lan englan tam

ලංකාවේදී ලබාගත හැකි Starlink පැකේජ මොනවාද? (වාසි හා අවාසි ගැන විස්තර මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්ට්‍රීමිං, ඔන්ලයින් ගේමිං, වීඩියෝ කෝල්ස් ඇතුළු බොහෝ දෑ සඳහා සහය වන පෘථිවියට ආසන්නයෙන් කක්ෂගතව ඇති ලොව ප්‍රථම සහ විශාලතම චන්ද්‍රිකා සමූහය බව පැවසෙන Starlink ජූනි 3 වන දා සිට මෙරට සේවා ආරම්භ කරනු ලැබුවා.

Starlink නිර්මාණය කර ක්‍රියාත්මක කරන සමාගම වන SpaceXහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සහ ශ්‍රී ලංකාව තුළ සිය සේවා ඇරඹීම සම්බන්ධයෙන් X සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "Starlink දැන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යි," යනුවෙනි.

Starlink නිල වෙබ් අඩවියට අනුව, එහි සේවා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක් ම ආවරණය කර තිබේ.

ඒ අනුව, මෙරට පාරිභෝගිකයින්ට "low-latency" ඉන්ටර්නෙට් අත් විඳීමට ඉඩ සැලෙසෙන බව Starlink, X පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

මේ, Starlink සහ එමගින් සපයනු ලබන සේවා පිළිබඳව සොයා බැලීමකි.

 

8ba46d80 57ed 11f0 972f 6b9fb11f4e82.jpg

Starlink පැකේජ මොනවා ද?

Starlink සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් සේවාව මගින් පරිශීලකයින් වෙත පැකේජ කිහිපයක් යටතේ ඉන්ටර්නෙට් හා සම්බන්ධ වීමට ඉඩ සලසයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙන් ම Starlink නිල වෙබ් අඩවිය ද මෙම පැකේජ පිළිබඳව සවිස්තර තොරතුරු ඉදිරිපත් කර ඇත.

ඒවා Personal සහ Business ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කර තිබේ.

Personal කාණ්ඩය යටතේ Residential සහ Roam පැකේජ පවතින අතර, Business කාණ්ඩය යටතේ පැකේජ තුනක් පවතී.

 

පහතින් දැක්වෙන්නේ TRCSL විසින් අනුමත කරන ලද පැකේජ සහ Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති පැකේජ පිළිබඳ තොරතුරු ය.

 

1. Residential (Fixed)

මෙම පැකේජය සඳහා අය කරනු ලබන මාසික ගාස්තුව රු. 15,000කි (බදු ඇතුළුව).

Starlink වෙබ් අඩවියට අනුව දෘඪාංග සඳහා අය කරනු ලබන ගාස්තුව රු. 118,000කි.

නිවසේ දෛනික ඉන්ටර්නෙට් භාවිතය සඳහා නිර්දේශ කරනු ලබන මෙම පැකේජයට ලබා දෙන දෘඪාංග කට්ටලය ඔවුන් Starlink Standard Kit ලෙස හඳුන්වා තිබේ.

එය දිගින් මි.මී. 594ක්, පළලින් මි.මී. 383ක් සහ ඝනකමින් මි.මී. 39.7කින් යුක්ත ය. එහි බර කිලෝග්‍රෑම් 2.9ක් වන අතර රවුටරයක් ද මෙම කට්ටලය සමග ලබා දෙයි.

පැයට කිලෝමීටර් 96කට වඩා වැඩි වේගයකින් සුළං හමන විට පවා මෙය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව Starlink වෙබ් අවවිය පවසයි.

එහි Snow melt capability යන විශේෂාංගය ද අන්තර්ගත වේ.

Residential පැකේජයේදී සීමාවකින් තොරව data භාවිත කළ හැකි අතර එහි download වේගය තත්පරයට මෙගාබයිට් 100-270ක් සහ upload වේගය තත්පරයට මෙගාබයිට් 10-25 පමණ වේ. එය Unlimited Residential Data ලෙස හඳුන්වයි.

