ශ්‍රී පාද සමය පසුගිය පොහොයෙන් ඇරඹිණි. සිරිපා සමය සිහිපත්වෙද්දී මිණිපුරයට අධිගෘහිතව වැඩවසනාවා යැයි විශ්වාස කෙරෙන ශ්‍රී සුමන සමන් දෙවියන් අමතක කල නොහැකිය.අපේ ගමන් චාරිකාව අතරේද සමන් දෙවියන් වැදගත් වන්නේ සුමන සමන් දෙවියන්ද කලක් කුමණ ජාතික වනොද්‍යානය අවට ප්‍රදේශවලට ද අධිගෘහිතව විසුබවට අතීත කුමණ ගම්මානයේ ජනතාව අතර විශ්වාසයක් පැවතුන බැවිනි. කතරගම දෙවියන්ගේ පැමිණීමෙන් පසු ‘‘සුමනසමන්’’ දෙවියන් ප්‍රදේශය හැරගිය බවද එම විශ්වාසයන් අතර පවතී. ඒ නිසා පසුව කතරගම දෙවියන් විශ්වාසව ඇදහීමට කුමණ ජනතාව කටයුතු කර ඇත.
සිංහල බෞද්ධ ජනයා, දෙමළ හින්දු ජනයා, සහ වැදි ජනයා එදාද අදමෙන් කතරගම දෙවියන් දැඩි භක්තියකින් ඇදහු අතර එනිසා ගොවිතැනේ දී, දඩයමේ දී, ගමනකබිමනක දී, කතරගම දෙවියන් සිහිපත්කර දේවාශිර්වාදය ගැනීම මෙම ජනකොටස් අතර සිරිතක්ව තිබෙන්නට ඇත.
“පුතාලා ඔකඳ දේවාලයෙන් ආශිර්වාද ලබාගත්තද?” මඩකලපුවේ සිට පැමිණි 600ක පිරිසකගෙන් යුතු නඩයේ සිංහල ඉතාමත් හොඳින් කතා කල හැකි අවුරුදු 72 වයසැති ආච්චි අම්මා කෙනෙක් අපගෙන් විමසා සිටියේය. “එහෙම කරනවා කියලා අපි දන්නේ නැහැ ආච්චි.” අපේ පිළිතුර එය විය. “ සිංහලද දෙමළද කියලා නෑ. මුරුගන් පිහිට අපි හැමෝමට පිහිට වෙනවා.වාංග පුතා මම ආශිර්වාද අරන් දෙන්නම්.” නළලත පොට්ටු තියා, ස්තෝත්ර ගායානාවක් කරමින් ඇය අපිට ආශිර්වාද කළාය. කතරගමටම යනවද පුතාලා. ඔව් අම්මේ. අද අපි නවතින්නේ කුඩා කැබිලිත්තේ. පුතාලාත් අපිත් එක්කම යමු.
අප කුමන වනේද්යාන පිවිසුමට පැමිණියෙමු. ඒවනවිටත් කුමන පිවිසුම සිටි නැඟෙනහිර දෙපළාතේ සිට පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු බැතිමතුන්ට විවර කර තිබිණි. යාල ජාතික වනෝද්‍යානයේ නැඟෙනහිර පිවිසුම ලෙස කුරුළු පාරාදීසය නමින් හඳුන්වන කුමන අභය භූමිය සැලකෙන අතර ගෝණුන් මුවන් අලින් දිවියන් කුළු හරකුන් සර්පයින් වැනි සෑම කුලකයකටම අයත් වන සතුන් මෙහි ජීවත් වෙයි.
නවසිය හැත්තෑව වසරේදී හෙක්ටර් යාර 18148 ක භූමි භාගයකින් යුක්ත වූ කුමන අභය භූමිය 2006 වසරේ සැප්තැම්බරයේ පටන් හෙක්ටර් යාර 35664 දක්වා සීමාව පුළුල් කර ගැසට් නිවේදනයකින් ජාතික වන උයනක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කුඹුක්කන්ඔය මායිම් කරගත් හෙක්ටර් යාර 3500 ක වපසරියක පිහිටා ඇති කුමන රක්ෂිතය තුළ බුදුබෑව, බඹරගස්තලාව, නෙළුම්පත් පොකුණ, බෝවත්ත සහ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය යන පෞරාණික වටිනාකම් සහිත ස්ථාන පිහිටා තිබී ඇති මේ වනවිට ඉතිරිව ඇත්තේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය පමණකි.
