ශ්‍රී ලංකාවේ ප්‍රකට සංචාරක සන්ධිස්ථානයක් වන ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව නව වැඩපිළිවලක් ආරම්භ කොට තිබෙනවා.
මේ හරහා විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපිත කොට රාත්‍රී කාලයේද සංචාරකයන්ට ආලෝකකරණය කරන ලද මෙම ප්‍රදේශය නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.
මේ පිළිබඳව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘අද දෙරණ’ සමඟ ප්‍රකාශ කොට ඇත්තේ එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
"මේක වැඩිදියුණු කරලා සංචාරක ආකර්ෂණය වැඩි කළාට පස්සේ මෙම ස්ථානය නැරඹීමට යෑමේදී යම් මුදලක් ගෙවීමට සිදුවෙයි. දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ."
දුම්රිය මැදිරි යොදාගනිමින් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ නිර්මාණය කර ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා අදහස් පළ කළා.
"මේක සකස් කරලා තියෙන්නේ සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න. අගෝස්තු මාසයේ මුල වෙනවිට මේක සංවර්ධනය කරලා සංචාරකයින් සඳහා විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා."
එමෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඉදිකරන ලද වසර 104 ක් පැරණි ඇල්ල දෙමෝදර ආරුක්කු නවයේ පාලම, දිගු කලක් දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගෙන ඇති අතර නව ආලෝකකරණ පද්ධතිය එහි ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරමින් එහි රාත්‍රී කාලයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමට අපේක්ෂිතයි.






