ඇවිලෙන්නට නොගියද, ජුදාස් සමඟ සියුම් කේන්තියක් නැති අයකු සොයා ගැනීම අපහසු විය.
මේ ලිපිය ලියන්නට මත්තෙන් ජුදාස් ගැන ඇත්තේ කවර අදහසක් දැයි බොහෝ දෙනකුගෙන් විමසන විටය ඒ බව තහවුරු වූයේ. ඔහු ගැන සියුම් කේන්තියක් තිබූ නමුත් එය වෛරයක් දක්වා දිග්ගස්සන්නට නම් ඒ කිසිවකුට වුවමනාවක් නොතිබිණි. මන්දයත් ඒ සියල්ලෝ ජුදාස්ව ප්‍රතික්ෂේප කරන අතරේ ජේසුතුමන් පිළිගන්නාවූද, ඔවුන් වහන්සේට ආදරය කරන්නාවූද පිරිසක් වූ බැවිනි.
“ඇයි ජුදාස් ජේසු තුමන්ව පාවා දුන්නේ”
කුඩා කල ජේසුතුමා සම්බන්ධයෙන් ඇති වූ දැඩි ආදරයත්, බැඳීමත් හේතුවෙන් එකී ප්රශ්නය නිරන්තරයෙන්ම සිතට නැඟිණි. ඒ ප්‍රශ්නයට විසඳුමක් වැඩිහිටියන්ගෙන් බලාපොරොත්තු වූ විට ඔවුන් පවසා සිටියේ රිදී කාසි තිහක් නිසා ඔහු ජේසුව පාවා දුන් බවය.
“රිදී කාසි තිහක් දෙවියන් වහන්සේගේ පුත්‍රයාට වඩා වටින්නේ කෙසේදැ”යි යන්න මගේ ඊළඟ ප්රශ්නය විය.
“සමහර මිනිස්සුන්ට දෙවියන්ට වඩා වටින්නේ සල්ලි. මිනිස්සු සල්ලිවලට හුඟක් කෑදරයි.” ඔවුන්ගේ පිළිතුර විය.
රිදී කාසි තිහකින් මිනිස්සුන්ට ලබා ගන්න පුළුවන් සතුට මොකක්ද? සල්ලිවලට පුළුවන්ද මිනිස්සුන්ව අමරණීය කරන්න? සියලු වේදනාවලින්, ලෙඩ රෝගවලින් සදහටම ඈත් කරන්න. එහෙම වුණත් තවත් මිනිසකු පාවා දෙමින්, ඔහු මරණයට පමුණුවාලමින් ඒ මුදල්වලින් සැප විඳින්න පුළුවන්ද? දෙවියන්ගේ සමානකමට මැවූ මිනිසා එසේ කරන්නේ කොහොමද? ඊළඟට අවසානයක් නැති ප්‍රශ්න වැලක් මසිතේ ඇති විය.
ජේසුගේ අන්තිම රාත්‍රී භෝජනය මා අබියස මේ දැනුදු මැවී පෙනෙයි. ජේසුගේම ගෝලයන්ගෙන් කෙනෙක්, ජේසුගේ රූපකායට අතිශයින් සමාන කෙනෙක් ජේසු සමඟම අහර ගැනීමට එකවරම අහර බඳුනට අත පොවන කෙනෙක් පාවා දීමේ සැලැස්ම ක්රියාවේ යොදමින් සිටී. ඒ ජුදාස්ය. මම ඔහු දෙසද ජේසු දෙසද මාරුවෙන් මාරුවට බලමි. ජේසුගේ දුක්බර දෑස්, එහෙත් ඒ දුක සඟවා ගන්නට තැත් කරමින් ජුදාස් දෙස ආදරයෙන් මෙන්ම අනුකම්පාවෙන් බලන ජේසුගේ දෑස් දෙස කඳුළු අතරින් මම බලා සිටිමි. මට ජේසු ගැන දැනෙන්නේ මහා දුකකි. තව මොහොතකින් නායක පූජකයන්ගේ හා පරිසිවරුන්ගේ බලසේනාවෝ ඔවුන් වහන්සේ රැගෙන යනු ඇත.
එවිටම ජේසු තුමන් සිය කටහඬ අවදි කළේය.
“ඔබ අතරේ සිටින කෙනෙක් මා පාවා දෙනවා”
සියලුම ගෝලයෝ “ඒ මමදැ” යි ඇසූහ. ජුදාස් ස්කාරියොත් පවා ඒ මමදැයි ඇසුවේය.
“මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේය” යැයි උන්වහන්සේ කීය.
ජේසු ළඟම සිටි ජේසුගේම ගෝලයන්ගෙන් එකකු වූ ජේසුගේම පෙනුම ඇති ජුදාස් ජේසුට හාදුවක් දුන්නේය. ඒ පාවා දීමේ හාදුව යැයි ඔවුන් අතරින් දැන සිටියේ ජුදාස් හා ජේසු තුමන් පමණි.