 

2. Residential Lite (Fixed)

TRCSL පවසන පරිදි මෙම පැකේජය සඳහා අය කරනු ලබන මාසික ගාස්තුව රු. 9,200කි. නමුත් Starlink වෙබ් අඩවියට අනුව, එහි මාසික ගාස්තුව රු. 12,000කි.

මෙම පැකේජය සඳහා ද Starlink Standard Kit දෘඩාංග කට්ටලය ලබා දෙන අතර එහි ගාස්තුව ද රු. 118.000කි.

එය අඩු භාවිතයක් සහිත කුඩා නිවාස සඳහා වඩාත් සුදුසු යැයි නිර්දේශ කර ඇත.

සීමාවකින් තොරව මෙම පැකේජයේදී ද data ලබා දෙන අතර එය Unlimited Deprioritized Data ලෙස හඳුන්වා ඇත. ඉන් අදහස් වන්නේ, කාර්ය බහුල කාලවලදී එනම් වැඩි පරිශීලකයින් ගණනක් ඉන්ටර්නෙට් භාවිත කරන විට Priority පැකේජ භාවිත කරන අනෙක් පරිශීලකයින් හා සැසඳීමේදී මෙම සම්බන්ධතාව මන්දගාමී විය හැකි ය යන්න ය.

තත්පරයට මෙගාබයිට් 45-130 අතර download වේගයක් සහ තත්පරයට මෙගාබයිට් 10-20 upload වේගයක් මෙමගින් අත්විඳිය හැක.

දෘඪාංග කට්ටලය බෙදා හැරීමේ ගාස්තුව ලෙස රු. 5,820ක් අය කරන බව Starlink පවසයි. ඇණවුම් කර සති 3-4 අතර කාලයකදී මෙය ලබා ගැනීමට හැක.

මෙම පැකේජ දෙකට ම අදාළ දෘඪාංග පාරිභෝගිකයින්ට නිවසේදී ම පියවර දෙකකින් සවිකර ගත හැකි බව Starlink පවසයි.

Starlink Standard Kit දෘඪාංග කට්ටලය ප්‍රධාන කොටස් 6කින් සමන්විත වේ. Starlink, Kickstand, Gen 3 Router, Starlink Cable, AC Cable සහ Power Supply යන කොටස් ඒවා අතර වේ.

 

3. Business

ව්‍යාපාර සඳහා ද Starlink සේවාව ලබා ගත හැකි අතර පැකේජ Fixed Site, Land Mobility සහ Maritime ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ ලබා ගත හැක.

Fixed Site යටතේ පැකේජ 4කි:

  • Priority - 40 GB

ද්විතියික ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් ලෙස මෙය භාවිත කළ හැකි අතර (best for back up connectivity) අධික ලෙස ඉන්ටර්නෙට් භාවිත නොකරන කුඩා සාප්පු හෝ කාර්යාල සඳහා සුදුසු බව Starlink පවසයි.

අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් අවශ්‍ය නොවන, ඊමේල්, පණිවිඩ යැවීම හෝ බ්‍රවුස් කිරීම වැනි සරල කාර්යයන් සඳහා එය උචිත ය (low bandwidth applications).

මෙය ද්විතියික සම්බන්ධතාවයක් ලෙස භාවිත කරන්නේ නම් සහ ගිගාබයිට් 40ට වඩා භාවිත කරන්නේ නම්, අමතර Priority data ස්වයංක්‍රීයව ලබා ගැනීම සක්‍රීය කර තැබීම යෝග්‍ය බව Starlink පෙන්වා දෙයි.

එමගින් අදාළ සීමාව ඉක්මවූ පසු ඉන්ටර්නෙට් වේගය අඩාල නොවී කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය ඉඩ සලසයි.

මාසික ගාස්තුව රු. 24,100ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 20,994ක් බව ය.

  • Priority - 1 TB

මධ්‍යස්ථ data ප්‍රමාණයක් භාවිත කරන (පරිශ්‍රීලකයින් 5-10) හෝ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා මෙම පැකේජය උචිත බව Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මාසික ගාස්තුව රු. 63,300ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 62,859ක් බව ය.

