ බිෂ්නෝයිගේ සහචරයෙකු වන විකී මිද්ධුඛේරා විසින් සමතයකට පත් කරනු ලැබීය.

26fd2f00 455c 11f0 b6e6 4ddb91039da1.jpgවිකී මිද්ධුඛේරා (දකුණ), බිෂ්නෝයි (වම) සහ බ්‍රාර් යන දෙදෙනාට ම සමීප අයෙකු විය

නමුත් 2021 අගෝස්තු මාසයේදී මෝහාලිහි වාහන ගාල් කිරීමේ ස්ථානයකදී මැර කල්ලි විසින් මිද්ධුඛේරා වෙඩි තබා ඝාතනය කරනු ලබන විට, සිද්ද්දු මුසේ වාලා කෙරෙහි බිෂ්නෝයිගේ සතුරුකම ආපසු හැරවිය නොහැකි මට්ටමකට ළඟා වූ බව බ්‍රාර් අපට පැවසීය.

මිද්ධුඛේරා ඝාතනය කිරීමේ වගකීම බම්බිහා කල්ලිය භාර ගත්තේ ය. තුවක්කුකරුවන්ට තොරතුරු සහ අවශ්‍ය පහසුකම් සැපයූ බවට සාක්ෂි උපුටා දක්වමින් පොලිසිය චෝදනා පත්‍රයේ මුසේ වාලාගේ මිතුරෙකු සහ කලක් කළමනාකරුවෙකු වූ ෂගන්ප්‍රීත් සිං නම් කළේ ය. සිං පසුව ඉන්දියාවෙන් පලා ගොස් ඔස්ට්‍රේලියාවේ සිටින බවට විශ්වාස කෙරේ. මුසේ වාලා ඊට තමාගේ සම්බන්ධයක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළේ ය.

පන්ජාබ් පොලිසිය බීබීසීයට පැවසුවේ, මුසේ වාලා ඝාතනයට හෝ කල්ලි සම්බන්ධ අපරාධයකට සම්බන්ධ කරන කිසිදු සාක්ෂියක් නොමැති බවයි. නමුත් මුසේ වාලාට ෂගන්ප්‍රීත් සිං සමග තිබුණු මිත්‍රත්වය, ඔහු බම්බිහා කල්ලිය සමග කටයුතු කරන බවට ඇති මතය කිසි විටෙකත් ඉවත් කිරීමට ඉඩ නොදුන්නේ ය. එය ඔහුගේ ජීවිතය අනතුරේ දැමීමට තුඩු දුන් මතයක් විය හැකි ය.

මුසේ වාලාගේ සම්බන්ධය පිළිබඳ කිසිදු සාක්ෂියක් උපුටා දැක්විය නොහැකි වුව ද, මෙම ගායකයා කෙසේ හෝ මිද්ධුඛේරා ඝාතනයට හවුල් වූ බව බ්‍රාර් අප හා සංවාදයේ යෙදෙන විටත් දැඩි සේ විශ්වාස කළේ ය. මිද්ධුඛේරාට වෙඩි තැබීමට පෙර දිනවල ෂගන්ප්‍රීත් සිං තුවක්කුකරුවන්ට උපකාර කළ බව බ්‍රාර් අප හා නැවත නැවතත් පැවසූ අතර, මුසේ වාලා ද ඊට සම්බන්ධ වන්නට ඇති බව අනුමාන කළේ ය.

"සිද්දුගේ භූමිකාව හැමෝම දැනගෙන හිටියා, විමර්ශනය කරන පොලිසිය දැනගෙන හිටියා, විමර්ශනය කරන මාධ්‍යවේදීන් පවා දැනගෙන හිටියා. සිද්දු දේශපාලනඥයන් හා බලයේ සිටින පුද්ගලයින් හා සම්බන්ධතා පැවැත්වුවා. එයා අපේ ප්‍රතිවාදීන්ට උදව් කරන්න දේශපාලන බලය, මුදල් සහ ඔහුගේ සම්පත් භාවිත කරමින් සිටියා," බ්‍රාර් BBC Eye වෙත පැවසීය.

"අපිට ඕන වුණේ එයා කරපු දේට දඬුවම් දෙන්න. එයාව අත්අඩංගුවට අරගෙන චෝදනා ගොනු කරන්න තිබුණා. ඒත් කිසි කෙනෙක් අපේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නැහැ."

ඉන්දියාවේ අධිකරණ පද්ධතියක් සහ නීතියේ ආධිපත්‍යය ඇති බව අපි බ්‍රාර්ට පෙන්වා දුන්නෙමු. නීතිය තමන් අතට ගැනීම ඔබ සාධාරණීකරණය කරන්නේ කෙසේ ද?