කුඹුක්කන් ඔය අසල කුඩා කැඹිලිත්ත දේවාලය අසල අප පළමු රාත්‍රිය ගත කිරීමට අප අදිටන් කර ගත්තෙමු. අප පිළිබඳ නිතර විමසිලිමත් වුණු ආච්චි අම්මා පුතාලා කෑම බීම එහෙම අරගෙන ආවාදැයි අපගෙන් විමසා සිටියාය. “අපි බිස්කට් චොකලට් පාන් අරන් ආවා.” යැයි මා පැවසුවෙමි. මේක දෙවියන්ගේ අඩවිය පුතේ. ඔයාලයත් දැන් අපේම දරුවෝ. දෙවියන්ගේ දරුවෝ. අපිත් එක්කම කතරගම යමු ඔය කෑම කන්න ඔනේ නැහැ. අපි දෙවියන්ගේ කෑම හදනවා. පුතාලත් අපිත් එක්ක කන්න එන්න. ඇය නිරන්තරයෙන් අපේ කෑම බීම ගැන පිළිබඳ වෙහෙසුනාය.
ඒපමණක් නොවේ. ඇය අපේ ආරක්ෂාව පිළිබඳද විමසිල්ලෙන් පසුවූවාය. මා පාද යාත්‍රාවට සංහිඳියාවේ පාගමන යැයි නම් තැබූවේද අන්න ඒ නිසාය. 72 හැවිරිදි ඇයර 68ක් පුරා කතරගම පා ගමනේ යෙදී ඇත. ඈ ප්‍රථම වතාවට පා ගමන එන්නේ අම්මාගේ කුසේ සිටියදීය. පසුව තාත්තාගේ කර මතින් පා ගමනහි යෙදෙන ඇය තම පසුව දරුවන් කුසයේ තබාගෙන පා ගමනට සම්බන්ධ වී ඇත. ඔවුන් දෙවියන් කෙරෙහි වූ භක්තිය අසීමාන්තිය. ඔයට බැහැලා ඇඟ පත සෝදගෙන පූජාවට ලෑස්ති වෙන්න දරුවනේ. ඈ අපට පවසා සිටියාය.
මීට දශක කිහිපයකට පෙරදී කුමණ වනෝද්‍යානය තුළ සිටි ගොවිජනතාව කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට කුමන ගම්මානයට තරමක් නුදුරින් පිහිට කුඹුක්කන්ඔය අසළ බකිණිගහක් තෝරා ගෙන තිබුණි. තම ජිවිතයේ සෑම කටයුත්තකදීම මෙම බකිණිගහ අසලට පැමිණ කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සාමාන්‍ය සිරිත විය. ඔකඳ දේවාලයට යාමට විශාල දුරක් පවතින නිසා තමන්ගේ පිහිට ආරක්ෂාවට කතරගම දෙවිදුන් මෙම බකිණිගහට වඩින බව එම ජනතාවගේ විශ්වාසයක්ව තිබිණි.
පසුකාලීනව මෙම ස්ථානයේ කුඩා දේවාලයක් තනා ඇත. මඩමෙතොට දේවාලය හෙවත් ‘‘කුඩාකැබිලිත්ත’’ දේවාලය ලෙස හදුන්වනු ලබන්නේ මෙම බකිණිගහ පිහිටා තිබූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. පාද යාත්‍රාවේ එන හින්දු භක්තිකයන් ඇතැම් දිනවල රාත්‍රීය ගත කිරීම සදහා යොදාගන්නේ මේ මඩමෙතොට දේවාලය අවට ප්රදේශයයි.
ධාන්‍ය වර්ග වලින් ටික ටික එකතු කර සීනි, හකුරු, පොල් ආදිය එක්කර ‘‘මුරුතැන් බතක්’’ යොදා පිළියෙල කරගත් මුරුතැන් බතෙහි අග්‍ර කොටස දෙවියන් වෙනුවෙන්පූජා කරනු ලබන අතර 600කගෙන් යුතු මඩකලපු නඩයේ කොටස් කාරයින් වුණු අපි සෑම විටම දෙවැනියට ආහාර භුක්ති විඳින්නන් බවට සෑම විටම පත්විය.