  • Priority - 2 TB

සාමාන්‍යයට වඩා වැඩි දත්ත අවශ්‍යතා ඇති (පරිශීලකයින් 10-20) මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා වඩාත් උචිත ය.

මාසික ගාස්තුව රු. 127,000ක් බව Starlink පවසන නමුත් TRCSL පවසන්නේ එය රු. 125,965ක් බව ය.

Starlink පෙන්වා දෙන්නේ, 6 TB පැකේජයක් ද ඇති බවත් නමුත් එය සබඳතාවක් මිලට ගැනීමෙන් පසු ලබා ගත හැකි බව ත් ය.

TRCSL පෙන්වා දෙන්නේ, 6 TB පැකේජය සඳහා මාසික ගාස්තුව 377,896ක් බව ය.

එමෙන් ම, මෙම priority data ලබා ගත හැක්කේ ඉහත පැකේජවල සඳහන් දත්ත ප්‍රමාණය දක්වා පමණක් වන අතර අමතරව ලබා ගන්නා ගිගාබයිට් එකක් සඳහා රු. 125.58ක අමතර ගාස්තුවක් අය කරන බව ද TRCSL පවසයි.

මේ අතර, Business කාණ්ඩයේ දෘඪාංග කට්ටලය සඳහා රු. 911,000ක මුදලක් අය කරනු ලබ යි.

Performance (Gen 2) ලෙස හඳුන්වන එය රළු පරිසරවල චලනය (in-motion) වන අතරතුර භාවිත කිරීම සඳහා වඩා ත් සුදුසු බව Starlink පවසයි.

පැයට කිලෝමීටර 280කට වඩා වැඩි වේගයකින් සුළං හමන විට පවා මෙය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව Starlink පෙන්වා දෙයි.

මෙහි ද Snow Melt Capability යන විශේෂාංගය ද අන්තර්ගත වේ. Starlink Standard Kit එකට සාපේක්ෂව මෙය තරමක් විශාලය. නමුත් මෙම කට්ටලයට රවුටරය ඇතුළත් නොවේ.

එහි IP ශ්‍රේණිගත කිරීම (දූවිලි සහ ජලයෙන් ආරක්ෂා වීම) IP56 බව Starlink පවසයි.

 

Land Mobility සේවාව රු. 92,000ක මාසික ගාස්තුවකින් ඇරඹෙන අතර එමගින් ගිගාබයිට් 50 සිට ටෙරාබයිට් 5 දක්වා data ලබා ගත හැක. එම සීමාවට අමතර data ලබා ගැනීමට අවස්ථාව පවතින බව Starlink වෙබ් අඩවියේ දැක්වෙයි.

 

4. Roam

මෙය 50GB සහ Unlimited ලෙස පැකේජ දෙකකින් සමන්විත අතර ඒ සඳහා පාරිභෝගිකයින්ට Starlink Mini Kit සහ Starlink Mini Kit ලෙස දෘඩාංග කට්ටල මිලට ගත හැකි ය.

  • Roam - 50GB

මේ සඳහා අය කෙරෙන මාසික ගාස්තුව රු. 15,000කි. එම සම්බන්ධතාව සමග Starlink Mini Kit මිලට ගත හැකි අතර ඒ සඳහා රු. 60,200ක් වැය කළ යුතු ය.

ඒ සඳහා Starlink Standard Kit මිල දී ගන්නේ නම්, රු. 118,000ක මුදලක් වැය කළ යුතු වේ.

  • Roam - Unlimited

මේ සඳහා මාසිකව රු. 30,000ක් අය කෙරේ.

Starlink Mini Kit ප්‍රමාණයෙන් 298.5 x 259 x 38.5 මි.මී. වන අතර බරින් කිලෝග්‍රෑම් 1.10ක් බව Starlink පවසයි. එහි IP ශ්‍රේණිගත කිරීම IP67කි. Built-in රවුටරයකින් සමන්විත එය පැයට කිලෝමීටර් 96කට අධික වේගයකින් හමන සුළඟකදී පවා ක්‍රියා කරන බව Starlink සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මීට අමතරව එහි ද Snow Melt Capability ඇති බව එහි දක්වා තිබේ. මෙම පැකේජ නිතර සංචාරය කරන පුද්ගලයින් සඳහා වඩාත් උචිත බව Starlink පවසයි.

