අපි දන්න ඉතිහාසය තුල තමන්ට අදාල කලා මාධ්‍යය ඇතුලෙ නම තියපු, වැඩ පෙන්නපු මිනිස්සු ඕනෙ තරම් ඉන්නව, නමුත් එයාලගෙ පරාසය කොයි තරම් දුරට විහිදිලා තියෙනවද කියන එක ගොඩක් වෙලාවට අපිට හිතල බලන්න අමතක වෙනවා, මං හිතන විදිහට ඒක එක පරාමිතියක් කලාකරුවෙක්ට Legend කෙනෙක් කියන ලේබල් එක ලැබෙන්න.
මේ මට අනුව, එහෙම වර්ගීකරණය කරන්න පුළුවන් උදාහරණ කිහිපයක් පහතින් දක්වන්නම්, මේ පරාසය ප්‍රබුද්ධ සහ වාණිජ (සිල්ලර) වටිනාකම් සහිත කියන අන්ත දෙක ඇතුලෙ විහිදෙනවා කියන අදහස ඇතිව තමයි මේ ලියමන ලියන්නෙ.
ඒ අනුව ඔබටත් පුළුවන් සලකා බලන්න ඒ ඒ කලාකරුවාගෙ හැකියාව.
සිනමාව පැත්තෙන් එකපාරටම මට මතක් වෙන්නෙ, ජෝ අබේවික්‍රම, ජාත්‍යන්තර ඇගයීමට පවා ලක්වුන පුරහඳ කළුවර චිත්‍රපටය මෙන්ම වැලි කතර වැනි දැනෙන දෙබස් සහිත බැරෑරුම් ගැන්සටර් චරිතයට පණ පොවන ගමන්, කොළඹ සන්නිය, චෙරියෝ කැප්ටන් වැනි හාස්‍යෝත්පාදක වාණිජමය සිනමාවටත් දායක වෙනවා, ඒත් එක්කම මහේන්ද්‍ර පෙරේරා බඹර වළල්ල වැනි සමාජ කතිකාවතක් ඇති කරන ලද සිනමා පටයක සිට මිල්ලෙ සොයා හරහා කොස්තාපල් පුඤ්ඤසෝම දක්වා පරාසය ආවරණය කරනවා.
මේ හා සමඟ අමතක නොකර බැරි දිග ලිස්ට් එකක් තියෙනවා,
ජැක්සන් ඇන්තනී/ ජයලත් මනෝරත්න/ සරත් කොතලාවල/ කමල් අද්දරආරච්චි/ කුමාර තිරිමාදුර මේ ලිස්ට් එකට අයත් මේ අයටත් ඉහත පරිදිම භාවාත්මක සිනමාවේ සිට වාණිජ සිනමාව දක්වා පරාසයට උදාහරණ දෙන්න පුළුවන්, තව දුරටත් මේ ලිස්ට් එක පහලට ලියාගෙන යන්න පුළුවන්. ඔබටත් මතක් මේ වගේ කලාකරුවන්ගේ නම් සහ නිර්මාණ කමෙන්ට් කරන්න.
ඊළඟට, ගීත කලාව ගත්තම අග්‍රගන්‍යය හැඟීම් දෝරෙ ගලන ගීත රැසක් ගායනා කරපු නන්දා මාලිනී, “යනවා නම් අනේ මං අරං” වැනි අතිශය සරල සහ අනෙක් අන්තයේ පවතින ගීතය ත් ගායනා කරනවා, ප්‍රේමසිරි කේමදාස ඔපෙරා,සංධ්වනි කරන ගමන් ජෝතිපාලටත් තනු නිර්මාණය කරනවා.
ධම්මික බණ්ඩාර අපි හැමෝම දන්න හන්තානට පායන සඳ/ මගේ පුංචි රෝසමලේ වැනි ගීත ලියන ගමන්, “මගෙ පුංචි කුඩේ පුංචිම මල් පිච්චෙන තරමට” වගේ ගීතත් ලියනවා අමරදේවට, කපුගේට සිංදු ලියපු රත්න ශ්‍රී විජේසිංහ “සුවඳ තියා මා ලඟ ඔබ අරං යන්න මල්” ගීතය ලියනවා.
මේ එක එක කලා මාධ්‍යය ඇතුලෙ මගෙ අදහස සනාථ කරන්න ගත්ත උදාහරණ කිහිපයක් විතරයි. ළෙගෙන්ඩ් කෙනෙක් නැත්නම් අදාල කලාව ඇතුලෙ නම තියපු කෙනෙක් වෙන්න නම් මේ අන්ත දෙකම ස්පර්ශ කරන්න අවශ්‍යය බවයි මගේ හැඟීම, එය සෑමවිටම එකම ආකාරයෙන් සාර්ථක නොවෙන්න පුළුවන්, නමුත් උත්සහ කර තිබීම වැදගත්, එය මතු දිනෙක ප්‍රයෝජනවත් විය හැකියි.
මා මෙහිදී දකින්නේ බොහෝ නවක නළු නිළියන් පෙම්වතා පෙම්වතිය චරිතයෙන් සහ වීරයා චරිතයෙන් ඔබ්බට යන්නට උත්හසා නොකරන බවක්, (හේමාල් රණසිංහ පවා) රොමෑන්ටික් ශානරයෙන් ඔබ්බට යන කලා නිර්මාණ තුල ඔවුන්ගේ පෙනී සිටීම මේ කර්මානත්ය තුල තමන්ගේ නම චිරාත් කාලයක් සලකුණු කරගැනීමට ඉමහත් පිටුවහලක් වනු ඇත.
පසු කලෙක බොහෝ දෙනාගේ උපහාසයට ලක්වුන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් කරලියට පැමිණි රවීන් කණිෂ්ක, පෙම්වතා/ වීරයා චර්තයෙන් බැහැර ව ක්ෂීර සාගරය කැලඹිණ සිනමා පටයේ “හිරිමලා” නම් චරිතයට පණ පොවන අතර එය ඉහත සඳහන් කල අන්ත දෙකම ස්පර්ශ කිරීමට ගත් උත්සහයක් ලෙස දැක්විය හැකිය.
මේ අදහසම ලංකාවෙන් පිටත කලා මාධ්‍යන්වලටද යොදා බලන්නට හැකි වෙයි.
උපේන්ද්‍ර නයනජිත්