බාරහාර වුණු බැත්මත්හු කුඩා කැබිලිත්ත එහෙමත් නැතිනම් මඩමෙතොට දේවාලය වටා බිම පෙරළෙමින් කන්නලව් කළ අතර තවත් පිරිසක් රාත්‍රි 12.00 පමණ වෙනතෙක් ස්ත්‍රෝත ගායනා කළෝය.
පාන්දර 5.00 පා ගමනට යළිත් පිටත් වෙන බවත් වේලස්සනින් අවදි වන ලෙසත් අපේ නඩයේ පිරිස් අපට කියා සිටියේය. “පුතාලා ඇයි මේ පාද යාත්‍රාවේ යන්නේ.” ඇසූ පැනයට “ ගිහින් නැති නිසා ඒක අත්විඳින්න ඕන වුණ නිසා” යැයි මා නඩයේ සිංහල කතා කළ යැකි පාසල් ගුරුවරයෙකු වූ සිවනාදන්ට පවසා සිටියෙමි.
මම කැමැතියි මේ ඉතිහාසය ගැන ටිකක් දැන ගන්න. පවසා සිටියෙමි. ජනප්‍රවාද ගොඩාක් තියෙනවා. කතරගම දෙවියෝ ගොඩාක් වෙලාවට වෙස්වලාගෙනයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඔහු වනයේ ඇවිදිමින් ඉන්න කොට අතරමන් වෙලා තියෙනවා. කැලයේ ජීවත් වුණු දමිළ වැදි ජනතාවගෙන් පාර ඇහුවත් කොලොප්පමට පාර වැරදියටයි කියලා තියෙන්නේ. ඒ වෙස්වලාගෙන ඉඳලා තියෙන්නේ කතරගම දෙවියෝ කියලා ඒ අය දැනගෙන ඉඳලා නැහැ. කොහොම වුනත් කතරගම දෙවියෝ හුඟාක් වෙහෙස වෙලයි ඒ වෙද්දිත් ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ සාප කරලා තියෙනවා. ඒ සාපයෙන් මිදෙන්න තමයි මේ ජනතාව වෙහෙස වෙලා කතරගමට පාගමනේ යෙදෙනවා කියලා කියන්නේ.
පසුකාලීනව භාර හාර ඔප්පු කරන්නත් පාද යාත්‍රාවට සම්බන්ධ වෙනවා. ඒවගේම ස්කන්ද කුමාරයා ලංකාවට ඇවිත් වල්ලි අම්මා කතරගමට එක්කගෙන ගියේ මේ වනය මැද්දෙන් කියලත් කියනවා. ඔහු අපට පාද යාත්‍රාවට පසුබිම් වුණු ජනප්‍රවාද පිළිබඳ පහදා දුන්නේය.
මෙම පාද යාත්‍රාව සම්බන්ධයෙන් වන බහුතර අදහස වන්නේ වල්ලි දෙවඟන සරණ පාවා ගැනීමට පැමිණි කද කුමරුන් ඕකද මුහුදු වෙරළට රන් ඔරුවකින් පැමිණ ඒ තැන් සිට පා ගමනින් මහා වන මැදින් පැමිනෙන විට දී කද කුමරුන් පැමිණි රන් ඔරුව දැක මිනිසුන් පිරිසක් එය බෙදා ගැනීම පිණිස ගහ මරා ගැනීමට යන බව කද කුමරුන්ට දැනුනි නැවත ආපසු පැමිණ රන් ඔරුව ගල් කර ඔරුව අනිත් පැත්ත ගසා නැවත කඳ කුමරුන් කතරගම් පුරයට පැමිණි බව සදහන්වේ. එදා කද කුමරුවන් පැමිණි මාර්ගය අද බැතිමතුන් පාද යාත්‍රාව මගින් පැමිණෙන මාර්ගය බවයි.
කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ........