 

වාසි, අවාසි සහ චෝදනා මොනවා ද?

Starlink 1

 

ඉකුත් වසරේ අග භාගයේදී බීබීසීය වාර්තා කළේ, නෙදර්ලන්තයේ පර්යේෂකයන්ට අනුව, ඊලොන් මස්ක්ගේ චන්ද්‍රිකා ජාලයෙන් නිකුත් කෙරෙන රේඩියෝ තරංග, විද්‍යාඥයින්ට විශ්වය නිරීක්ෂණය කිරීමේ හැකියාව අවහිර කරමින් පවතින බව ය.

Starlink හිමිකාරීත්වය දරන SpaceX සමාගමෙන් බීබීසී පුවත් කණ්ඩායම මේ ගැන ප්‍රශ්න කර තිබුණත් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) පැවසුවේ, තාක්ෂණික, අය ක්‍රම සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව Starlink මෙරට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මූලික අනුමැතිය ලබා දුන් බව ය.

Starlink සේවාවේ ඇති වාසි සහ අවාසි සම්බන්ධයෙන් බීබීසී සිංහල සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාරගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු පෙන්වා අවධාරණය කළේ, Starlink මගින් ශ්‍රී ලංකාවේ ඉන්ටර්නෙට් ප්‍රශ්නය නොවිසඳෙන බව ය. එමෙන් ම මෙහි මිල සහ එය කවුරුන් වෙනුවෙන් ද? යන්න පිළිබඳව ද ප්‍රශ්නයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.

 

"මේක කොතෙක් දුරට [මිල] දැරිය හැකි ද යන්න ගැන වෙන ම සාකච්ඡාවක් තියෙනවා. කාට ද මේ නිෂ්පාදනය තියෙන්නේ කියලා. මේකෙන් හෙට ලංකාවේ ඉන්ටර්නෙට් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. සමාජයට වැරදි මතයක් ගිහින් තියෙනවා, මේක එනවා, හැමෝට ම අපිට ඉන්ටර්නෙට් දෙන්න පුළුවන් කියලා," ඔහු අවධාරණය කළේ ය.

"සයිවර් කඩේ ඉඳන් තරු හතේ හෝටලයක් වෙනකම් ඔයාට දැන් තෝරා ගැනීමක් තියෙන්නේ ඉන්ටර්නෙට්වල. මේක මම හිතන්නේ තරු හතේ හෝටලයක් වගේ."

නමුත් ධීවර කර්මාන්තයේදී මෙය ප්‍රයෝජනවත් විය හැකි බව ඔහු පැවසීය.

"අපි හිතමු ඔයා බෝට්ටු අයිතිකාරයෙක්. බහුදින ධීවර යාත්‍රා තියෙන මනුස්සයෙක්. අන්න ඒ මනුස්සයාට තමන්ගේ යාත්‍රා තියෙන ස්ථානය දැනගන්න මේක [උදව්වක්]," සයිබර් ආරක්ෂණ විශේෂඥයා පෙන්වා දුන්නේ ය.

කක්ෂගත කෙරෙන චන්ද්‍රිකා ගණන වැඩිවීම හරහා අභ්‍යවකාශ කසළ ගැටලුව ඔඩු දිවිය හැකි බව ද ඔහු පැවසීය.

"මේවට කියන්නේ low orbit satellites කියලනේ. දැන් මේ සැටලයිට් ගාණ එන්න එන්න වැඩි වෙනවා. එතකොට අභ්‍යවකාශ කසළ ප්‍රශ්නයක් වෙනවා. එතකොට පෘථිවිය වටා තියෙන අභ්‍යවකාශ කසළ වැඩි වෙනවා."