වර්තමානයේ අප කී වරක් නම් අපේ යහපත වෙනුවෙන් අනෙකාව පාවා දෙන්නට ඇත්ද? රිදී කාසි තුනක් නොව ඊට වඩා ප්‍රාථමික කාරණා නම් කීයක් වෙනුවෙන් අප අපේ සහෝදරයා පාවා දෙන්නට ඇත්ද?
මෙකී පාවා දීම පටන් ගැනෙනුයේ කොතනින්දැයි සිතන්නට දැන් කාලය එළඹ ඇත. සැබැවින්ම අප සතු බොහෝ ගුණාංග අප රැගෙන එනුයේ අප නිවෙසින්ය. දරුවෝ දෙස බලා මවුපියන් ගැන වටහා ගන්නෙමි යැයි පසුගියදිනක ගුරුතුමියක මා හා පැවසුවාය. ඒ කතාව සීයට සීයක්ම නිවැරදි නොවුණත් නිවෙසින් දරුවන් වෙත දෙන ආකල්ප හා සිරිත් විරිත් මුළු ජීවිතයටම බලපානු ඇත. පාවා දීම ආරම්භ වන්නේ සිය නිවෙසින්ම බව වැඩිහිටියෝ අවධානය යොමු කළ යුතු කරුණකි. මව පියා එකිනෙකා පාවා දෙන්නේ නම් සිය දරුවන්ද ආදර්ශයට ගන්නේ එයයි. ඊළඟට දරුවෝ සිය මවුපියන් සේම ඔවුන් එකිනෙකා පාවා දෙන තත්ත්වයට පත් වන්නේ නිරායාසයෙනි. ඉන්පසු ඔවුන් සිය ඕනෑම කාරණයකදී එකිනෙකා පාවා දෙන්නට පෙළඹෙන්නේ කිසිදු හිරිකිතයක් නැතිවය.
අවසානයේදී එකී පාවා දීම ඇති කරන විනාශයන් සුළුපටු නොවන්නේය. නොබෙල් ත්‍යාගය දිනූ තෙරේසා සාන්තුවරියගෙන් එකී මොහොතේ නිවේදකයා ගැටලුවක් නැගුවේය. එනම් ලෝක සාමය ගැන යමක් පවසන ලෙසය.
“ඔබ නිවෙසට ගොසින් ඔබේ සහෝදරයාට ප්‍රේම කරන්න” යැයි ඇය කීවාය. ප්‍රේමය නොහොත් සාමය ඇති වන්නේ නිවෙසින් බව ඇය කීවේ එලෙසිනි. එය මොන තරම් නම් යථාර්ථයක්ද? ප්‍රේමය, සාමය මෙන්ම පාවා දීම ඇරඹෙන්නේද නිවසින් බව අමුතුවෙන් කිව යුතුද?
පාවා දෙන්නාගේ අවසානය කෙබඳුද? ජුදාස් ලබා ගත් රිදී කාසි තිහෙන් ඔහු ලබා ගත් විමුක්තියක් ඇත්ද? අඩුම තරමේ ඔහුට නිදහසේ හුස්ම ගැනීමට හෝ හැකිද? ක්‍රිස්තු තුමන්ගේ මරණයේ සිට මේ දක්වාමද මින් ඉදිරියටද පාවාදීමේ සංකේතය වන්නේ ඔහුය. ද්‍රෝහියා වන්නේ ඔහුය. එසේ පටු පරමාර්ථ වෙනුවෙන් සිය සහෝදරයා පාවා දෙන්නාගේ ආත්මයට නිදහසක් උරුම වෙයිද?
ජුදාස්ගේ අවසානය කෙබඳු වීද? රිදී කාසි තිහෙන් ඔහු අමරණීය වුණේද? අඩුම තරමේ සිය පගාව වියදම් කරන්නට හෝ ඔහුට හැකි විණිද?
ඉක්බිති පසුතැවිල්ලෙන් දැඩි පීඩනයට පත් ජුදාස් ඉස්කාරියොත් සිය පණ හානි කර ගත්තේය. පාවා දෙන්නාගේ අවසානය එලෙසය. යම්කිසි පාවාදෙන්නකු ජීවත්ව සිටියද ඔහු හෝ ඇය ඇවිදින මළමිනියකට සමානය. ඔහු යන තැන ඔහුගේ දසුන පවා අනෙකාට අප්‍රසන්න වන්නේය; පිළිකුල්සහගත වන්නේය. සෙසු අයගේ නින්දාවට මෙන්ම හෙළා දැකීමට පාත්‍ර වන්නේය; ඔහු ඇති-නැති තැන ජනයා ඔහු හාස්‍යයට ලක් කරන්නාහ.
පාවාදෙන්නා සම්බන්ධයෙන් ජේසු තුමන්ගේම වචන යළි යළි මෙනෙහි කිරීම වටින්නේයැයි සිතේ.
“එහෙත්, මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳය”යි වදාළ සේක.
උපුටා ගැනීමකි