කතරගමට රුහුණු රටේ - හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ - පොළොවැ උලා නළල් ඇටේ
දිගට ඇදී..... දිගට ඇදී නැග පැහැදී - මහ හඬදී දෙවියනේ
මේ මහා හෙළයකු වූ කවියර රැයිපියෙල් තෙන්නකෝනුන් විසින් රචිත කුකුළු හෙවිල්ල නම් මෙම කවි පන්තියෙහි සඳහන් කර ඇත්තේ මෙම පාගමන සම්බන්ධයෙන් යැයි සිතිය හැක. ලබන “විටේ” ඊලඟ අවස්ථාවේ එහෙමත් නැතිනම් ලබන වසරේ ඊට සහභාගි වී කුකුළා සොරාගත් අය පිළිබඳ දෙවියන්ට පවසා සිටින බව කියා ඇතැයි සිතිය හැක. එසේම දෙවියන්ගේ භාරයට සිදුකරන පුදු පූජා පිළිබඳවද එම කවියේ සඳහන් වෙන්නේ “රනින් කුකුළු රුවක් පුදමි - රිදියෙන් බිජු හතක් පුදමි - රන් දුනු හී දෙකක් පුදමි - රුවට රිදී රුවක් පුදමි” යනුවෙන්ය. ඒ බොහොමයක් පුද සිදුකරන්නේ කතරගම දෙවියන් උදෙසා පමණක් වීම විශේෂත්වයකි.
අතීතයේදී ගන කැලෑව මධ්‍යයේ කතරගම පුරවරයට පැමිනෙන මිනිසුන් නැවත ගෙවල් දොරවල් බලා පැමිනෙන්නේද එම මාර්ගය ඔස්සේමය. ඇතැමුන් වන සතුන්ගේ ප්‍රහාර වලට ලක්ව මියයන බවද තවත් පිරිස් ආහාර නැතිව මියයන බවද පැවසේ. එම නිසා දෙවියන් යැදීමට ගෙදරින් පිටත් වන බැතිමතුන් සියළු දේපල දරුවන්ටද බිරිදෑවන්ටද පවරා දී භක්තිය කැටවූ නමුත් වේදනාවකින් ගෙදර අයට සමුදී පිට වී ඇත. මෙය එක් පැත්තකින් මක්කම මදිනාවේ ආගමික වන්දනා සිදුකරන ඉස්ලාම් බැතිමතුන්ගේ ගමන හා සමානය යන්න සඳහන් කල යුතුය.
දැන් නිළමෙගේ දන්සල යනුවෙන් දන්සලක්ද කැලෑව මධ්‍ය යේ ඇත. මනුවනර බස්නායක නිළමේ නිලංග දෑල බණ්ඩාර විසින් දෙනු ලබන එකක් යැයි පිරිස් අපත් සමග පවසා සිටියේය.
වත්මන වනවිට බොහෝ දේ නවීකරණය වී ඇත. සාම්ප්‍රදායක් ලෙස කතරගම පා ගමනේ යෙදෙන බහුතරය තරුණ පිරිස් වේ. ඔවුන් පාද යාත්‍රාව ආරම්භයේදීම සෙල්ෆියක් ගසා ෆේස්බුක් දමන ඔවුන් කතරගමට විත් කතරගම දේවාලට ඉදිරිපිට “අපි ආවා යැයි” පවසාද සෙල්ෆියක් ගසා ෆේස්බුක් දැමීමට අමතක නොකරයි. ඔවුන්ට ඇති එකම ප්රශ්නය ජංගම දුරකථනයේ බැටරිය ක්‍රියාකාරීව පවත්වාගෙන යෑම යැයි මට වරෙක සිතුණි. එහෙත් මෙම තරුණයින්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වැඩිහියන් තුළ ඇත්තේ අප්රසාදයකි. ෆොටෝ ගන්නවාට කට්ටිට එච්චර කැමැති නැහැ නේද? මම තරුණයෙකුගෙන් විමසා සිටියේය. සෙල්ෆියක් ගැහුවට දෙවියෝ තරහා වෙන්නේ නැහැ අක්කා යැයි ඔහු සිනහා වී මට උත්තර දුන්නේය.
පාද යාත්‍රාව සමගින් සමග අප ද හාරෝ හාරා කියමින් කුමණ ජාතික වන උද්‍යානයට ඇතුල් වි කුඹුක්කන් ඹය. ලිං තුන, පෙත්තන. යාල අංක 02 මැණික් ගඟ ඔස්සේ යාල අංක 01 කළාපයට පැමිණ කටගමුව ඔස්සේ කතරගම පුරවරයට ළඟාවීමු
හිමාෂි කරුණාරත්න