"නීතිය. යුක්තිය. එහෙම දෙයක් නෑ," ඔහු පවසයි. "යුක්තිය [ලබා ගන්න] පුළුවන්... බලය තියෙන අයට විතරයි, අපි වගේ සාමාන්‍ය අයට නෙවෙයි."

විකී මිද්ධුඛේරාගේ සහෝදරයා පවා දේශපාලනයේ යෙදී සිටිය ද, ඉන්දියාවේ අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ඉටු කර ගැනීමට අරගල කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

"එයා පිරිසිදු මිනිහෙක්. එයා එයාගේ මල්ලිට නීත්‍යනුකූලව යුක්තිය ඉටු කරන්න ගොඩක් උත්සහ කළා. කරුණාකරලා එයාට කතා කරලා ඒක කොහොම ද කියලා අහන්න."

ඔහුට පසුතැවිල්ලක් ඇති බවක් නොපෙනිණි.

"මගේ සහෝදරයා වෙනුවෙන් කළ යුතු දේ මම කළා. මට කිසි ම පසුතැවිල්ලක් කියලා එකක් නැහැ."

මූසේ වාලාගේ ඝාතනය සංගීතයේ දක්ෂයෙකුගේ අහිමි වීමට හේතු වූවා පමණක් නොව, එය පන්ජාබ්හි මැර කල්ලිවලට ද ධෛර්යයක් ලබා දී තිබේ.

මෙම ගායකයාගේ ඝාතනයට පෙර, පන්ජාබයෙන් පිටත බිෂ්නෝයි හෝ බ්‍රාර් ගැන අසා තිබුණේ ස්වල්ප දෙනෙකි.

ඝාතනයෙන් පසු, ඔවුන්ගේ නම් සෑම තැනක ම ඇසෙන්නට විය. ඔවුහු මුසේ වාලාගේ කීර්තිය පැහැරගෙන, එය තමන්ගේ ම කුප්‍රකට සන්නාමයක් බවට පරිවර්තනය කර ගත්හ. එය කප්පම් ගැනීම සඳහා බලවත් මෙවලමක් බවට පත් වූ කුප්‍රකටත්වයකි.

"පසුගිය දශක කිහිපය තුළ පන්ජාබයේ සිදු වූ බරපතළ ම ඝාතනය තමයි මේක," පන්ජාබ්හි මාධ්‍යවේදියෙකු වන රිටේෂ් ලකී පවසයි. "කප්පම්කරුවන්ගේ කප්පම් ගැනීමේ හැකියාව ඉහළ ගොස් තිබෙනවා. මුසේ වාලා මරා දැමීමෙන් පසු [ගෝල්ඩි බ්‍රාර්] විශාල මුදලක් උපයනවා."

මාධ්‍යවේදී ජුපින්දර්ජිත් සිං ඊට එකඟ වේ: "මැර කල්ලිවලට තියෙන බය කියන දේ මහජනතාව අතර ඉහළ ගිහිල්ලා."

පන්ජාබි සංගීත කර්මාන්තයේ කප්පම් ගැනීම දිගු කලක් තිස්සේ ගැටලුවක් වී ඇති නමුත් දැන් සිද්දුගේ ඝාතනයෙන් පසු, සිං මෙසේ පවසයි: "සංගීත හා චිත්‍රපට කර්මාන්තයේ සිටින පුද්ගලයින්ට පමණක් නෙවෙයි - දේශීය ව්‍යාපාරිකයින්ට පවා ඇමතුම් ලැබෙනවා."

මේ පිළිබඳව BBC Eye බ්‍රාර්ගෙන් ප්‍රශ්න කළ විට, ඔහු අරමුණ එය බව ප්‍රතික්ෂේප කළ නමුත්, කප්පම් ගැනීම කල්ලියේ ක්‍රියාකාරිත්වයට කේන්ද්‍රීය වූ බව පැහැදිලිව ම පිළිගත්තේ ය.

"හතර දෙනෙක් ඉන්න පවුලකට කන්න දෙන්න මිනිහෙක්ට තමන්ගේ මුළු ජීවිත කාලය පුරා ම අරගල කරන්න සිද්ධ වෙනවා. අපට පවුලේ අය වගේ ඉන්න සිය ගණනක් හෝ දහස් ගණනක් මිනිස්සු බලා ගන්න වෙනවා. අපි මිනිසුන්ගෙන් කප්පම් ගන්න ඕනේ.

"සල්ලි ගන්න නම්, [මිනිස්සු] අපිට බය වෙන්න ඕනේ." යනුවෙන් සඳහන් කළේය.

 

කර්තෘ - සෞතික් බිස්වාස් සහ ඉෂ්ලීන් කෝර් (Role,BBC Eye Investigations)

(මෙම ලිපිය BBC News සිංහල ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom