lan englan tam

පුවත්

තවමත් නැවුම් සිනමා කුසුම 'රෝජා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුන්දර ගැමි යුවතියක වන රෝජා මේ ගෙවා දමමින් සිටින්නේ සිය තුරුණු වියේ ආහ්ලාදජනකම අවධියයි. හාත්පස සොදුරු පරිසරය ඇගේ දිවියේම කොටසක් බදුය. සිනමාකරු මනිරත්නම් ඉඟි කරන්නේ නුදුරේදීම රෝජාගේ මෙම දිවිය ගැඹුරු අර්බුද කරා යෑමට ඉඩ ඇති බවයි. තරුණ යුවළකගේ පෙම් පුවතක්ම දකිනු රිසියෙන් සිනමා ශාලාවට නොපැමිණෙන රසිකයා නම් අපේක්ෂා කරන්නේ මනිරත්නම්ගේ ඉඟි ඔස්සේ යෑමටය.

රෝජාගේ සදාදරණීය සැමියා වන රිෂි ජම්මු කාශ්මීර පෙදෙසේදී ත්‍රස්ත අත්අඩංගුවට පත්වීමත් සමඟම මනිරත්නම්ගේ උක්ත ඉඟිය යථාර්ථයක් බවට පත්වෙයි.

අනතුරුව දිග හැරෙන්නේ රෝජා හා රිෂි එකිනෙකා නොදැක ගෙවා දමන දුක්බර දිවියේ අත්දැකීම්ය. මරණය රිෂි අබියසය. රසිකයා තරමක් හෝ කලබල වන සැටියකි. නමුත් සිය රසික සමාජය කරා සමීප වන සිනමාකරු මනිරත්නම් රෝජා හා රිෂි නිරුපද්‍රිතව එක් කරන්නේ කිසිදු අතිශයෝක්තියකින් තොරවය.

මේ වත්මන් ඉන්දීය සිනමාවේ දැවැන්තයකුද වන මනිරත්නම්ගේ වඩාත්ම ප්‍රකට සිනමාපටයකි. ‘මෟන රාගම්’, ‘නායකන්’, ‘ගීතාංජලී’, ‘අංජලී’, ‘තලපති’ යන ජනාකර්ෂණීය සිනමාපට මනිරත්නම් විසින් නිර්මාණය කරනු ලැබුවේ ‘රෝජා’ට පෙරාතුවය.

අනතුරුව ඔහු නිර්මාණය කළ ‘තිරුඩා තිරුඩා’, ‘බොම්බේ’, ‘දිල් සේ’, ‘රාවන්’ යන සිනමාපටද විචාරක අවධානයටත් රසික අවධානයටත් ලක්වූ බව සිහිකළ යුතුය.

මනිරත්නම්ගේ සිනමා භාවිතය තුළ විචිත්‍ර රූප වියමනක්ද, විවාදාත්මක තේමාද එකිනෙකට සමගාමීව දක්නට ලැබේ. ඇතැම් තේමා අතිශයින්ම දේශපාලනිකය. හැමවිටම මිනිස් සබඳතා සතු හෘදයාංගම බව සිනමානුරූපීව හසු කර ගැනීමටද ඔහු වෙහෙස වෙයි. ‘රෝජා’හි මේ සියලු ලකුණු අඩු වැඩි වශයෙන් දැකිය හැකියි.

‘රෝජා’ මුල් වරට තිරගත කෙරෙන්නේ අදින් වසර තිස් දෙකකට පමණ ඉහතදීය. එහෙත් එහි එන ගීත, සංගීතය හා රූපණ අදටත් නැවුම් බවක් ගෙන එයි. සංගීත නිර්මාණය ඒ.ආර්. රහ්මන්ගෙනි. මේ රහ්මන්ගේ පළමු සිනමා සහභාගිත්වයයි. ජාතික මට්ටමේ සම්මාන කිහිපයක්ම මෙහිලා ඔහු වෙත පිරිනැමිනි. රෝජා හා රිෂීගේ චරිත ආස්වාදජනක අන්දමින් නිරූපණය කළේ අර්වින්ද් ස්වාමි හා මධුබාලාය. මිනිත්තු එකසිය තිස් හතක් තිස්සේ දිවෙන සිනමාපටය පුරාම මොවුහු දෘශ්‍යමානව සේම අදෘශ්‍යමනවද රැඳී සිටිති.

‘රෝජා’ ජාතික සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයට හා ගෞරවයට පාත්‍ර වූයේ මනිරත්නම්ගේ සිනමාකරණය ඉන්දීය සිනමාවේ ප්‍රගමනයට හේතු වන බව තහවුරු කරමිනි. එසේම අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයක් නියෝජනය කිරීමේ අවස්ථාද ‘රෝජා’ට ලැබිණි.

තුසිත ජයසුන්දර - මව්බිම

Back to top
Go to bottom

Popular News