සාමාන්‍යයෙන් අපි සැටලයිට් එකක් පාවිච්චි කරන්නේ නැති වුණා ම ඒක ආපහු පොළොවට ගේන්නේ නැහැ. ඒක එහෙමම අයින් කරලා තව එකක් යවනවා. මේ සැටලයිට් සමූහය එන්න එන්න වැඩි කරන්න නේ හදන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

එමෙන් ම, තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ගත් කළ අභ්‍යවකාශ දූරේක්ෂවලට මෙය බාධාවක් විය හැකි බව අසේල වෛද්‍යාලංකාර පැවසීය

"තාරකා විද්‍යා වපැත්තෙන් අභ්‍යවකාශ දූරේක්ෂවලට බාධාවක් වෙන්න පුළුවන්. ඒ සංඛ්‍යාතවලට බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ වගේ දූරේක්ෂ නැති නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒක ගෝලීය ප්‍රශ්නයක්," ඔහු වැඩිදුරටත් පැවසීය.

ලොව ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් හිමිකාරිත්වය දරන Starlink ඉන්ටර්නෙට් සේවාව මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වූයේ, ඉකුත් වසරේ මැයි මාසයේදී ය.

එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සහ ඊලෝන් මස්ක් අතර ඉන්දුනීසියාවේදී සිදුවූ හමුවකින් අනතුරුව Starlink ඉන්ටර්නෙට් සේවය මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා පළමු යෝජනාව ඉදිරිපත් විය.

එම සේවාව මෙරටට ලබා දීමට වසර 28කට පසුව විදුලි සංදේශන පනත ද සංශෝධනයට ලක් කරන ලද්දේ මෙරට තුළ සැටලයිට් ඔස්සේ ඉන්ටර්නෙට් සේවා ලබා දීම නීතිමය අවකාශයක් නොතිබීම නිසා ය.

මෙරට සිය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් Starlink ආයතනයට 2024 අගෝස්තු මස 12 වන දා බලපත්‍රය නිකුත් කරනු ලැබිණි.

 

Starlink යනු කුමක් ද?

1723537660 star 6

 

Starlink ඉන්ටර්නෙට් සේවාව යනු, පෘථිවි පෘෂ්ටයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථානගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ ඉන්ටර්නෙට් පද්ධතියකි.

ෆයිබර් ඔප්ටික් කේබල් භාවිත කිරීම වෙනුවට Starlink, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරයි.

සරලව පැවසුවහොත්, Starlink විසින් රේඩියෝ තරංග හරහා ඉන්ටර්නෙට් දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවනු ලබන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි.

ෆයිබර් ඔප්ටික් කේබල්වලට ළඟා විය නොහැකි දූරස්ථ ප්‍රදේශවලට Starlink චන්ද්‍රිකා ඉන්ටර්නෙට් සේවාවට යොමු විය හැක.

ඇමෙරිකාවේ ස්ථාපිත ඊලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සමාගමක් වන SpaceX, පළමුව 2019 වසරේ මැයි මාසයේදී චන්ද්‍රිකා 60ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කර ඉන් අනතුරුව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී Starlink ඉන්ටර්නෙට් සේවාව ආරම්භ කරන ලදී.

තාරකා විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසන පරිදි 2024 අප්‍රේල් වන විට Starlink චන්ද්‍රිකා 5,874ක් කක්ෂයේ තිබූ අතර ඉන් 5,800ක් තවමත් ක්‍රියාත්මකව පවතී.

මේ වන විට Starlink සේවය ලබාගෙන ඇති රටවල් ගණන 100කට ආසන්න බව එම සමාගමේ වෙබ් අඩවියේ දැක්වේ.

එමෙන් ම, Starlink වෙබ් අඩවියේ නියාමන අනුමැතිය අපේක්ෂාවෙන් සිටින රටවල් ලෙස සෞදි අරාබිය, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, තුර්කිය සහ වියට්නාමය වැනි රටවල් ද ලැයිස්තුගත කිරීමට ඇතුළත් වෙනවා.

 

උපුටා ගැනීම - (BBC News සිංහල ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom